සත්ත්ව සුබ සාධනය

© https://www.onlanka.com

(2019 06 24 දින)

සතා සිව්පාවාගේ ආරක්ෂාව හා සුබ සාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපට තියෙන්නේ වෙනත් කිසිදු ජාතියකට නැති තරම් සාඩම්බර අතීතයක්. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී මෙරට රජ කළ දේවානම්පියතිස්ස රජතුමා සකලවිධ සත්ත්ව වර්ගයාට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය පිළිගත්තා. මිහින්තලාව ලොව ප්‍රථම අභයභූමිය වශයෙන් ප්‍රකාශයට පත්කරමින්.

පසුකාලීනව වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධයෙන් රටේ නීති රීති පද්ධතිය විකාශනය වුනත් සත්ත්ව හිංසනය වැලැක්වීම සහ සුබ සාධනය සම්බන්ධයෙන් දක්නට ලැබුණේ අඩු උනන්දුවක්. 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත මෙරට සතුනට රැකවරණය ලබා දීම සඳහා දැනට ඇති එකම නීතිමය ආවරණය වීම ඊට කදිම සාක්ෂියක්. විවිධ හේතූන් නිසා මෙය යාවත්කාලීන කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් පැන නැඟී  තිබුණත් බලධාරීන් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක්.

ලොව සියලුම සත්ත්වයින්ට ආරක්ෂිතව ජීවත්වීමට අයිතියක් තිබිය යුතුයි. ඒක මිනිසුන්ට වගේම අනෙකුත් සත්ත්වයින්ටත් පොදුයි. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කොතෙකුත් නීතිමය ප්‍රතිපාදන තිබුණත් සත්ත්ව අයිතින් වෙනුවෙන් එවැනි නීතිමය ආරක්ෂාවන් තියෙන්නේ ඉතා අවම වශයෙන්. අද වෙනකොට ගෘහාශ්‍රිත වගේම වන සතුන් ඉතා කෘර හා අමානුෂික වධ බන්ධනයන්ට හා ඝාතනයන්ට ගොදුරුවන්නේ ඒ නිසයි.

2016 අවුරුද්දේදී කුස ඇලි මුහුදු උකුස්සෙක් පණපිටින් හමගසා මරා දැමීමේ සිදුවීමක් හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වුනා. ඒ වගේම 2018 අවුරුද්දේදී ගම්මානයක් ආසන්නයට ආපු කොටියෙක් ඉතා අමානුෂික ලෙස පොලු මුගුරු වලින් පහරදී මරා දැමූ සිදුවීමක් කිලිනොච්චිය ප්‍රදේශයෙනුත් වාර්තාවුනා. මීගමුව, කොප්පරා හංදිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතිදැඩිකල සුනඛයෙකු ගිනිතබා මරා දැමීමත්,  බලංගොඩ, මස්තැන්න ප්‍රදේශයේදී සුනඛයෙකු දුෂණයකර මරා දැමීමත් පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහට ලක්වූ ඉතා අමානුෂික සත්ත්ව හිංසනයන්ට උදාහරණ. ඊට නුදුරේදීම එකතුවූ ශෝකාන්තය ඉකුත් පොසොන් පෝය දවසේ කටාන, කඳවල ප්‍රදේශයේ සිදුවූ අමානුෂික සුනඛ ඝාතනය. ඒ හැරුණුකොට කොතෙකුත් අසරණ සත්වයින් පීඩනයට හා හිංසනයට පත්කිරීමේ සිදුවීම් දිනපතාම සිදුවුණත් ඒවා කාගෙවත් අවධානයට වත් යොමුවන්නේ නැති තරම්.

මේ අසරණ  සතුන්  සිය දුක් කඳුළු මතින් නිහඬ අරගලයක යෙදෙන්නේ සත්ත්ව හිංසනය වැළැක්වීමේ නීති ප්‍රතිපාදන මෙරට තුළ  ශක්තිමත් කරන ලෙස තව තවත් සිහි කැඳවමින්. නමුත් අවාසනාවක මහත නම් සත්ත්ව සුබසාධන පනත හමස් පෙට්ටියේ දමාගෙන බලධාරිහු  තවමත් නිද්‍රාශීලීව පසුවීමයි.

