මහා පැරකුම් නිරිඳුනි,

සුමේධලාට මේ ඉරණම ඇයි ???

© සාරංග දේව ද අල්විස්


අලංකාරවත් දිගු දළ යුගලක් හිමි සුමේධ ඇත් රජු කලකට පසු මේ දිනවල මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසැරීම සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්‍රයේ කාගේත් අවධානය යොමු වෙලා. නමුත් සුමේධ වගේම තවත් අලි ඇතුන් තුන්-හාරසියයකට වියළි කාලයට තමන්ගේ බඩ කට පුරවාගන්න, සහකරුවන් සහකාරියන් සොයාගන්න මග පෑදූ මින්නේරියේ වාර්ෂික වන අලි ඒකරාශීවීමට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම ගැන නම් බොහෝ දෙනෙකුට තැකීමක් නැහැ.

හැම අවුරුද්දකම මැයි සිට ඔක්තෝබර් දක්වා මින්නේරියේ දිගහැරුණු මෙම සොබාදහමේ අපූරු සංසිද්ධිය එහි උච්චතම අවස්ථාව වෙත ළඟාවන අගෝස්තු – සැප්තැම්බර් වන විට, 400 ක් තරම් වන අලි ඇතුන් ප්‍රමාණයක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වුණේ බොහෝ කලක සිටයි. ඊට හේතුව වන්නේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනයවන නැවුම් තණකොළයි. ඒවා වියළි සමයේ අලි ඇතුන්ට ඉතා රසවත් මෙන්ම පෝෂණීය ආහාරයක්. එය ප්‍රදේශයේ අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් කලමනාකරණයට විශාල සහයක් ලබාදුන් අතරම වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් උද්‍යානය වෙත ආකර්ෂණය වීමටද හේතුවක්.

නමුත් රජයේ දෙපාර්තමේන්තු කිහිපයක කඹ ඇදිල්ල නිසා මෙම අසිරිමත් සිදුවීම දැන් අතීත මතකයක් පමණයි. 2018 අවුරුද්දේ මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් මින්නේරිය ජලාශයට ජලය මුදාහැරීමත් සමග ක්‍රමිකව මෙසේ වන උයනට එක්රැස්වූ අලි ඇතුන් සංඛ්‍යාව අඩු වුණා. මෙහි ඒකරාශීවන අලි ඇතුන් ප්‍රමාණය ඉහළම අගයක් වෙත ළඟාවන සැප්තැම්බර් මාසයේ දෛනිකව වාර්තාවූ වන අලි සංඛ්‍යාවේ සාමාන්‍ය පිළිබඳව ආචාර්ය සුමිත් පිලපිටියගේ නිරීක්ෂණ අනුව 2017 අවුරුද්දේ දිනකට අලින් 402 නිරීක්ෂණය වී තිබුණත් 2021 අවුරුද්දේ එම ගණන විස්ස දක්වා පහළ වැටුණා.

මෙම ඛේදවාචකය අවසන්කර යළිත් මින්නේරියේ වියළි සෘතු තෘණ බිම් අලි ඇතුන්ට හිමිකරදීමේ අවශ්‍යතාවය සංරක්ෂණවේදීන්, පර්යේෂකයින් වගේම ජනමාධ්‍යවේදීන් 2022 අවුරුද්දේදී අවධාරණය කළා. නමුත් මේ සම්බන්ධයෙන් රාජකාරි ඉටුකිරීම සඳහා මහජන බදු මුදලින් වේතනය ලබා ගන්නා වනජීවී සංරක්ෂණ සහ වාරිමාර්ග වැනි දෙපාර්තමේන්තුවල බලධාරීන් සහ නිලධාරීන් ඊට සංවේදී නොවුණු නිසා තවමත් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මින්නේරිය ගලවාගැනීමට අප අසමත්වී තිබෙනවා.

අපේ රටේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැක්ම තමයි,

‘අහසින් වැටෙන එක ජල බිඳුවකුදු ලෝකෝපකාරයෙන් තොරව මුහුදට ගලා යා නොදෙනු’ යන මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාඨය ගුරුතැන්හිලා, පරිසරයද සුරැකෙමින්, තිරසාර ආර්ථික හා සමාජ සංවර්ධනය සහතික කරනු සඳහා රටේ ජල සම්පත් වලින් ලබාගත හැකි ප්‍රයෝජන ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම’.

වාරිමාර්ගය ඔය කියන ‘දැක්ම’ මත අකුරටම පිහිටා කටයුතු කිරීම නිසාදෝ ඔවුන් දිය බිඳක් මුදාහැර වියළි සමයට මින්නේරියේ වැව් පිටි නිරාවරණය වන පරිදි ජලාශයේ ජල මට්ටම කලමනාකරණය කරන්නේ නැති බවයි දැනගන්නට ඇත්තේ.

නමුත් මිනිස් අවශ්‍යතා සඳහා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන අතර අතිරික්ත ජලය ස්වල්පයක් මුදාහැර වන අලින්ට අවශ්‍ය ගොදුරුබිම් සපයා දීම උත්සාහ කළොත් වාරිමාර්ගයට කරන්න බැරි විජ්ජාවක් නොවෙයි. නමුත් ඊට පරහට හිට ඇත්තේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ‘වතුර බිංදුවේ න්‍යාය’ බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා සුමේධ ඇතුළු අලි ඇතුන් තුන්-හාරසියයකට මෙම ඉරණම අත්කරදී ඇත්තේ මහා පැරකුම්බා රජ විනා වාරිමාර්ග හෝ වනජීවී දෙපාර්තමේන්තුව නොවන බව පැහැදිළියි.

එබැවින් මහා පැරකුම් නිරිඳුනි,

මේ අසරණයන්ගේ ජීවිත ගැන ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමුකර ඉන්න තැනක සිට ‘වතුර බිංදුවේ න්‍යාය’ සංශෝධනය කර ප්‍රකාශයක් නිකුත්කරනු මැනවි!

Comments

Popular posts from this blog