අත්වැල්තොට අපලය
අපූරු පරිසර පද්ධතියක ප්‍රධාන අංගයක් වගේම ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් සැපයූ සංචාරක ගමනාන්තයක් වුණු අත්වැල්තොට පීලිතුඩ ඇල්ල දියඇල්ල විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික කොම්පැනිකාරයෙකුට අවසර ලබා දීම ගැන ලියුම්කරු මුලින්ම පත්තරේට ලියුවේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර. පීලිතුඩ ඇල්ල හරස් කරමින් කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික සමාගමක් විසින් ඒ කාලේ ඉදිරිපත් කරලා තිබුණු ව්‍යාපෘති යෝජනාවකට අවසර ලබා දීම මගින් තමයි මෙම විනාශය සිදුවීමට නියමිතව තිබුණේ. මේ කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 1.5 ක ජල විදුලියක් නිපදවීමට බලාපොරොත්තු වුණා. නමුත් ඒ හේතුවෙන් එතෙක් පරිසරයට හානියක් නොකර ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාව විසින් සිදුකරගෙන ගිය සංචාරක කර්මාන්තය ඇනහිටීමෙන් ඔවුන් කබලෙන් ලිපට විසිවෙන අතරම ඔවුන්ගේ ජල අවශ්‍යතා ඉටුකරගැනීමේදී ද ගැටළු ඇතිවන බව පරිසරවේදීන් පෙන්වා දුන්නා. ඒ මදිවට මේ වෙනකොට ඔය කියන ඉසව්ව අධික නායයෑම් අවධානමක් ඇති ප්‍රදේශයක් හැටියටත් හඳුනාගෙන තිබුණත් අත්වැල්තොට පීලිතුඩ ඇල්ලට බලපාලා තියෙන මේ ජල විදුලි බලාගාර අපලය නම් අවුරුදු ගණනක් ගෙවුනත් තවමත් දුරුවෙලා නැහැ.
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින කුකුළේ ගඟේ අතු ගංගාවක් වන පැලන් ගඟ මගින් තමයි පීලිතුඩ ඇල්ල හටගන්නේ. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා සිදුකර ඇති මූලික පරිසර විමසුමේ මෙම ජල විදුලි බලාගාරය ඉදිකරනු ලබන්නේ දිය ඇල්ලක් අවහිර කරමින් බව හෙළි කිරීම ව්‍යාපෘති කරුවන් විසින් සිතා මතාම මගහැර ඇති බවට චෝදනා එල්ල වුණා. ඒ වගේම ඔය ප්‍රදේශය අහිංසක දුප්පත් ගම්වැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල්වෙන සංචාරක ගමනාන්තයක් බවත් සඟවා තිබුණා. පැලන් ගඟ දිගේ ගලා එන ජලය මෙම දිය ඇල්ලට ඉහළින් පිහිටා ඇති ස්වභාවික ජල තඩාගයට එක්රැස්වී පසුව පහළට වැටී අඩි දොළහක් පමණ උස දිය ඇල්ලක් නිර්මාණය කරන අතර සොබාදහම මගින් නිර්මාණය කල ගැඹුරු ගල් කුහරයක මෙම ජල කඳ සැඟවී යාම පීලිතුඩ ඇල්ලේ ඇති සුවිශේෂත්වයක්. තාක්ෂණික අර්ථදැක්වීමට අනුව දියඇල්ලක උස මීටර් තුනක් ඉක්මවිය යුතු නිසා පීලිතුඩ ඇල්ල, දියඇල්ලක් නොවෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් ප්‍රදේශයේ ජනතාවට නම් මේ හැමදාමත් තමන්ගේ පැන් පහසුව සලසන පීලිතුඩ ඇල්ලම තමයි.
අත්වැල්තොට දිය ඇල්ල වටා ගෙතුණු පුරාවෘත්ත බොහොමයක් තියෙනවා. එයින් එකකින් කියැවෙන්නේ 16 වැනි සියවසේදී පාලින්දනුවර රජකම් කල වීදිය බණ්ඩාර කුමාරයා මෙම ස්ථානයේ ස්වර්ණාභරණ හා මැණික් සඟවා ඇති බවයි. මෙම ස්ථානය ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ ස්නානය හා ජල පහසුව සැපයීමය සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකරන බව කලිනුත් සඳහන් කළා. විශේෂයෙන්ම වියලි කාලයේදී මේ වෙත පැන් පහසුව සඳහා විශාල ජනතාවක් රැස්වෙන බව ප්‍රකට කරුණක්. නමුත් එහෙම තියෙද්දී මෙම ව්‍යාපෘතියට මුල් වටයේදී අවසර ලබා දී ඇත්තේ මෙම ස්ථානය ස්නානය සඳහා අනාරක්ෂිත බව හුවා දක්වමින්.
