හූනෝ සහ ජාතික වීරයෝ

© https://suranjankaru.wixsite.com/neet

(2019 08 26 දින)

හූනන් සහ ජාතික වීරයින් පිළිබඳව ගැටලුව පහුගිය දිනවල මුහුණු පොතේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දක්වා විවිධ තැන්වල ගැඹුරු සංවාද සහ මතවාද ඇතිකළ මාතෘකාවක් වුණා. ඒ අපේ රටේ සිටින දක්ෂ තරුණ වනජීවී පර්යේෂකයෙකු වන සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු දෙස් විදෙස් පර්යේෂක කණ්ඩායමක් විසින් පසුගියදා ලෝකයට අනාවරණය කල හූනන් හය දෙනෙකුට මෙරට සිටි ජාතික වීරයින්ට ගෞරවකරමින් නම් ලබාදීම නිසා. ‘හූනන් ඇඟ වැටීමේ පලාපලගැන මිස ගෙදර බිත්තියේ සිටින හූනන්ගෙන් සිදුවෙන සේවය ගැනවත් දැනුමක් නැති මුහුණුපොත් වීරයින්ට පමණක් මෙම සංවාදය ලඝුවුණා නම් ඒ ගැන නොලියා ඉන්නට තිබුණේ ඒ හැර ලියන්නට බොහෝ දෑ මේ දිනවල පරිසර ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින නිසා. නමුත් මේ හූනන් සම්බන්ධ ප්‍රශ්නය දඩමීමා කරගනිමින් ඇතැම් දේශපාළුවන් සහ චීවරධාරීන්ද ජාතික වීරයින් වීමට උත්සාහ දරණ ජුගුප්සාජනක ආකාරය දැකීමෙන් මේ ගැන අභයභූමියේ සිට නොලියා සිටීමට නොහැකිවූ බව මුලින්ම කිවයුතුයි.

සමීර ඇතුළු පර්යේෂකයින් කිහිපදෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ වනාන්තර තුල මෙතෙක් සැඟවී සිටි මෙම දිවාචර හූනන් විශේෂ හය විදුලොවට අණාවරණය කිරීම ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය සම්බන්ධ සුවිශේෂී කඩයිමක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ මෙම සොයාගැනීම නොවන්නට එම සතුන් තවත් කෙටි කලකින් අප කිසිවෙකුත් නොදැනම අපේ රටෙන් සදහටම සමුගෙන යාමට පවා ඕනෑ තරම් ඉඩකඩ තිබුණේ එම සතුන් සොයාගත් හුදෙකලා කඳුගැට බොහොමයක් මිනිසාගේ ආක්‍රමණයට දරුණු ලෙස නතුවී ඇති නිසා. ඒ වගේම එම සතුන්ද ඇතුළුව ඔවුන් අයත්වන දිවාසැරි හූනන් (Cnemaspis) ඝනයට අයත් මෙතෙක් දිවයිනෙන් වාර්තාවී ඇති හූනන් විශේෂ 32 ම ශ්‍රී ලංකාවට ආවේණික බවත් නොකියාම බැහැ. ඒ කියන්නේ එම හූනන් මුළුමහත් ලෝකයෙන්ම ජීවත්වන්නේ අපේ රටේ පමණයි. එතරම් වටිනාකමක් ඇති මෙම හූනන් විශේෂ හය පිළිබඳව කරුණු සවිස්තරව ලොවට හෙළිදරව් කිරීමට දායකවූ පර්යේෂකයින් අප සැමගේ ප්‍රසංශාවට ලක්විය යුතුයි. නමුත් සතුන් විද්‍යාත්මකව නම් කිරීම සඳහා යොදාගන්නා ද්වීපද නාමකරණය ගැන තබා විද්‍යාව ගැනවත් අඹ මල් රේණුවක තරම් දැනුමක් හෝ අවබෝධයක් නැති කාඩ්බෝඩ් වීරයින් පිරිසක් මෙම පර්යේෂකයින්ව දඬුකඳේ ගැසීමට මේ දිනවල උත්සාහ දරමින් සිටින්නේ ඉතාම මුග්ධ ආකාරයටයි.

