වනජීවී අපරාධ
(2019 04 01 දින)
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් නිසා එම ජෛව විවිධත්වයට එල්ලවී ඇති තර්ජන වලත් නිමක් නැහැ. අපේ රටට හිමි සොබා උරුමයන් විවිධ පුද්ගලයින් විසින් තම පටු අරමුණු වෙනුවෙන් විවිධ ආකාර වලින් විනාශකර දමමින් සිටිනවා. උදාහරණයක් වශයෙන් වනාන්තර හා වනජීවී වාසස්ථාන විනාශකිරීම, වනජීවීන්ට හානි කිරීම හා ඝාතනය කිරීම, වනජීවී ජාවාරම, ජාන මංකොල්ලය වැනි දෑ දක්වන්න පුළුවන්. මෙම වනජීවී අපරාධ වැළැක්වීම සඳහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන ලැබී තිබෙනවා. නමුත් අපේ රටේ මේ මොහොතේත් සිදුවෙන සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඩලීම සඳහා සුදුසු ශක්තිමත් යාන්ත්‍රණයක් නැහැ කියන එක සංරක්ෂණයට හිතැති හැමෝගෙම අවධානයට යොමුවිය යුතු කරුණක්.
මෙම පනතේ බලයලත් නිලධාරීන් විදිහට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් මෙන්ම පොලීසිය තමන්ට හැකි ආකාරයෙන් වනජීවී අපරාධ මැඩලීම සඳහා බිම් මට්ටමින් දරන ප්‍රයත්නය අපි අගය කල යුතුයි. නමුත් මේ දෙරණ මත සිදුවන මහා පරිමාණ වනජීවී අපරාධ මැඩලීම සඳහා එම ප්‍රයත්නයන් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව කණගාටුවෙන් නමුත් කිවයුතුයි. මුර සංචාරයකදී, වැටලීමකදී එහෙමත් නැතිනම් ලැබුණු ඔත්තුවක් අනුව හඹාගොස් වනජීවී අපරාධකරුවෙක් අත්අඩංගුවට ගෙන ඔහුගේ සන්තකයේ තිබූ කිසියම් තහනම් භාණ්ඩයක් සමග ඔහුව අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් ලබාදීමට පනතේ බලයලත් නිලධාරීන් සමත්කමක් දක්වනවා. නමුත් ඉන් එහාට ගිහින් සියුම්ව තම ඥානය මෙහෙයවා සංකීර්ණ විමර්ශන සිදුකර සෘජු සාක්ෂි නොමැති අවස්ථාවල පරිවේශනීය සාක්ෂි සපයාගෙන ඕනෑම තරාතිරමක වැරදිකරුවෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට තමන් කොතරම් සමත්ද කියලා, මේ පනතේ බලයලත් නිලධාරීන් තමන් ගැනම ස්වයං විවේචනයක් කලොත් මෙම තත්ත්වය ඔවුන්ටම වටහා ගන්න පුළුවන් වෙයි.
උදාහණරයක් හැටියට බොහෝ විට ඇතෙකු ඝාතනය කිරීමක් වැනි වනජීවී අපරාධයකදී ඇසින් දුටු සාක්‍ෂි සපයාගැනීමට හෝ සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට ලැබෙන අවස්ථා විරලයි. ඒ වාගේ අවස්ථාවල පරිවේශනීය සාක්‍ෂි මඟින් නඩුව විසඳීමට උත්සාහ දැරිය යුතුයි. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සමත්කමක් දැක්වුවත් ඔවුන්ගේ කටයුතු ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගතවී ඇත්තේ මිනිසුන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන්. ඒ නිසා වනජීවී නිලධාරීනුත් වනජීවී අපරාධ මැඩලීම සම්බන්ධයෙන් මෙම ශක්‍යතාවය පෙන්විය යුතුමයි. නමුත් කණගාටුවට කරුණ නම් එවැනි දක්ෂ නිලධාරීන් මේ වනවිට දෙපාර්තමේන්තුවේ සිටින්නේ ඉතා අතලොස්සක් පමණක් වීමයි.
