අවමකිරීම හා අනුහුරුවීම

© https://www.iberdrola.com

(2019 07 08 දින)

දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් කතා කිරීමේදී නිතර දෙවේලේ ඇසෙන වචන දෙකක් වනඅවමකිරීම හා අනුහුරුවීමගැන මෙවර අභයභූමියේ සිට ලියන්න හිතුවේ දිනපතා පැන නගින පරිසර ප්‍රශ්න වලින් දේශගුණ විපර්යාසය සම්බන්ධ සංවාදය යටපත්වීම වලක්වා ගන්න. බැලූ බැල්මට ආගන්තුක වචන දෙකක් ලෙස පෙනුනත් එමගින් අර්ථගැන්වෙන කරුණු කිසිසේත්ම සංකීර්ණ නැහැ. ඒ වගේම දේශගුණ විපර්යාස සම්බන්ධ ගණුදෙනුවේදී අත්‍යාවශ්‍යම සාධක දෙක හැටියටත් මේවා හඳුන්වන්න පිළිවන් නිසා මේ ගැන අපි දැනගෙන සිටිය යුතුමයි.

අවමකිරීම (Mitigation) හෙවත් දේශගුණ විපර්යාසයේ බලපෑම් ලිහිල් කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ දේශගුණ විපර්යාසය ඇතිවීමට හේතුවන හරිතාගාර වායු පරිසරයට නිදහස්කිරීම නැවත්වීම හෝ අවම කිරීමයි. හරිතාගාර වායුන් කියන්නේ වායුගෝලයේ ස්වභාවිකව පවතින හා කෘත්‍රීමව නිපදවා ඇති සූර්යාගෙන් පැමිණෙන මෙන්ම විශේෂයෙන් පෘතුවියෙන් පිටවන අධෝරක්ත කිරණ අවශෝෂණය කරගැනීමේ හා ඒවා නැවත නිකුත් කිරීමේ හැකියාවක් ඇති වායූන්.  හරිතාගාර වායු ස්වභාවිකව නොතිබෙන්නට පෘතුවි පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක සෘණ 18ක් වත් වීමට ඉඩ තිබුණා. ඒත් සුදූසු ප්‍රමාණවලින් හරිතාගාර වායු පැවතීම නිසා ඵම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් පමණ දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ අංශක 33ක වැඩි වීමක්. මේ නිසා ඡීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වයක් පෘථිවි තලය මත පවත්වා ගැනීම සඳහා හරිතාගාර වායු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලි කරුණක්. නමුත් පසුගිය දශක කිහිපය තුලදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කිසිඳු පාලනයකින් තොරව වායුගෝලයට හරිතාගාර වායු මුදාහැරීම නිසා වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යාමෙන් පරිසර උෂ්ණත්වය ප්‍රශස්ථ මට්ටම අභිබවා යාමට පටන් ගෙන තිබෙනවා. කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝ-කාබන්, හයිඩ්රෝෆ්ලෝරෝ-කාබන් දැනට හඳුනාගෙන ඇති මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට විමෝචනය වීම පාලනය කළයුතු ප්‍රධානතම හරිතාගාර වායුන්.

දේශගුණික විපර්යාස සඳහා හරිතාගාර වායු මගින් වන බලපෑම සෑම වායු වර්ගයක් සඳහාම එක හා සමාන වන්නේ නැහැ. අප හොඳින් දන්නා පරිදි, දේශගුණ විපර්යාස ඇතිවීමට දායක වන ප්‍රධානතම හරිතාගාර වායූව කාබන්ඩයොක්සයිඩ්. කාබන්ඩයොක්සයිඩ් වායුව වාර්ෂිකව ටොන් බිලියන ගණනක් වායුගෝලයට එකතු වන බව ගණන් බලා ඇති අතර මිනිසා විසින් දහනය කරනු ලබන පොසිල ඉන්ධන මෙයින් වැඩි ප්‍රතිශතයකට දායකත්වය ලබා දෙනවා. අධි පරිභෝජනවාදී ජීවන රටාවකට හුරුවී සිටින දියුණුයැයි පවසන රටවල් බොහොමයක් මෙම ක්‍රියාවලියට දායක වී තිබෙනවා. සංවර්ධිත රටවල් හා සංසන්දනය කරන කොට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දේශගුණ විපර්යාස කෙරෙහි ශ්‍රී ලංකාවේ  දායකත්වය පහළ මට්ටමක පවතිනවා. නමුත් ඉන්දියන් සාගරයේ පිහිටි දුපතක් වන අප රටටද ගෝලීය වශයෙන් සිදුවන දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම්වලට නම් කිසිම අඩුවක් නැතුව මුහුණ දීමට සිදූවෙනවා.