මිහිතලයේ සිටින ජීවී විශේෂ විද්‍යාත්මකව නම් කිරීම සඳහා යොදාගන්නා ලොවම පිළිගත් පොදු නාමකරණ ක්‍රමය හඳුන්වන්නේ ද්වීපද නාමකරණය වශයෙන්. එමගින් කොටස් දෙකකින් යුත් නමක් සෑම ජීවියෙකුටම ලබා දෙනවා. ඒ ඝන නාමය සහ විශේෂ නාමය වශයෙන්. උදාහරණයක් හැටියට මිනිසා හඳුන්වන  විද්‍යාත්මක නාමය හෝමෝ සේපියන් (Homo sapiens) වන අතර එහි හෝමෝ යනුවෙන් ඝන නාමයත් සේපියන් යනුවෙන් විශේෂ නාමයත් යෙදෙනවා. ලොව පුරා විද්‍යාඥයින් ජීවී විශේෂ නම් කිරීමේදී සුවිශේෂී පුද්ගලයන්ට ගෞරවකරමින් එම නම්කිරීම් සිදුකළ අවස්ථා ඉතිහාසයේ සුලභයි. ඒ වගේම විද්‍යාවේදී කිසිම ජීවී විශේෂයක් උස් හෝ පහත් ලෙස සලකන්නේ නැති නිසා එම ඕනෑම ජීවී විශේෂයකට නම් තැබීම සඳහා මෙවැනි විශේෂ පුද්ගලයින්ගේ නම් යොදාගත හැකියි. මින් පෙර බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීම පිණිස පවා සතුන් විශේෂ නම් කිරීමට විද්‍යාඥයින් කටයුතුකර තිබෙනවා (උදා: Papilio buddha සහ Calinaga buddha යන සමනළ විශේෂ). ඒ වගේම දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ සහ දලයි ලාමා වැනි ආගමික නායකයින්ට ගෞරවකරමින් නම්කළ සතුන් විශේෂ සිටිනවා. නෙල්සන් මැන්ඩෙලා, බැරැක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ලෝකප්‍රකට දේශපාලකයින්ට ගෞරවකරමින් නම්කළ සතුන් විශේෂ සිටිනවා. විලියම් ෂේක්ස්පියර්, බීතෝවන්, ආතර් සී. ක්ලාර්ක්, බිල් ගේට්ස්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ වැනි සුවිශේෂී චරිත වලට ගෞරව කරමින් නම් කෙරුණු ජීවී විශේෂත් සිටිනවා. ඒ වාගේම ලංකාවෙත් මින් පෙර මෙසේ ජීවී විශේෂවලට විද්‍යාත්මකව නම් යෙදීමේදී ප්‍රසිද්ධ පුද්ගලයින්, විද්වතුන් වාගේම ජාතික වීරයිනුත් යොදාගත් අවස්ථා තිබෙනවා. එමගින් ඔවුන්ට ලොව පුරා ප්‍රසිද්ධියක් ලැබුණා මිස අපහාසයක් සිදුවී නැහැ.

එහිදී සිදු වන්නේ, අදාළ පුද්ගලයාගේ ජීවියා ලෙස එම ජීවියා හැඳින්වීම මිස එම ජීවියා අදාළ පුද්ගලයාගේ නමින් හැඳින්වීම නොවෙයි. උදාහරණයක් ලෙස මෙම පර්යේෂකයින් විසින් සොයාගත් Cnemaspis gotaimarai නම් හූනන් විශේෂය හඳුන්වන්නේ 'ගෝඨයිබර හූනා' ලෙස නොවෙයි. එම ජීවියා නිවැරදිව හැඳින්විය යුත්තේ, ගෝඨයිම්බරගේ හූනා යනුවෙන්. එමගින් අදහස් වන්නේ ගෝඨයිබර යෝධයාට අයත් හූනා යනුවෙන් මිස හූනාගේ නම ගෝඨයිම්බර බව නොවෙයි. යම්කිසි ජීවී විශේෂයක් විදුලොවට හඳුන්වාදෙමින් ද්වීපද නාමකරණය යටතේ නමක් ලබාදීම සඳහා ප්‍රකාශයට පත්කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවේ අදාළ ජීවියාට නම් තැබීමේදී භාවිත කරන විශේෂ පුද්ගලයා ගැනත් ඔහුගේ හෝ ඇයගේ නමින් එම ජීවී විශේෂය නම්කිරීමට හේතුව ගැනත් සඳහන් ඡේදයක් ඇතුලත් වෙනවා. එමගින් මෙම පර්යේෂණ පත්‍රිකාව පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට එම පුද්ගලයා ගැන දැනුමක් ලැබෙනවා. එමගින් කාලයේ වැලි තලාවේ වැළලී යන්නට තිබූ විශේෂ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලෝකයටම දැන ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගැඹුරු යථාර්තය දැන හෝ නොදැන මෙම නවීන විද්‍යාත්මක සොයාගැනීම දඩමීමා කරගනිමින් මෙම පර්යේෂකයින් අපහසුතාවයට පත්කිරීමටත් තමන් පටු වාසි ප්‍රයෝජන ලබා ගැනීමටත් ඇතැමුන් දරණ නිවට සහ නිර්ලජ්ජිත උත්සාහය සැබැවින්ම පිළිකුල් සහගතයි.

එබැවින් අවිද්‍යාව වපුරුවමින් වීරයින් වීමට සැරසෙන පටු අවස්ථාවාදීන්ට කියන්න තියෙන්නේ වම් උරහිසට හූනෙකු වැටෙනතුරු කල් මරමින් බලා නොසිට, තමන් වෙනුවෙනුත් ජීවී විශේෂයක් නම්කෙරෙන ආකාරයේ වැදගත් සේවයක් තම රටට සහ ජාතියට ඉටු කරන්න උත්සාහකරන්න කියලා.

Comments

Popular posts from this blog