හුස්ම හිරවෙන තුරු

 

© http://www.aruna.lk

(2021 08 10 දින)

හුස්ම දෙන තුරුජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අධියර ලබන මාසයේ ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබුණා. මෙම වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට මාස කිහිපයකට පෙර ඇරඹුණේසෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයෙන් 2030 අවුරුද්ද වන විට ශ්‍රී ලංකාවේ වන ගහනය සියයට තිහ දක්වා ඉහළ නැංවීම සඳහායි. මේ යටතේ පැළ මිලියන දෙකක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කල අතර එයින් පැළ ලක්ෂ පහළොවක් මේ වන විටත් රෝපණය කර ඇති බවයි විෂයභාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ සමස්ත වන ආවරණය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට ඇස්තමේන්තුවක් සකස් කරලා තියෙන්නේ 2010 අවුරුද්දේ. එහි සඳහන් වන ආකාරයට මෙරට වන ආවරණය දිවයිනේ මුළු බිම් ප්‍රමාණයෙන් 29.7%යි. ආණ්ඩුවේ සැලසුම මෙම ප්‍රතිශතය 30% බවට පත් කිරීම. බැලූ බැල්මට එය අපහසු ඉලක්කයක් නොවෙයි. නමුත් කවුරු හරි හිතනවා නම් 2010 අවුරුද්දේ තිබුණු වනාන්තර ප්‍රමාණය 2021 වෙනකොටත් අපේ රටේ ඉතිරිවෙලා තියෙනවා කියලා ඒක මුලාවක්. පස්චාත් යුධ සමයේ, ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන කාලේ මෙරට වනාන්තර වලට අත්වූ ඉරණම අමුතුවෙන් පැහැදිළි කිරීම කාලය කාදැමීමක්. හැමෝම කතා කරන විල්පත්තුවට උතුරින් සිදුවූ වනාන්තර විනාශයේ ඉඳලා දිවයින පුරාම වනාන්තර ඒ කාලේ විනාශ කෙරුණා. ඉන් පස්සේ යහපාලන ආණ්ඩු කාලෙත් අඩු වැඩි වශයෙන් වන විනාශය සිදු වුණා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක තීන්දු තීරණ ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ස්වාභවික සම්පත් වලට සුබ වුණේ නැති බව රහසක් නොවෙයි. එම විනාශයන් පිළිබඳව පසුගිය කාලයේ සමාජයේ ඇතිවූ කතාබහ දැන් දැන් යටපත්වී තිබුණත් වන විනාශය නතරවෙලා කියලා එයින් හැඟවෙන්නේ නැති බව අපි හැමදෙනාම සිහි තබාගත යුතුයි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවන වන විනාශයන් පිළිබඳව මාධ්‍ය වාර්තා තවමත් නොනවත්වාම පලවෙනවා. ඊට අමතරව හොර රහසේ සිදුවන වන විනාශයන් සංඛ්‍යාවත් සුළු පටු නැතිව ඇති.

එවැනි පසුබිමක ඉඳගෙන අපි තැන තැන පැළ හිටෙව්වාම අපේ රටේ වනාන්තර ප්‍රමාණය ඉහළ යනවා කියලා ජනාධිපතිවරයාට සහ විෂයභාර අමාත්‍යවාරයාට උපදෙස් දුන්නේ කවුද කියන්න ලියුම්කරු දන්නේ නැහැ. මේ රටේ ඉතිරි වෙලා තියෙන වනාන්තර ප්‍රමාණය දිනපතාම විවිධ පුද්ගලයින් සහ ආයතන විසින් ගිල ගනිමින් සිටින පරිසරයක වනගහනය වර්ධනය තබා තිබෙන වනාන්තර ටිකවත් අඩු නොවී පවත්වාගගෙන යන්න බැරි බව නොදරුවෙකුට වුනත් තේරෙනවා. වනගහනය ඉහළ නැංවීමට ආණ්ඩුවට අවශ්‍යනම් නැවත වන වගා සිදුකළ යුතුයි. එය දිගු කලක් ගතවන විද්‍යාත්මක ක්‍රියාවලියක්. පවතින වනාන්තරයක් විනාශ කරලා නැවත වන වගා කලත් එමගින් අපේක්ෂා කරන පරිසර පද්ධති සේවාවන් ලැබෙන්න අවුරුදු ගණනක් ගතවෙනවා. නමුත් එම වනාන්තර වල ජීවත්ව සිට වඳවී ගිය ජීවීන් නැවත මිහිතලයේ පහළ කරන්නත් වන වගාවට බැහැ. ඒ නිසා තැන තැන පැළ මිලියන දෙකක් නෙවෙයි හතරක් හිටෙව්වත් සිදුවෙන විනාශයට අලගු තියන්නත් බැහැ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවෙකු වශයෙන් අපි 2030 අවුරුද්ද වන විට මෙරට වනගහනය 32% දක්වා ඉහළ දැමීමට ලෝකයට පොරොන්දුදී ඇති බවත් මේ කවුරුත් දන්නවාද කියන්න ලියුම්කරු දන්නේ නැහැ.

වනාන්තර ප්‍රතිශතය, වන විනාශය සිදුවන ආකාරය, එහි සමාජාර්ථික හා පාරිසරික බලපෑම ගැන මේ රටේ ජීවත්වෙන බහුතරයක් ජනතාවටත් වගේ වගක් නැහැ. වඩාත් ජුගුප්සාජනක කාරණය තමයි වනය වනසන්න උඩගෙඩි දෙන ආණ්ඩුවම වනාන්තර සංරක්ෂණය සහ රුක් රෝපණය වැනි ආකර්ෂණීය වචන පාවිච්චි කරමින් මේ රටේ ඉන්න විමසුම් බුද්ධියක් තියෙන සුළුතරයක් ජනතාවත් රැවටීමට උත්සාහ දැරීම. ‘හුස්ම දෙන තුරුකියන ආණ්ඩුවේ රුක් රෝපණ වැඩසටහනත් වන විනාශය හරිත ශෝධනය කරන්න සැලසුම් කරපු ඒ වගේ ප්‍රෝඩාවක් බවයි ලියුම්කරුට නම් හිතෙන්නේ.

අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ මේ සොබාදහම අපට හුස්ම දෙන තුරු රටේ පාලකයන්ටහුස්ම දෙන තුරුවැනි ප්‍රෝඩාවන් සිදුකරමින් මිනිසුන් රවටන්නට ඉඩ ලැබෙනු ඇති බවයි. නමුත් ඒ කී කලකටද කියලා කියන්න ලියුම්කරු දන්නේ නැහැ. ඒ නිසා හුස්ම දෙන තුරුරුක් රෝපණ වැඩසටහන කෙසේ වෙතත් හුස්ම හිරවෙන තුරු බලා නොසිට දැනට ඉතිරිවෙලා තියෙන වනාන්තර ප්‍රමාණයවත් ආරක්ෂා කරගන්න ආණ්ඩුව කඩිනමින් සක්‍රීයව මැදිහත් වුනොත් හොඳයි.

Comments

Popular posts from this blog