කුණු කඳු සමග රමණය

© http://www.nbro.gov.lk

(2019 07 22 දින)

ගතවූ ඉතිහාසය පුරාම විවිධ කාල වලදී අපේ රටේ විවිධ ප්‍රදේශ වලින් කුණු එහෙමත් නැත්නම් කසළ සම්බන්ධ කතා අහන්න දකින්න ලැබුණා. ඒ හැම එකක්ම දුෂණයෙන් පිරි දුගඳ හමන ඒවා. බ්ලුමැන්ඩල් කුණු කන්දේ සිට අරුවක්කාලුව දක්වා දිවයිනේ සතර දිග් භාගයෙන් වාර්තාවූ මෙම කතා වලට කසළ කඳු නාය යාම් සහ ගිනි ගැනීම්, වාතය දුෂණය වීම නිසා ජනතාවට ඉන්න හිටින්නට නොහැකිවීම්, ජල මූලාශ්‍ර දුෂණය වීම්, වනජීවීන්ට කුණු කඳු මගින් ජීවිත තර්ජන එල්ලවීම් (මින් පෙර අභයභූමියේ සිට ඒ ගැන ලියා ඇත්තෙමි), මනුෂ්‍ය ඝාතන වගේම කළු සල්ලි සංසරණය වීමුත් ඇතුලත්. මීතොටමුල්ලේ අහිංසක වැසියන් තිස් තුන් දෙනෙකු පණපිටින් වලලා ඝාතනය කල අපේ රටේ කසළ කළමනාකරණ ඔස්තාර්ලා දැන් අරුවක්කාලුවේ අසරණ ජනතාවගේ ජීවිත කුණු කන්දකට යටකරන්නට දරණ උත්සාහය සහ එය සාධාරණීකරණය කරන ආකාරයත් ජුගුප්සාජනකයි. මේ අල්ල පනල්ලේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් භූමියක තිබී එක්සත් රාජධානියේ සිට 2017 හා 2018 අවුරුදුවල දී අපේ රටට ගෙන්වා ඇති කසළ බලාළුම් සිය ගණනක් සොයාගන්න ලැබීමත් පසුගිය දිනවල උණුසුම් මාතෘකාවක් වුණා.

අපි එදිනෙදා ජීවිතයේදී කසළ වශයෙන් පරිසරයට බැහැර කරන ද්‍රවය ජනනය වීම අවමකිරීම, ඒවා විවිධ ක්‍රම මගින් නැවත පරිහරණය කිරීම හා ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රම මගින් කසළ ගැටළුවට සාර්ථක විසඳුම් සෙවීමට ලොව පුරා විවිධ රටවල්වල වගේම අපේ රටෙත් විවිධ පුද්ගලයින් සමත්වෙලා තිබෙනවා. නමුත් තවදුරටත් එවැනි සාර්ථක කසළ කළමනාකරණ ක්‍රමවේද අපේ රටට කුණුහරුපවෙලා තියෙන්නේ කසළ සමග රමණයේ යෙදෙන පිරිස, එහෙමත් නැත්නම් කසළ ප්‍රශ්නයක් ලෙසම පවත්වාගෙන යාම මගින් තම සුඛ විහරණය සාදාගත් පිරිස මෙරට තුල බලවත්වීම නිසා. ඒ වගේම තමන්ගේ නිවසේ ගොඩගැසෙන කසළ මහ පාරට හෝ අනුන්ගේ පිළිකන්නකට විසිකර තමන් කසළ ගැටලුවෙන් මිදුණු බව සිතා සැනසෙන ජනතාවත් මීට වගකිවයුතුමයි.