ඒ වගේම ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය සම්පත ගැන කතා කරනකොටත් අපට අත්වැල්තොට අමතක කරන්නම බැහැ. මේ දිය දහරාව වාසභූමි කොටගෙන මිරිදිය මත්ස්‍ය විශේෂ 34 ක් ජීවත් වෙනවා. ඒ අතරින් 18ක්ම වඳවීමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ. ඉතින් මෙම නවාතැන අහිමි වීමෙන් ඒ මත්ස්‍ය විශේෂයන්ට ඇති වඳවීමේ තර්ජනය තවත් වැඩි වෙන බව ඕනෑම නොදරුවෙකුට වුනත් තේරෙනවා.
ඒ වාගේම මේ කුඩා ජල විදුලි බලාගාර මාෆියාවට බිලි වීමට යන අත්වැල්තොට සංවේදී පරිසර පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශය අධික නායයෑමේ තර්ජනයට ලක්වූ ප්‍රදේශයක්. ගම්වාසීන් 9 දෙනෙකු පස් යට මිහිදන් කළ නාය යාමකින් තවත් විශාල දේපළ හානියකුත් සිදුවූ ස්ථානයක්. පවුල් 56ක් නායයෑමේ තර්ජනයට ලක්ව ඇති අතර ඉන් පවුල් 15ක් පමණ මේ වනවිටත් ඉවත් කර ඇති ප්‍රදේශයක්. එවැනි තත්වයක් තුළ දැඩි අවදානම් කලාපයක් විදිහට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අවදානම් දැන්වීමේ පුවරු යොදා වෙන් කොට ඇති මෙම ප්‍රදේශය හරි මැද්දේ මෙම විදුලි බල ව්‍යාපෘතිය සිදු කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයම අවසර දෙන්නේ කොහොමද කියන එක උභතෝකෝටිකයක්. මේ රටේ ජීවත් වෙන අසරණ දුප්පත් ගම්වාසීන්ට ක්‍රියාත්මක වෙන නීතියම නොවෙයිද ධනය බලය සමග පැමිණෙන කොම්පැනිකරුවන්ට ක්‍රියාත්මක වෙන්නේ?
කුඩා ජල විදුලි බලාගාරකරුවන්ගෙන් අපේ ඇළ දොළ ගංගා ආරක්ෂා කරගන්නට අදාල බලධාරීන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කලයුතු බවට පරිසරවේදීන් විසින් යෝජනා කරනු ලබන්නේ බොහෝ කලක සිටයි. මෙවැනි අක්‍රමවත් කුඩා ජලවිදුලි බලාගාර නිසා විශේෂයෙන්ම තෙත්කලාපීය පරිසර පද්ධතීන්ට එල්ලවන අහිතකර බලපෑම වගේම ආශ්‍රිත ප්‍රජාවට එල්ලවෙන අවහිරතාත් සලකා බලනකොට, ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපයුමෙන් ඒ හානි යටපත් කරන්න බැහැ. බොහෝ විට සිදුවන්නේ කොම්පනිකරුවන් පරිසරය වනසා අසරණ ගැමියන්ද පීඩාවට පත්කර තම මඩිය තර කර ගැනීම පමණයි. එමගින් ආශ්‍රිත ප්‍රජාවට සිදුවන බලවත් අසාධාරණය පිළිබඳව කතාකරන්නට සොයාබලන්නට කවුරුත් නැහැ. පීලිතුඩ ඇල්ලේ මග අහුරනවාට විරුද්ධවත් අවුරුදු ගණනාවක් තිස්සේ සටන් කරන්නට සිදුවී ඇත්තේත් ඒ නිසායි.
අනික සංවර්ධන ව්‍යාපෘති වලදී කොතෙක් දුරට අපි අපේ සොබා සෞන්දර්යාත්මක දර්ශනයන්ගේ වටිනාකම අගයකරනවාද කියන එක විමසා බලන්නත් මේ සිදුවීම මග පාදනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දෙස් විදෙස් පතල ජ්‍යෙෂ්ඨ පරිසර ක්‍රියාකාරිකයෙකු වෙන හේමන්ත විතානගේ මහත්තයා උපන් ගම්මානය වන මොරපිටියත් පිහිටලා තියෙන්නේ මේ දිය ඇල්ලේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින්. මේ සොබාදහමේ අපූර්ව නිර්මාණය වනසා දැමීම වැලැක්වීමට ඔහුත් ප්‍රදේශයේ ජනතාව සමග එක්ව විශාල පරිශ්‍රමයක් දරණවා. ඒ සඳහා වන සංරක්ෂණ දේපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හෝ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඉදිරි පිටට හරි ජනතා විරෝධය ඒකරාශී කරන්න තමන් සූදානම් බව ඔහු සඳහන් කළා. ලියුම්කරුත් මේ කුඩා ජලවිදුලි බලාගාර මාෆියාවට එරෙහි ඒ ජන බලවේගයට එකතු වෙනවා.
Comments
Post a Comment