හරිතාගාර වායූන්ගේ මීළග විශාලම සාමාජිකයා ලෙස මීතේන් වායුව සලකන්න පුළුවන්. එය සමස්ත හරිතාගාර වායූන්ගේ ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගන්නා අතර මීතේන් වායුවේ බලපෑම (උණුසුම් කිරීමේ විභවය) කාබන්ඩයොක්සයිඩ් වලින් ඇතිකරන්නාවූ බලපෑම මෙන් 21 ගුණයක් ලෙස දැක්විය හැකියි. නමුත් එහි ක්‍රියාකාරී කාලය කාබන් ඩයොක්සයිඩ් වායුවට වඩා කෙටියි.

නයිට්‍රජන් අඩංගු පොහොර අධික ලෙස භාවිත කිරීම, නයිලෝන් හා සින්තටික් වර්ග දහනය, පොසිල ඉන්ධන දහනය තුලින් නයිට්‍රස් ඔක්සයිඩ් වායුව වායුගෝලයට ඵකතු වෙනවා. හරිතාගාර වායූන්ගේ සංයුතියේ 10% ක ප්‍රමාණයක් මේ වායුවට හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් වායුව මෙන් 310 ගුණයක් ගෝලීය උණුසුම වැඩිකිරීමෙහිලා ක්‍රියාකාරී බවින් යුක්ත වෙනවා.

තව දුරටත් දේශගුණ විපර්යාසය උග්‍රවීම වැලක්වීමට නම් හරිතාගාර වායු විමෝචනය නැවත්වීම හෝ පාලනය කිරීම සිදුකල යුතු අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දේශගුණ විපර්යාස අවමකරගැනීම යටතට ගැනෙනවා. උදාහරණ වශයෙන් ඉන්දන කාර්යක්ෂමතාවයෙන් ඉහළ යාන වාහන භාවිතය, හරිත බලශක්තියට යොමුවීම, වනාන්තර සංරක්ෂණය සහ වන වගා ව්‍යාප්තිය දක්වන්න පුළුවන්.

මේ අතර අනුහුරුවීම (Adaptation) යනුවෙන් අදහස් වන්නේ දේශගුණ විපර්යාසයේ ඝෘජු හෝ වක්‍ර ප්‍රතිඵල ලෙස හටගන්නා අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ  සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. ප්‍රබල සුළි කුණාටු, මුහුද ගොඩගැලීම්, අධික වර්ෂාව, ජල ගැලීම්, නායයෑම්, නියඟයන්, ජෛව විවිධත්වයට හානිවීම්, බෝග අස්වැන්න අඩුවීම්, කරදිය මිරිදිය මිශ්‍ර වීම, රෝග ව්‍යාප්තීන්, අසාමාන්‍ය ඝෘතු වෙනස්වීම් වාගේ ගැටළුවලට වර්ථමානයේ අපට නිරන්තරයෙන් මුහුණ දීමට සිදූව තිබෙනවා. එමගින් ඇතිවන බලපෑම් වලට මුහුණ දෙමින් නොනැසී ජීවත්වීම මේ වනවිට සමස්ත ලෝකවාසීන්ම මුහුණදී සිටින අභියෝගයයි.

දේශගුණික විපර්යාස ලොව විවිධ රටවල හා විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනවා. උදාහරණයක් වශයෙන් වෙරළබඩ ජනයාට මුහුදු ඛාදනය හේතුවෙන් තම නිවාස හා යටිතල පහසුකම් අහිමි වෙනවා. එය වැලැක්වීම සඳහා දිය කඩන ඉදිකිරීම වැනි ඉංජිනේරුමය විසඳුම් ක්‍රියාත්මක කිරීම හෝ කඩොලාන වගා කිරීම වැනි ජෛව විද්‍යාත්මක විසඳුම් ක්‍රියාත්මක කිරීම අනුහුරුවීම ලෙස දැක්විය හැකියි. එසේම නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ලවන බලපෑම අවම කරගැනීම සඳහා ජල සංරක්ෂණ ක්‍රම හඳුන්වා දීම හා නියං ප්‍රතිරෝධී බීජ වර්ග සැපයීම අනුහුරුවීම ලෙස දැක්විය හැකියි.

දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී මෙම උපායමාර්ගික අවි දෙවර්ගයම අපට ඉතා වැදගත් වෙනවා.

Comments

Popular posts from this blog