ආණ්ඩුවේ විගණකාධිපති විසින් 2012 – 2016 කාලසීමාව තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් පලකළ වාර්තාව අනුව 2015 ජනවාරියේ සිට 2017 ඔක්තෝම්බර් දක්වා සිදුවූ හස්ති ඝාතන 384 කින් සියයට අසූ නමයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ලියුම්කරුගේ පෞද්ගලික සොයාබැලීම් අනුව පසුගිය සමයේ ජාවාරම්කරුවන් විසින් පැහැර ගැනුණු අලි පැටවුන් ගණනාවක් වනාන්තර තුලදීම වනජීවී නිලධාරීන් විසින් සොයා ගැනුනත් ඊට සම්බන්ධ එකඳු සැකකරුවෙක්වත් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුනෙත් නැහැ. ඊට ප්‍රධාන හේතුව එවැනි සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් නොවීම. ඒ වගේම පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ බලප්‍රදේශය තුල සිදුකළ පර්යේෂණයකට අනුව අධිකරණයේ විභාගවූ නඩු විසි හතරකින් චූදිතයින්, වැරදිකරුවන් කිරීමට වනජීවී නිලධාරීන්ට හැකිවෙලා තියෙන්නේ නඩු අටකදී විතරයි. ඉතින් එවැනි පසුබිමක් තුල අපේ රටේ වනජීවී සම්පත සුරක්ෂිතයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්.
සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ පසුපස බොහෝවිට බලපැවැත්වෙන්නේ
දේශපාලකයින්ගේ හා බලවතුන්ගේ හස්තයන් නිසා ඒවා මැඩලීම සම්බන්ධයෙන් තම යටත් නිලධාරීන් මග ගැන්වීමට උසස් නිලධාරීන් සැබෑ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රධාන කාර්යාලයේ හදිසි වැටලීම් අංශයේ ප්‍රධානියා වශයෙන් දක්ෂ නිලධාරියෙක් පත්කරලා තිබුණත් ඔහුත් දැන්
අකර්මන්‍යවෙලා වාගේ ඉන්නේ කාගේ බලපෑම් නිසාද කියන එක ප්‍රශ්නයක්. සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඩලීම සඳහා දක්ෂ, ඒ සඳහා අවංකව හා එඩිතරව කැපවී කටයුතු කරන නිලධාරීන් සිටියත් ඔවුන්ට කිසිඳු දිරිගැන්වීමක් නැතිකම, ඔවුන්ගේ දැනුම හා
අත්දැකීම් සෙසු නිලධාරීන්ට ලබාදීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සැබෑ ඕනෑකමක් නොතිබීම
වගේම වංක නිලධාරීන් ලොක්කන්ගේ ඔඩොක්කු
කුක්කන්ව සිටීම මෙම තත්ත්වය තවත් උග්‍ර කරවනවා. ඒ නිසා වනජීවී අපරාධකරුවන් කිසිඳු බියක් සැකක් නැතිව නිදැල්ලේ පසුවෙනවා.
මෙවැනි තත්ත්වයක් තුල වනජීවී අපරාධ සම්බන්ධ බුද්ධි
තොරතුරු ඒකකයක් ස්ථාපනය කිරීම, එම ඒකකය සමග එක්ව වනජීවී
අපරාධ මැඩලීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කිරීමට අවශ්‍ය විශේෂ විමර්ශන නිලධාරීන් හා උපාය දූතයින් යෙදවීම, වරාය හා ගුවන් තොටුපළ වල වනජීවී සංරක්ෂණ නිලධාරීන්
ස්ථානගතකිරීම වැනි වනජීවී අපරාධ මැඩලීමේදී වැදගත්වන තවත් යෝජනා ගැන කතා කිරීමටත් අපි තවම ප්‍රාථමික වැඩි බවයි හැඟෙන්නේ. එක රැයෙන් සිහින එළි නොවන බව ඇත්ත. නමුත් සූක්ෂම හා
සංවිධානාත්මක වනජීවී අපරාධකරුවන්ගෙන් අපේ රටේ වනජීවී සම්පත බේරාගැනීමට දැන්වත් එක ඉදිරි පියවරක් හරි තබන්න බලධාරීන් උනන්දු වෙනවානම්, ඊට ලියුම්කරුගේ
ශීර්ෂ ප්‍රණාමය හිමිවෙනවා.
Comments
Post a Comment