මහා පැරකුම් නිරිඳුනි, සුමේධලාට මේ ඉරණම ඇයි ??? © සාරංග දේව ද අල්විස් අලංකාරවත් දිගු දළ යුගලක් හිමි සුමේධ ඇත් රජු කලකට පසු මේ දිනවල මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසැරීම සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්‍රයේ කාගේත් අවධානය යොමු වෙලා. නමුත් සුමේධ වගේම තවත් අලි ඇතුන් තුන්-හාරසියයකට වියළි කාලයට තමන්ගේ බඩ කට පුරවාගන්න, සහකරුවන් සහකාරියන් සොයාගන්න මග පෑදූ මින්නේරියේ වාර්ෂික වන අලි ඒකරාශීවීමට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම ගැන නම් බොහෝ දෙනෙකුට තැකීමක් නැහැ. හැම අවුරුද්දකම මැයි සිට ඔක්තෝබර් දක්වා මින්නේරියේ දිගහැරුණු මෙම සොබාදහමේ අපූරු සංසිද්ධිය එහි උච්චතම අවස්ථාව වෙත ළඟාවන අගෝස්තු – සැප්තැම්බර් වන විට , 400 ක් තරම් වන අලි ඇතුන් ප්‍රමාණයක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වුණේ බොහෝ කලක සිටයි. ඊට හේතුව වන්නේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනයවන නැවුම් තණකොළයි. ඒවා වියළි සමයේ අලි ඇතුන්ට ඉතා රසවත් මෙන්ම පෝෂණීය ආහාරයක්. එය ප්‍රදේශයේ අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් කලමනාකරණයට විශාල සහයක් ලබාදුන් අතරම වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් උද්‍යානය වෙත ආකර්...