අපේ රටේ සතුන්ගේ ආරක්ෂණය හා සුබසාධනය සම්බන්ධයෙන් දැනට බලාත්මක 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත, බ්‍රිතාන්‍යන් අපේ රට පාලනය කල සමයේ නීතිගත කරන ලද්දක්. එම ආඥාපනත කරළියට පැමිණ ගෙවී ගිය ශතවර්ෂයකට වැඩි කාලය තුළ ලෝකයේ අනෙක් රටවල් බොහොමයක් සත්ත්ව හිංසනයන් වැලැක්වීම සඳහා ශක්තිමත් නීති අනපනත් නිර්මාණය කර තිබෙනවා. නමුත් වර්තමානයට ගැලපෙන ලෙස අපේ රටේ නීති පද්ධතිය එසේ යාවත්කාලීන කිරීමට රටක් ලෙස අප තවමත් අපොහොසත්වීම, සත්ව අයිතිවාසිකම් සුරැකීමට පුරෝගාමීවූ අපේම අතීත මුතුන්මිත්තන්ටත් සිදුකරන නිග්‍රහයක්.

2016 ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක් තිබුණත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගන්න කාටවත් උවමනාවක් නැහැ. වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධ නීති රීති යම්කිසි ප්‍රමාණයකින් යාවත්කාලීන  වුනත් පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය පිළිබඳව රජයට පසුගාමී අදහසක් තිබීම විමතියට කරුණක්.

1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මගින් යම්කිසි සත්ත්ව හිංසනයක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයෙකුගෙන් අයකර ගතහැකි උපරිම දඩ මුදල රුපියල් සියයක් පමණයි. එවැනි වරදකරුවෙකු සය මසක උපරිමයකට යටත්ව බන්ධනාගාර ගතකිරීමකට යටත්කළ හැකිව තිබුණත් එම දණ්ඩනය පැනවෙන්නේ නොමැති තරම්. මේ අනුව සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ශක්තිමත් පනතක් නීතිගත කිරීම කාලීන අවශ්‍යතාවයක්.

මෙම නව පනත සම්මත කිරීම මගින් ආකාර කිහිපයකින් අසරණ සතුන්ට නීතිමය ආරක්ෂාවක් සැලසෙනවා. සත්ත්වයින් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය අර්ථකථනය වඩාත් පුළුල් කිරීම මගින් සත්ත්ව හිංසනයට එරෙහිව වැඩි ආවරණයක් ලැබීම මෙම නව පනතේ ඇති විශේෂත්වයක්. ඒ වගේම සත්ත්ව හිංසනයන් හා සතුන්ට නොසලකා හැරීම් සම්බන්ධයෙන් වැරදකරුවන්ට ලබා දිය හැකි දඬුවම් ඉහළ නැංවීමටත් මෙමඟින් අවස්ථාව ලැබෙනවා. සතෙකු තම භාරයේ තබාගන්නා පුද්ගලයාට එම සත්ත්වයා රැකබලා ගැනීමට නෛතික වගකීමක් පැවරීමත් මෙහි ඇති නව සංකල්පයක්. සත්ත්ව ආරක්ෂණය සහ හිංසනය පිළිබඳ විශේෂයෙන් ක්‍රියාත්මක වන අධිකාරියක් හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යූහය මෙම පනත හරහා ගොඩ නැගීමට ප්‍රතිපාදන සලසා තිබෙනවා.

මේ සියලු කරුණු  සමග වඩාත් ඵලදායී හා කාර්යක්ෂම නීති රාමුවකින් මෙරට සියලු සත්වයින්ට ආරක්ෂාව ලැබීමට හා සුබසාධනය තහවුරු කරගැනීමට මෙම පනත අවස්ථාව උදාකරදී තිබෙනවා. නිසා සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බල කිරීම අවිහිංසාව අගයන උතුම් මානව ගුණාංගයන්ගෙන් පිරි හදවත් ඇති සැමගේ යුතුකමක් හා වගකීමක්.

Comments

Popular posts from this blog