මර්ධනයට බිය නොවෙමු!
![]() |
© YOUTH FOR
CHEnge |
පසුගිය
පස් වැනිදාට යේදී තිබුණු ලෝක පරිසර දිනයේ ප්‍රධාන තේමාව වුණේ ‘එකම එක මිහිතලයක්’ කියන
එක. ඊට අමතරව ‘ස්වභාවධර්මය සමග සමගියෙන් තිරසාරව ජීවත් වීම’ කෙරෙහි විශේෂයෙන් අවධානය
යොමු කෙරුණා. මේ මිහිතලයේ ජීවත්වෙන මනු සතුන්ටත් වන සතුන්ටත් තමන්ගේ ජීවිත පවත්වාගෙන
යන්නට ඒ හැර වෙනත් ග්‍රහ ලොවක් ඇත්තේ නැහැ. ස්වභාවධර්මය සමග සමගියෙන් තිරසාර ජීවන රටාවකට
අනුගතව ජීවත් වුනොත් විතරයි මේ මිහිතලය සියලු ජීවීන්ට සුපසන් තැනක් වෙන්නේ. රටක් හැටියට
ගත්තත් ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපට ඇත්තේ මේ දිවයින පමණයි. එහි පරිසරය ආරක්ෂා කරගනිමින්
සහ සංරක්ෂණය කරගනිමින් ජීවත් වුනොත් විතරයි අපට පැවැත්මක් තිබෙන්නේ. ඒ වෙනුවෙන් තම
කාලය, ශ්‍රමය සහ ධනය පමණක් නොවෙයි, ජීවිතත් කැපකරන සැබෑ පරිසර සංරක්ෂණවේදීන් පිරිසක්
අප අතර සිටිනවා. නමුත් අපේ රටට හිමි සොබා උරුමයන් වනසද්දී ඇහැක් ඇර නොබලන ආණ්ඩුවට එම
විනාශයන්ට එරෙහිව නැගී සිටින පරිසර සංරක්ෂණවේදීන් නම් නයාට අඳු කොළ වගේ.
රට
පුරා නැග එන ජනතා විරෝධය මැඩලීමට මේ බියගුළු ආණ්ඩුව තමන්ගේ මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක
කරලා. මැයි නම වැනිදා ගෝටාගෝගම සාමකාමී මහජන අරගලයට පහරදුන් ආණ්ඩුවේ දේශපාලුවන් හා
රාජ්‍ය අනුග්‍රහය ලබන මැරයන්ට එරෙහිව රට පුරාම සාමාන්‍ය ජනතාව අවි අමෝරා ගත්තේ නිස්සරණාධ්‍යාසයෙන්
බවයි ලියුම්කරුගේ අදහස. නමුත් එම තත්ත්වය දඩමීමා කරගෙන රටපුරා විවිධ ප්‍රදේශවල පොදු
ජන අරගලයට නායකත්වය දුන්නු තරුණ තරුණියන් විවිධ අභූත චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට
ගැනීමට පොලීසියෙන් කටයුතු කරමින් සිටිනවා. සිවිල් සමාජ ක්‍රියාකාරීන් වගේම පරිසර ක්‍රියාකාරීනුත්
ඒ අතර සිටිනවා. ඒ ඉහත සඳහන් කරපු නයාට අඳු කොළ කතාව නිසා.
