ඇගයීමට ලක් නොවුණු ජීවිත



අපේ පාසැල් අධ්‍යාපනය ඇතුලේ අපට ඉගැන්වුවේ පරිසරය කියන්නේ අප අවට ඇති වටපිටාවට කියලා. මිනිස්සු තමන් පරිසරයට අයිති නැති බව හිතන්න පටන් ගත්තේ එතැන් සිට කියලා සමහරු කියනවා මම අහලා තියෙනවා. නමුත් ඒ අදහස දැන් පරණයි නේද? ඒ පාසැල් අධ්‍යාපනය හමාර කරලා මූලික උපාධි, පස්චාත් උපාධි, ආචාර්ය උපාධි අරගෙනයි මිනිස්සු රජයේ සහ පුද්ගලික ආයතන වල ඉහළ පුටු වලට යන්නේ. විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ ආයතන වල මුල් පුටුවලට යන පරිසරය සම්බන්ධ උසස් අධ්‍යාපනය ලබපු මිනිස්සු, මිනිසා සහ ජීවී-අජීවී පරිසරය අතර ඇති සංකීර්ණය සම්බන්ධය නොදන්නවා නොවෙයි. නමුත් උන් ඒ පුටුවල ඉඳලා ගන්න තීන්දු තීරණ බොහොමයක් ගහකොළ, සතා සිව්පාවා ගැන තබා අඩුම තරමින් මිනිස්සු ගැනවත් හිතලා නෙවෙයි අරගන්නේ. මම මේ පාර (අ)භයභූමියේ සිට ලියන්නේ උන්ගැන වෛරයෙන් සහ ද්වේශයෙන්. නමුත් මට ඒ මනෝභාවයන්ගෙන් මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. අඩුම තරමේ තමන්ගේ හෘදසාක්කියටවත් ඇහුම්කන් දෙන්නේ නැති උන්ට මගේ හිතේ කිසිම අනුකම්පාවක් නැහැ.

කුඹුක්කන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කර තිබුණා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම වාර්තාව සකස් කිරීම සීමාසහිත ඉන්ෆොටෙක් අයිඩියාස් පුද්ගලික සමාගම මගින් තමයි සිදු කර තිබෙන්නේ. මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දෙන ආයතනය වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. මෙම පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කර තිබුණත් ව්‍යාපෘතිය හේතුවෙන් සෘජුව බලපෑමට ලක් වන එක ම ගම්මානයක හෝ ජනතාව එම වාර්තාවට මසක් ඇතුළත තම අදහස් හා විරෝධතා ලිඛිත ව යොමු කළ යුතු බවට කිසිදු අවබෝධයක් නොතිබුණු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ හා මොණරාගල, සොබා පදනමේ පර්යේෂක කණ්ඩායමක් පසුගිය සතියේ අනාවරණය කර තිබුණා.

ව්‍යාපෘති සැලැසුම සකස් කිරීමට හා මැනීම් කිරීමට පැමිණි නිලධාරීන් විසින් ජනතාවට අනතුරු අඟවා ඇත්තේ මෙම ව්‍යාපෘති බලප්‍රදේශය තුළ කිසිදු ඉදි කිරීමක් හෝ වගා බිම් සංවර්ධනය කිරීමක් සිදු නොකරන ලෙසයි. එසේ සිදු කළ හොත් වන්දි ලබා දීම සිදු නොකරන බවට ද බලපෑම් කර තිබෙනවා. නිලධාරීන් විසින් මේ ආකාරයට නීති විරෝධී ව තම රාජකාරී සීමා ව පවා ඉක්මවා යමින් ව්‍යාපෘතිය පිළිබඳ පූර්ව නිගමනයක් සහිත ව ජනතාවට බලපෑම් කර ඇති නමුත් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට මහජන අදහස් ලබා දිය යුතු බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ගේ සිට ග්‍රාම නිලධාරී දක්වා කිසිදු නිලධාරියකු ජනතාව දැනුම්වත් කිරීම හෝ උපදෙස් ලබා දීම සිදු කර නොතිබීම ජුගුප්සාජනකයි.

ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වන ගම්මාන සියල්ල ම ඉතා ම දුෂ්කර, මාර්ග පහසුකම් නොමැති, නගරවලට ඉතා ම දුරින් පිහිටි ප්‍රදේශයි. මෙම ප්‍රදේශවල පුවත්පත් පරිශීලනය කරන ජනතාව ඉතාමත් අඩුවෙන් සිටින අතර මේ කාල වකවානුව තුළ පවතින ආර්ථික කඩා වැටීම හේතුවෙන් මුද්‍රනය කරන පුවත්පත් ප්‍රමාණය සීමා කර ඇති නිසා එම පුවත්පත් දුෂ්කර ගම්මානවලට ගෙන යාම ද අඩු වී තිබෙනවා. මේ නිසා මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට මහජන අදහස් ලබා ගැනීම සිදු කරන බවට පුවත්පත් දැන්වීම් පළ කළත් එම ප්‍රවෘත්ති ය ද නිවැරදි ව සමාජ ගත වී නොමැති බවයි ජ්‍යෙෂ්ඨ පරිසර සංරක්ෂණවේදී සජීව චාමිකර ලියුම්කරු සමග පැවසුවේ.