අපේ රට කුණු ගොඩක් වීමෙන් ප්‍රතිලාභ ලබන විවිධ පිරිස් සිටිනවා. පළාත් පාලන ආයතන වල කසළ එක් රැස් කරන කම්කරුවාගේ සිට රට කරවන පාලකයින් දක්වා පුළුල් පරාසයක පැතිරුණු පිරිස් ඒ අතරට අයත්. කුණු ට්‍රැක්ටරයේ හෝ ලොරියේ කම්කරුවන්ට නගරවැසියන්ගෙන් හිමිවන සන්තෝසමඅපි නොසලකා හැරියත්, ඒ හැර අති විශාල මුදල් ප්‍රමාණයක් මේ කසළ කඳු වටා එක්රැස්වී සිටින සෙසු පුද්ගලයින් අතර සංසරණය වෙන බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් කපුටන් වාගේ කසළ ගොඩවල් වටා රොද බඳින්නේ ඒකයි. කසළ ප්‍රවාහනය සහ ගොඩ ගැසීම සඳහා අවශ්‍ය යාන වාහන සහ යන්ත්‍ර සූත්‍ර ලබාදෙන ව්‍යාපාරිකයින්, කසල පිරවීම සඳහා ඉඩම් ලබාදී මුදල් උපයන පුද්ගලයින්, ඔවුන් අතර සම්බන්ධීකරණය සිදුකරන ප්‍රාදේශීය දේශපාලකයින්, මෙම කටයුතු නියාමනය කරන පාතාල කල්ලි නායකයින්, අල්ලස් මුදලට යටත්ව ව්‍යසනයන් සඟවමින් මුනිවත රකින නිලධාරීන්, පිටරටින් පවා කසළ මෙරටට ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන ප්‍රතිපත්ති සම්පාදකයින්, තම පාර්ලිමේන්තු අසුන පවා පාවා දෙමින් කසළ කඳු සමග රමණයේ යෙදෙන්නන්ට අවශ්‍ය නීතිමය පසුබිම සකසා දෙන ජාතික මට්ටමේ දේශපාලකයින් වැනි එකී මෙකී නොකී විශාල පිරිසක් කුණු කඳු අරක්ගෙන සිටිනවා. මේ බහිරවයින්ගේ ධනෝපායන මාර්ග ඇහිරී යාම වළක්වාගැනීමට ඔවුන් තිරසාර කසළ කළමනාකරණයක් සඳහා ඇති සියළු මාර්ග අහුරා දමනවා. ඒ නිසා නිකසළ රටක් නිර්මාණය කරගැනීමට නම් මෙම බහිරවයින්ගෙන් අපගේ කසළ කළමනාකරණ මුදවා ගත යුතුමයි.

නමුත් මේ ගැන සාමාන්‍ය වැසියන්ට ගැඹුරු අවබෝධයක් වගේම උනන්දුවකුත් ඇත්තේ නැති බව කණගාටුවෙන් වුනත් කිව යුතුමයි. ඔවුන් තමන්ගේ කසළ තම හතර මායිමෙන් පිටතට විසිකර සැනසෙද්දී තක්කඩි දේශපාලකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් පිටරට කුණු කඳුත් අපේ රටේ ගොඩගසාගෙන ඒ සමග රමණයේ යෙදෙන්නට සූදානම් බව සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ප‍්‍රතිපත්තිය අනුව වගේම උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශසීමා හරහා ප්‍රවාහනය සහ බැහැර කිරීම පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතිය (1981) අනුවත් කිසිදු අපද්‍රව්‍යක් මෙරටට ගෙන්වීමට හැකියාවක් නැහැ. නමුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ නිකුත් කරපු ගැසට් නිවේදනයක් හරහා රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත වැනි අන පනත්වල පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සළසා දීම තුලින් විදේශීය රටවල කුණු කඳුත් අපේ රටට ආනයනය කරන්න මග පෑදුනා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව සම්බන්ධ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමටත් කසළ ආනයනය ඇතුලත්.

මේ ආකාරයේ අවිධිමත් කසළ බැහැරලීම් නිසා විවිධ සමාජාර්ථික සහ පාරිසරික ප්‍රශ්න රැසක් ඇතිවෙන්න පුළුවන්. ඉහත සඳහන්කළ එවැනි ප්‍රශ්න මගින් හුස්ම ගන්නට පිරිසිඳු වාතය අහිමි වෙන්නේ අපටමයි, බොන්නට පිරිසිඳු ජලය අහිමි වන්නේ අපටමයි, මැසි මදුරු මී උවදුරු වලින් රෝගී වන්නේ අපවමයි. කොටින්ම කීවොත් ඉන්න හිටින්නට රටක් අහිමි වන්නේ අපටමයි. ඒ නිසා අපේ නිවෙස් තුල ජනනය වන කසළ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර මේ ගැටලුවට විසඳුමක් සොයන්නට මුලපිරීම කාලීන අවශ්‍යතාවයක්. අඩු තරමින් නිවෙස් තුලට අනවශ්‍ය දෑ රැගෙන ඒමෙන් වැළකීම හා අවශ්‍ය තරමට පමණක් එදිනෙදා අවශ්‍ය පාරිභෝගික ද්‍රවය රැගෙන ඒම, නැවත නැවත භාවිතාකල හැකි දෑ එසේ භාවිතා කිරීම හා නිවසේ ජනනය වන කසළ වර්ගීකරණයකර පළාත් පාලන ආයතනයට ලබාදීම වැනි ක්‍රම මගින් අපට ඒ සඳහා ප්‍රවේශයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙවැනි සංවේදී කරනා සම්බන්ධයෙන් ලෝක ප්‍රවනතා සහ දේශපාලන අධිකාරියේ හැසිරීම ගැන අවධානයෙන් පසුවීමත් පුරවැසියන් හැටියට අපේ යුතුකමක් සහ වගකීමක්.

Comments

Popular posts from this blog