විශේෂිත පුද්ගලයෝ

 © https://www.lankaleadnews.com

(2022 02 01 දින)

පරිසරය රැකගැනීම සඳහා කොපමණ නීති තිබුණත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමේ අඩුවක් පෙනෙන්නට තිබෙන බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හාමුදුරුවෝ පහුගිය දවසක කියලා තිබුණා. බහුතරයක් පරිසර හානි සිදු කරන්නන් හට විශේෂ පුද්ගලයන්ගේ රැකවරණය ලැබෙන ආකාරයක් දක්නට තිබෙන බවත් උන්වහන්සේ වැඩි දුරටත් කියලා තිබුණා. ඇත්තටම අපේ රටේ වර්තමානයේ සිදුවෙන පරිසර විනාශයන්ගේ නිමක් නැහැ. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙන පාටක් පෙනෙන්නත් නැහැ. වැරදිකරුවන් කිසිම පැකිලීමක් නැතුව නිදැල්ලේ හැසිරෙන බවක් නම් පෙනෙන්න තිබෙනවා. මල්වතු මහානායක හාමුදුරුවෝ කියන්නා වාගේ මේ පරිසර විනාශයන්ට අනුබල දෙන, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන විශේෂිත පුද්ගලයින් කවුද?

ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේ වනාන්තර එළි පෙහෙළි වෙන්නේ කිසිම බාධාවක් නැතුව. වන සතුන් ඝාතනය කිරීම්, ස්වභාවික සම්පත් අනවසරයෙන් අත්පත්කර ගැනීම්, පරිසර දුෂණය වගේ එකී මෙකී නොකී අතවරයන් සොබාදහම් අම්මා කෙලෙසා දමමින් සිටින්නේ කිසිම පැකිලීමක් නැතිව. විවිධ දේශපාලුවන් සහ උන්ගේ

හෙන්චයියන් ‘ඔක්සිජන් කන්නද?’ යි අසමින් පරිසරය විනාශ කරනවා. හිතුමතේ ගල්, වැලි, පස් ජාවාරම් කරන්න මග පාදමින් පරිසර සංහාරයට අත්පොත් තබපු රටේ මුල් පුරවැසියන් පවා ඒ මහා විනාශය ආපසු හරවන්න ප්‍රමාණවත් මැදිහත්වීමක් කලාද කියන එක සැකයි. ඊට හපන් සමහර නිලධාරීනුත් කළ දුටුකල වල ඉහගනිමින් ඉන්නවා.

මහා පරිමාණ සමුද්‍ර දූෂණයන්ට තුඩු දුන් නාවික අනතුරු පිළිබඳව ඇත්තේ පුදුම නිද්‍රාශීලීකමක්. වයඹ පළාතේ සුවහසක් වන වාසීන්ට සෙවණ සලසපු, අලි ඇතුන් පවා ජීවත්වුණු - ඔබමොබ යන්න පාවිච්චි කරපු වනාන්තර විනාශකරමින් විවිධ කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කොම්පැණිකරුවන්ට බදු දෙන්න ප්‍රකට රජමහා විහාර වල විහාරාධිකාරීන් කටයුතු කරනවා. අම්මාවරුන් මරලා වනාන්තර වලින් පැහැරගත්තු අලි පැටවුන්ටත් යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නැහැ. අලි ජාවාරම්කරුවන්ට එරෙහිව නඩු දාන්න කියපු නීතිපතිම ඒ නඩුවලට පදනමක් නෑ කියලා ඉවත් කරගන්නත් කියනවා. අලි ජාවාරම ගැන පර්යේෂණ කරපු ලියුම්කරු ඇතුළු පිරිසක් ඒ ගැන කට උත්තර දෙන්න යනකොට සැකකාරයෝ අම්මලා මරලා පැහැරගත්ත අලි දරු පැටවුන් ගෙදර අරං යනවා. නීතිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනී ඉන්නේ වින්දිතයන් වෙනුවෙන්ද එහෙමත් නැත්නම් චූදිතයන් වෙනුවෙන්ද කියන එක ගරු අධිකරණයටත් ප්‍රශ්නයක්ලු. වීදුරු පතුල සහිත බෝට්ටු පැදීම තහනම් කරලා තියෙන පරවි දූපත් ජාතික උද්‍යානයේ එසේ කරන්න නාවික හමුදාව පෙළඹිලා. හෝටන් තැන්න ජාතික උද්‍යානය හරහා විවෘත කරපු අලුත් පාරේ හමුදා නිලධාරීන් ශාරීරික අභ්‍යාස කරනවා. තව කොතෙකුත් ගැටළු මේ ආකාරයට ලැයිස්තු ගතකරන්න පුළුවන්.