කුඹුක්කන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති මැදගම හා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් 5 ක ව්‍යාප්තවී ඇති ගම්මාන ගණන විසි එකක්. එම ගම්මාන වල ජීවත්වෙන පවුල් 579 ක මිනිස්සු ස්ථිර නිවාස තනා ගෙන, ගෙවතු - ගොවිතැන් බත් වගා කරගෙන, හරකා බාන හදා වඩාගෙන බොහොම සශ්‍රීකව පරම්පරා ගණනක් ජීවත්වුණු අය. ඔවුන්ගේ පාරම්පරික වාසභූමි ජලාශයකට යට කිරීමෙන් ඒ ජීවිත වලට ඇතිවෙන සමාජ ආර්ථික ගැටළු අලුත් පරිසරයක විසඳෙන්න කී කාලයක් යයිද?

නමුත් මේ තුප්පහි නිලධාරීන්, බලධාරීන්, පරිසර බලපෑම් ඇගයීම් කරුවන් ඒ ජීවිත දියබත් කරලා හරි තමන්ගේ බඩ වියත රැකගන්න කටයුතු කරන ආකාරය කොච්චර පිළිකුල්ද? ඒ වෙනුවෙන් උන් උන්ගේ ඊනියා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා වලින් මේ මිනිස්සුන්ගේ සැබෑ තතු මකලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. මිනිසුන්ව වත් හරි හැටි ඇගයීමට ලක් නොවෙන මේ පරිසර බලපෑම් ඇගයීම් ප්‍රෝඩාවෙන් රවට්ටන්නේ කාවද? මම මුලිං කිව්වා වගේ මේ මිනිස්සු මේ ආයතන වල ඉහළ පුටු වලට යන්නේ මූලික උපාධි, පස්චාත් උපාධි, ආචාර්ය උපාධි අරගෙන පරිසරය ගැන සියලු විද්‍යාවන් ඉගෙන ගෙන. නමුත් පටු වාසි ප්‍රයෝජන වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවා දෙන්න දෙපාරක් නොහිතන උන් මොන විද්‍යාවල් ඉගෙන ගත්තත් මොකටද?

කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගැටළුව කුඹුක්කන් ඔයට පමණක් අදාළ දෙයක් කියලා, නැහැ! බොහොමයක් ඔය පන්නයේ ඇගයීම් ඔය ආකාර තමයි. කොහොමත් පාරිසරික බලපෑම් ඇගයීම් දැන් යල්පැන ගිහින් බොහෝ කල්. දැන් ලෝකයා කතා කරන්නේ උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය ගැන. ඒවා මධ්‍යම පරිසර අධිකාරියේ හමස්පෙට්ටියේ තිබුණත් තවමත් හැමදෙනාම සරණ යන්නේ යල්පැන ගිය පාරිසරික බලපෑම් ඇගයීමේ තමයි. ඒ එමගින් ලැබෙන වාසි ප්‍රයෝජන නිසා නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්?

තමන් වැනිම මිනිස් කුලකයක ජීවිත ගැනවත් ඇගයීමක් නැති මේ හෘදසාක්කිය මරාගත්තු මිනිස්සු තමන්ට සිද්ධවෙන අගතිය ගැන හඬ නගලා කියන්න බැරි ගහකොළ සතා සිව්පාවා ගැන අඹ මල් රේණුවක තරම්වත් තැකීමක් කරයිද? තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ආත්මය මරාගත්ත මේ මිනිස්සු කුඹුක්කන් ඔය ජලාශයේ ගිල්වලා තවත් මිනිස් අහිනකගේ ආත්ම මරා දමලා ජීවිත ඉතුරු කලාට වැඩක් තියෙයිද? උන් එහෙම කරලා මඩි තර කරන්න හදන්නේ මැණික් ජාවාරම්කරුවන් පිරිසකගේ හා ඔවුන් මෙහෙයවන තක්කඩි දේශපාලකයෙක්ගේ නේද?

නගරයේ සීත කාමර වලට වෙලා, විසිතුරු ඇඳුම් ඇඳගෙන, මවාගත්ත ලෝකෙක ජීවත්වෙන මේ ආත්මය මරාගත්ත, නිරුවත්, උන්මත්තක මිනිස්සු අනුන් ගැනත් හිතන්නේ තමන් වගේ කියලා වුණාට ජීවිතය කියන්නේ සල්ලි මිළ මුදල් විතරක් නොවන විත්තිය දැන්වත් තේරුම් ගනිල්ලා!


 

Comments

Popular posts from this blog