දේශගුණ තදියම

 © https://www.theweek.in
(2021 11 09 දින)

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශව කරුවන්ගේ 26 වැනි සැසි වාරය (COP 26) මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී පැවැත්වෙනවා. දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා වන ලෝක නායකයින්ගේ ප්‍රතිඥා සමුළුව පුරා රැව් පිළිරැව් දුන්නත් ඒවා ක්‍රියාවට නැංවීම පිළිබඳව නම් අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අපහසු බව අතීත සිදුවීම් අනුව පැහැදිලිව කියන්න පුළුවන්. කවුරු කොහොම ප්‍රතිඥා දුන්නත් පසුගිය අතීතය පුරාවටම සිදුවුණේ ඒ පොරොන්දු ලෝක බලවතුන්ගේ බල පොරයන්, ශීතල යුද්ධ සහ සැඟවුණු න්‍යාය පත්‍ර වලට යටවුණු එක විතරයි. ඒ කෙසේ වෙතත් මේ ගතවෙන සෑම තත්පරයක් පාසාම අපගේ වායු ගෝලයට එකතුවෙන හරිතාගාර වායූන් මගින් දේශගුණ විපර්යාසය උත්සන්න වීම නම් අඛණ්ඩව සිදුවෙන බව සඟවා තබන්න බැහැ.

මෙවර සමුළුවේදී 2030 අවුරුද්ද වන විට වන විනාශය අවසන් කිරීමට සහ ආපසු හැරවීමට ලෝක නායකයින් 100කට වැඩි පිරිසක් පොරොන්දු වීම පිළිබඳ විශාල කතිකාවක් ඇතිවුණා. ඇමේසන් වැසි වනාන්තරය විශාල වශයෙන් වනසා දමමින් සිටින බ්‍රසීලයත් පසුගිය අඟහරුවාදා (02) ඇතිකරගත් එකී එකඟතාවයට අත්සන් කළ රටවල් අතර සිටිනවා. සමුළුවේ සත්කාරකත්වය සපයන එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ “වෙන කවරදාටත් වඩා නායකයින්” - සමස්තයක් වශයෙන් 110 ක් මෙම “කඩයිම්” කැපවීම කර ඇති බවයි. "අපගේ විනාශකාරී වනාන්තර හායනය නැවැත්විය යුතුයි" සහ "සොබාදහමේ ජයග්‍රාහකයා” ලෙස මිනිසාගේ කාර්යභාරය අවසන් කර, ඒ වෙනුවට “සොබාදහමේ භාරකරු බවට පත් විය යුතුයි" ඔහු වැඩි දුරටත් පැවසුවා. එම වදන් දේශගුණ විපර්යාසයේ වියරුව පිළිබද සැබෑ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට අස්වැසිල්ලක්. නමුත් එම එකඟතා කාලයේ වැලි තලාවේ සැඟවී යාමට ඉඩ නොදී යථාර්ථයක් කරගැනීමේ වගකීම අප හැම දෙනෙකුටම තිබෙනවා.

ලියුම්කරුට මේ මොහොතේ සිහියට නැගෙන්නේ “ලොව පුරා විද්යාඥයින් විසින් දේශගුණ තදියමක් (Climate Emergency) පිළිබඳව අනතුරු අඟවයි මැයෙන් 2020 අවුරුද්දේ සිදුකළ විද්‍යාත්මක විග්‍රහය. BioScience විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කෙරුණු එම විග්‍රහයට රටවල් 153කට අයත් විද්‍යාඥයින් 11,263 දෙනෙක් දායකත්වය ලබාදී තිබෙනවා. එය එම අවධියේත් දේශගුණ විපර්යාසය පිළිබඳව උන්දුවක් දක්වන ලොව පුරා බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා. මෙම වසරේදීත් නැවතත් එම දේශගුණ තදියම පිළිබඳව අනතුරු ඇඟවීම තවත් අලුතෙන් එකතුවූ විද්‍යාඥයින් 2,800 කට වැඩි පිරිසකගේ මැදිහත්වීමෙන් නැවතත් ප්‍රකාශයට පත් කිරීමට BioScience විද්‍යා සඟරාව පසුගිය සැප්තැම්බර මාසයේ කටයුතු කළා. එහිදීත් නැවත නැවතත් ඔවුන් දේශගුණික විපර්යාසය ආමන්ත්‍රණය කිරීම සඳහා මානව වර්ගයාගේ සුළු ප්‍රගතියක් සමඟ ඉතා භයානක ප්‍රවණතා පෙන්නුම් කරන විග්‍රහයන්  ඉදිරිපත් කර තිබෙනවා. මානව වර්ගයාට දේශගුණ විපර්යාසය හේතුවෙන් ඕනෑම මොහොතක එල්ලවිය හැකි ව්‍යසනකාරී තර්ජනයක් පිළිබඳව පැහැදිලිව අනතුරු ඇඟවීමක් අන්තර්ගත එමගින් අදාළ විද්‍යාඥයින් පරිවර්තනීය වෙනසක් ඉල්ලා සිටිනවා.