ඒ හැමදේම ඒ විදිහට සිද්ධ වෙන්නේ අපේ මහනායක හාමුදුරුවෝ කියන්නා වාගේ  විශේෂිත පුද්ගලයන්ගේ බලපෑම් නිසාද? එසේනම් ඒ විශේෂිත පුද්ගලයන් කවුද? ලියුම්කරු දන්නා විදිහට රටේ විශේෂ පුද්ගලයන් වන්නේ රටේ පාලකයින්. අපේ රටේ ජනතාවගේ වගේම පරිසරය සහ ස්වභාවික සම්පත්වල භාරකරුවන් වෙන්නේ ඔවුන්. අතීතයේදී නම් ඒ භාරකරුවා රටේ රජතුමා. වර්තමානයේ නම් විධායක ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ආදීන්. ඉතින් පරිසරය රැකගැනීමට ඇති  නීති රීති ක්‍රියාත්මක වීමට ඇති ඉඩ අහුරන, බහුතරයක් පරිසර හානි සිදු කරන්නන්ට රැකවරණය දෙන විශේෂිත පුද්ගලයන් මේ රටේ පාලකයින්ද? එහෙමත් නැත්නම් විධායක ජනාධිපතිවරයාටත් වඩා බල සම්පන්න පරිසර සංහාරිකයින් ආරක්ෂා කරන විශේෂිත පුදගලයින් පිරිසක් මේ රටේ ඉන්නවාද?

පරිසරය විනාශකරන උන් රකින්න කොයි විශේෂිත පුද්ගලයා හිටියත්, පරිසර සංහාරයේ බලපෑම්වලින් බේරෙන්න කොයි විශේෂිත පුද්ගලයෙකුටවත් බැහැ. තමන්ගේ වත්පොහොසත්කම්, ධන නිල බලය කොච්චර ලොකු වුනත් අපේ රටේ පරිසරය විනාශ කරලා උන්ට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ, රටින් පැනලා ගියොත් මිසක්. නමුත් ඒ විනාශයෙන් බේරෙන්න පොදු මහාජනතාවට වෙන රටකට පැනලා යන්න බැහැ. ඒ නිසයි අතලොස්සක් විශේෂිත පුද්ගලයින්ගේ තුප්පහිකම් පරාජය කරලා පොදු ජනතාව තමන්ට ජීවත්වෙන්න තියෙන පරිසරය ආරක්ෂා කරගන්න කැපවිය යුත්තේ.   

අතීතයේ ඉඳලම රටේ පාලකයන්ට ගහකොළ, සතාසිව්පාවුන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂාකරන්න ගුරුහරුකම් දුන්නේ බෞද්ධ ස්වාමීන්වහන්සේ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා පුරෝගාමී වුණේ මිහින්තලා පර්වතය මුදුනට වැඩම කරපු මිහිඳු මහා රහතන් වහන්සේ. නමුත් වර්තමානයේ භික්ෂූන්වහන්සේ අතින් ඒ වගකීම සහ යුතුකම ප්‍රමාණවත් පරිදි ඉටුවෙනවාද කියන එක ප්‍රශ්නයක්. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හාමුදුරුවන්ගෙ ප්‍රකාශය ඒ උභතෝකෝටිකයට උත්තරයක් නොවන බව ඇත්ත. නමුත් එසේ හෝ උන්වහන්සේ පරිසර සංහාරයට එරෙහිව හඬ අවධිකිරීම පිළිබඳව නමස්කාර පූර්වක ස්තූතිය පිරිනමන්න කැමතියි.

ඉදින් මහානායක හිමියනී,

මුතු ඇටය, කඳුළු කැටයක් කරන මේ මහා පරිසර සංහාරය ආපසු හැරවීමට තව තවත් ජනී ජනයා අවධිකරනු මැනවි! පාලකයින්ට අනුශාසනා කරණු මැනවි!

Comments

Popular posts from this blog