උලා කෑමේ පිකාසෝලා
අපේ රටේ වනජීවී රක්ෂිත නිල වශයෙන් උලා කෑම වනජීවී හා වන සම්පත්
සංරක්ෂණ අමාත්‍යවරිය විසින් පසුගිය දා ආරම්භ කළේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන්. ඒ 2024
මැයි 6 දාතමින් නිකුත්වූ අංක 2383/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම රක්ෂිතයේ
කොටසක් ඉවත් කිරීමෙන්. ඇයට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අන පනත් වලින් ඊට බලතල ලැබී තිබෙන්නට
පිළිවන් වී නමුත් අප අවධාරණය කළ යුතු කරුණ වන්නේ එකී අන පනත් නිර්මාණය කර ඇත්තේ අපේ
රටේ වනජීවීන්, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන හා ස්වභාවික සම්පත් රැකගැනීමට විනා ඒවා උලා
කෑමට නොවන බවයි. කෙසේ නමුත් මේ උලා කෑම් මාලාවක භයානක පෙරනිමිත්තක් පමණක් බවත් ඉදිරියේදී
උතුරු නැගෙනහිර පළාත්වල වනජීවී රක්ෂිත ගණනාවක් මෙසේ උලා කෑමට නියමිත බවත් සංරක්ෂණවේදීන්
අනතුරු අඟවනවා.
දිවයිනේ වයඹ දිග වෙරළ තීරයේ පිහිටා ඇති වෙඩිතලතිව් ස්වභාව
රක්ෂිතය යාබද වනජීවී රක්ෂිත ගණනාවකට මායිම්ව පිහිටි කඩොලාන,
මඩ තට්ටු සහ
ලවණ වගුරු වලින් සමන්විත ඉතා වටිනා
පරිසර පද්ධති සේවාවන් රැසක් සපයන බිම් කඩක්. 2014 අවුරුද්දේදී
උතුරු පළාතේ සිදු කෙරුණු උපායමාර්ගික
පරිසර තක්සේරුව මගින් වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස නිර්දේශ
කරනු ලබනවා. ඒ අනුව ස්වභාව රක්ෂිතය ප්‍රකාශයත පත් කෙරෙන්නේ 2016 මාර්තු 1 දිනැති අංක
1956/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින්. නමුත් කණගාටුවට කරුණ නම් එයින් දශකයක් යන්නටත්
මත්තෙන් මේ වන විට මෙම මනරම් භූමි භාගය උලා කෑමට ආණ්ඩුව නිල වශයෙන් කටයුතු කිරීමයි.
වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය උලා කෑමට රජයේම ආයතනයක් වන ජාතික
ජලජීවී වගා සංවර්ධන අධිකාරිය කැස කැව්වේ මෙම රක්ෂිත භූමිය ප්‍රකාශයට පත්කළ මුල් අවධියේ
සිටමයි. ඒ ජලජීවී වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බව පවසමින්. කඩොලාන ප්‍රමුඛ
මෙවැනි වෙරළාසන්න පරිසර පද්ධති වලින් කරදිය, කිවුල්දිය මෙන්ම මිරිදිය වශයෙන් ජාතික
ජලජීවී වගා සංවර්ධනයට ලැබෙන දායකත්වය මිලකළ නොහැකියි. නමුත් අපේ රටේ බොහොමයක් සංවර්ධන
ව්‍යාපෘති ‘අටුව කඩා පුටුව හදන’ පන්නයේ ඒවා බව ඕනෑම ළදරුවෙකුට වුවත් වැටහෙන කරුණක්.
ශ්‍රී ලංකාවේ ජලජීවී වගා සංවර්ධනයේ මහිමය කියාපාන්නට දිවයිනේ
වෙරළබඩ ප්‍රදේශ පුරා පැතිරුණු මියගිය කලපු පද්ධතීන් සහ සමූලඝාතනය කෙරූ කඩොලාන තුරු
ගොමු ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. නමුත් එසේ තිබියදී රෑ වැටුණු වලේ මහ දවාලෙත් ඇද වැටීමට
නොඉවසිල්ලෙන් සිටින බලධාරීන් සහ නිලධාරීන් මෙම මුග්ධ යෝජනාව ක්‍රියාවට නැංවීම සාධාරණීකරණය
සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය මගින් අධ්‍යයනයක්ද සිදු කළා.
රක්ෂිතභාවය ඉවත් කළහොත් සදහටම අහිමි විය හැකි වෙඩිතලතිව්හි අසමසම ජෛව විවිධත්වය එම
අධ්‍යනය මගිනුත් නැවත අවධාරණය කෙරුණා. 2019 අවුරුද්දේදී නැවතත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
විසින් මෙම වාර්තාව අධ්‍යයනය කිරීම
සඳහා තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කළා. පරිසර පද්ධතියේ ඛණ්ඩනය හේතුවෙන් ඇති වන පැහැදිලි
පාරිසරික බලපෑම හේතුවෙන් මෙසේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය උලා කෑම නොකළ යුතු බවට එහිදීද
තාක්ෂණික විශේෂඥ කමිටුව ලිඛිත නිරීක්ෂණ ඉදිරිපත් කළා.
ඒ කෙසේ වෙතත් මෙම කිසිඳු තාක්ෂණික විශේෂඥ උපදේශයක් තඹ සතයකට
මායිම් නොකරමින් ඉතා අත්තනෝමතික සහ අසාධාරණ ලෙස වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ කොටසක්
උලා කෑමට මේ වනවිට කටයුතුකර හමාරයි. ආණ්ඩුවේ මෙම ක්‍රියාව වඩාත් ජුගුප්සාජනක වන්නේ
ඔවුන් මෙසේ හැසිරෙන්නේ කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය සඳහා ජාතික
මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහය 2024 එකසත් ජාතීන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්’
(World
Restoration Flagship) වැඩසටහන
යටතේ ගෝලීය වශයෙන් සම්මානයට පාත්‍රවී ඇති අවස්ථාවක වීමයි.
දේශපාලුවන් කොහොමත් උලා කෑමේ පිකාසෝලා බව අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඔවුන් මේ උලා කමින් සිටින්නේ ජාතියට හිමි අමිල සම්පත් විනා ඔවුන්ගේ පුද්ගලික බූදලයක් නොවේ. එබැවින් මෙම ගව-මහීෂාදීන් බැඳ දැමීමට එක පෙලට හිටගැනීම සංරක්ෂණවේදීන්ගේ පමණක් නොවෙයි, මාතෘභූමියට ආදරය කරන සියලු දෙනාගේම යුතුකම සහ වගකීමයි.
Comments
Post a Comment