වීරකැටිය
පොලිසිය විසින් පසුගිය මැයි 26 වැනිදා අත්අඩංගුවට අරගෙන වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත්
කිරීමෙන් පස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉකුත් 31 වැනිදා ඇප ලැබුණු වෑකඳවල රාහුල හිමියනුත්
එවැනි පරිසර ක්‍රියාකාරිකයෙක්. උන්වහන්සේ සමගම අත්අඩංගුවට පත්වූ දේවාලේගම ප්‍රේමරත්න
ස්වාමීන්වහන්සේත් එසේමයි. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දීර්ග කාලයක් මුළුල්ලේ අරගලයක
යෙදී සිටින වෑකඳවල රාහුල හිමියන් වත්මන් අර්බුදය හමුවේ ගාළු මුවදොර ජනතා අරගලයේත් සක්‍රීය
සාමාජිකයෙක්. සෑම බෞද්ධ විහාරස්ථානයකින්ම අඩු වැඩි වශයෙන් සිදුවන සාසනික හා සාමාජීය
මෙහෙවරෙන් ඔබ්බට ගිහින් කුඩාබිඹුල පන්සල හරහා උන්වහන්සේ විසින් සිදුකරගෙන ගිය පරිසර
අරගලය රාජපක්ෂලාට හිසරදයක් වී තිබූ බව උන්වහන්සේට සිදුකරමින් ඇති අඩන්තේට්ටම් මගින්
මනාව පැහැදිළි වෙනවා. බලලෝභී රාජපක්ෂලාට තමන්ගේ නින්දගම් යැයි සිතා සිටින ගිරුවාපත්තුවේ
පරිසරය හිතුමතේ වනසා දැමීමට හරහට හිටියේ වෑකඳවල රාහුල ස්වාමීන්වහන්සේ වැන්නවුන් බව
නොකිවමනායි. මැයි නම වැනිදා අවාසනාවන්ත සිදුවීම් සිදුවන විට එම පැත්ත පළාතකවත් නොසිටි
උන් වහන්සේ අභූත චෝදනා එල්ල කරමින් ලද ඇසිල්ලෙන් දඩයම් කිරීමට මේ තක්කඩි ආණ්ඩුව කටයුතු
කළේ ඒ නිසයි.
පරිසර
හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයෙක් වන උන් වහන්සේ එම ආයතනය විසින්
පවත්වාගෙන යන සොබාදහම් අධ්‍යනය පාසැලේ ආචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරනවා. උඩවලව, සංඛපාල,
ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කඳුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක්
කොම්පැණිවලට විකිණීමට එරෙහිව සංඛපාල ගල්බොක්කයාය කඳුවැටිය සුරකීමේ ජනතා ව්‍යාපාරය සමග
එක්ව වෑකඳවල රාහුල හිමියන් මෑත කාලීනව කටයුතු කළ ආකාරය ලියුම්කරුට මේ මොහොතේත් සිහියට
නැගෙනවා.
පසුගිය
දින කිහිපයේත් මොණරාගල දිස්ත්‍රික්කයේ, වත්තේගම - කබිලිත්ත රක්ෂිත වනාන්තරය අමු අමුවේ
වනසා දැමීමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කලත් ආණ්ඩුව සිටියේ පුරුදු නිද්‍රාශීලීත්වයේ
මයි. නමුත් පරිසර සංරක්ෂණය වෙනුවෙන් අරගල කරන සංරක්ෂණවේදීන් සම්බන්දයෙන් නම් ආණ්ඩුවේ
ප්‍රතිපත්තිය ඊට හාත්පසින්ම වෙනස්. ඒ නිසා ලියුම්කරුට යළි යළිත් කියන්නට ඇත්තේ අලි
ඇතුන්ගේ සිට කුරා කුහුඹුවන් දක්වා වනසතුන් පමණක් නොවෙයි මහා ජනතාවත් උපන් බිමේ අනාථයින් බවට පත්කර ඇති මේ
තකතීරු පාලනය වෙනස් කළයුතුම බවයි. රාහුල
ස්වාමීන්වහන්සේලා, ප්‍රේමරත්න ස්වාමීන්වහන්සේලා තම දිවි පරදුවට තබමින් අරගල කරන්නේ
ඒ සඳහායි. ඒ නිසා අපි හැමෝමත් මේ අසමත් පාලන ක්‍රමය වෙනස් කරන්නට ආණ්ඩුවේ මර්ධනයට බිය
නොවී දිගටම අරගල කරමු!
වෑකඳවල
රාහුල ස්වාමීන්වහන්සේ ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ රැස්ව සිටි ජනතාව අමතමින්
කී කතාවකින් මේ සටහන නිමාකරන්න සිතුවේ තවමත් ඒ වදන් ලියුම්කරුගේ දෙසවන්වල දෝංකාර දෙන
නිසයි.
‘අරගලයේ එක කොටසක් තමයි සිරගත වෙන එක, එහෙමත් නැත්නම් මරණය. ඒ නිසා අපේ ජීවිත මතින් හෝ අලුත් ලොවක් ගොඩනැගෙනවා නම්, අපේ පපුවේ මූනිස්සමකට ඉඩක් තියෙනවා’

Comments
Post a Comment