රටවල් 34 ක පරිපාලන ප්‍රදේශ 1,990 ක් දැන් විධිමත් ලෙස දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර හෝ පිළිගෙන තිබෙනවා. ඒ අතරම 2019 අවුරුද්දේ සිට දේශගුණික විපර්යාසය සම්බන්ද ව්‍යසනවල පෙර නොවූ විරූ වැඩිවීමක් දක්නට ලැබෙනවා. දකුණු ඇමරිකාවේ සහ අග්නිදිග ආසියාවේ විනාශකාරී ගංවතුර, ඕස්ට්‍රේලියාවේ සහ බටහිර එක්සත් ජනපදයේ වාර්තාගත උණුසුම් වායු ධාරා සහ ලැව්ගිනි, අසාමාන්‍ය අත්ලාන්තික් සුළි කුණාටු සහ අප්‍රිකාවේ, දකුණු ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ විනාශකාරී සුළි සුළං සහිත සමයක් අප ගෙවා දමමින් සිටිනවා. තවද බටහිර ඇන්ටාක්ටික් සහ ග්‍රීන්ලන්ත අයිස් තට්ටු, උණුසුම් ජල කොරල්පර සහ ඇමසන් වැසි වනාන්තර ඇතුළු පෘථිවි පද්ධතියේ තීරණාත්මක කොටස් විනාශයට පත්වීම සම්බන්ධ බරපතල කඩයිම් වෙත අප ළංව සිටින බවට හෝ දැනටමත් ඉක්මවා ඇති බවට ප්‍රභල සාක්ෂි තිබෙනවා. මෙම භයානක ප්‍රවණතා සැලකිල්ලට ගෙන, අපට දේශගුණික හදිසි අවස්ථා පිළිබඳ කෙටි කාලීන, නිරන්තර සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි යාවත්කාලීන තොරතුරු අවශ්‍ය වී තිබෙනවා.

මිනිසුන් ඇතුළු මුළු මහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ වර්තමාන මට්ටමින් හෝ ජීවත්වීමට අවශ්‍ය නම් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේ වත් පවත්වාගෙන යායුතුයි.  නමුත් COP 26 නව ප්‍රතිඥාද ඇතුළු දැනට කඩදාසි වලට පමණක් සීමාවී ඇති සියලු කැපකිරීම් සිදුකළත් එම අගය අංශක 1.8 දක්වා ඉහළ යන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පසුගියදා අවධාරණය කර තිබුණා.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අපට නම් තවමත් මේ බිහිසුණු වර්තමානය සහ ආනාගතය පිළිබඳ ලොකු අවබෝධයක් සහ අවධානයක් නැති බව කණගාටුවෙන් නමුත් කියන්නට අවශ්‍යයි. මේ දිනවල දිවයින පුරාම ජනතාව පීඩා විඳිමින් සටින වර්ෂාධික කාලගුණ තත්වය, බදුල්ල නගරයේ රජයේ ආයතන සහ යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස් ජීවිතයකුත් බිලිගත් හදිසි ගංවතුර තත්ත්වය වගේම පසුගිය මාසයේ අපේම ධීවර සොයුරන් පස් දෙනෙකුට ජීවිත අහිමි කළ බෝට්ටු පෙරළීම්, අකුණු සැර වැදීම් සහ මුහුදට ගසාගෙන යාම් ඔය කියන ගෝලීය දේශගුණික විපර්යාසයේ දේශීය ප්‍රතිපල බව අපට තවමත් වැටහීමක් නැහැ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පාලකයන්ගේ ශාපයක් ලෙසත්, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමගදේවෝ වස්සතු කාලේන...’ ආදී වශයෙන් රජුගේ ධාර්මික බව හේතුවෙන් කලට වසින වර්ෂාවන් ලෙසත් මෙම ව්‍යසනයන් අර්ථදක්වමින් සැනසුණා මිස අපි ඉන් එහා විපරමක් සිදුකළේ නැහැ.

නමුත් එම කඩතුරාවන් ඉවත්කර දමා විවෘත දෑසින් මේ ගෝලීය අභියෝගය දකින්නටත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමටත් ජනතාව දක්වන උනන්දුව මේ මිහිතලයේ ජීවී ප්‍රජාවන්ගේ පරමායුෂ තීරණය කරනු ඇති බව අවසන් වශයෙන් ලියා තබන්න කැමතියි.

Comments

Popular posts from this blog