දේවානීලාට හූ කියමු!

© https://liya.lk

(2021 07 27 දින)

සහකාර වන සංරක්ෂක (දිසා වන නිලධාරී - ගම්පහ) දේවානී ජයතිලකට හූ කියලා. ඒ මීගමුව රැජින දූව කඩොලාන දූපතේ ක්‍රිඩා පිටිය සම්බන්ද ගැටළුව නැවත විමසා බැලීමට ඉකුත් 17වැනිදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එහි ගිය අවස්ථාවේ. දේවානී ජයතිලකත් ඊට සහභාගීවී සිටියදී තමයි මිනිස්සු ඇයට හූ කිව්වේ. නමුත් ක්‍රීඩාංගණයක ව්‍යාපාරිකයෙක් සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් ඒ සඳහා දේවානී සහය දක්වන බවත් තමයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවුණේ.

දේවානී මුළින්ම කරළියට ආවේත් පහුගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මෙම මීගමුව රැජින දූව කඩොලාන දූපත බිලිගනිමින් අදාළ ක්‍රීඩා පිටිය ඉදිකිරීමට දේශපාලකයින් සහ ඔවුන්ගේ හෙන්චයියන් පිරිසක් උත්සාහ දරපු වේලාවේදි. තමන් හුස්ම ගන්නේ ඔක්සිජන් බව වත් දන්නේ නැති පිරිසකට කඩොලාන වනාන්තර වල ඇති වැදගත්කම කියලා දෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නමුත් දේවානී ඒක ඔවුන්ට තේරෙන සිංහලෙන් කියලා දුන්නා. එතැන් සිට ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට දේවානී වහ කදුරු ගානයි. කොහොමත් තමන්ගේ පදේට නටන්නේ නැති නිලධාරීන්ව අපේ රටේ දේශපාලකයින්ට පෙන්නන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ තර්ජන ගර්ජන නිමක් නොමැතිව තමන් වෙත එල්ල වෙමින් තිබුණත් දේවානී ඇගේ අරමුණ අත්හැරියේ නැහැ.

ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති, එවකට ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් පමණක් වාර්තාවූ ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් ඇතැයි සැලකූ කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාඛය ආරක්ෂා කරන්නත් ඇයට මේ අවුරුද්ද මුල විශාල අරගලයක් කරන්න සිද්ධ වුණා.  

ඉන් පස්සේ මාර්තු මාසයේ ගම්පහ, නයිවල ප්‍රද්ශයේ පැවති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී කඳ බඩ මහත අමාත්‍යවරයෙක් දේවානීට ගිරිය පිප්පුවා. එහිදී ඇය පෙනී සිටියේ 1885 මැයි මස 22 වැනිදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කළ ලංකාවේ පළමු රක්ෂිතය රැකගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිසිදුම දිය පොද ඉතිරිවී තිබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියක් රැකගන්න. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ සුරකිමු ගංගාව්‍යාපෘතියටද ඉතා වැදගත් කැළණි ගඟේ අවසාන ජල පෝෂක ප්‍රදේශය රැකගන්න. මීතිරිගල ඔයේ ජල පෝෂක ප්‍රදේශය රැකගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන එකම ස්වාභාවික වනාන්තරය වන මීතිරිගල රක්ෂිතය රැකගන්න.

එතකොට විල්පත්තුව කපනකොට දේවානී කොහේද හිටියේ ?

එහෙම අහන මිනිස්සු දන්නේ නැතුව ඇති දේවානී ජයතිලක මුලින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ 2011 අවුරුද්දේ වුනත් ඇය දිස්ත්‍රික්කයක් භාර දිසා වන නිලධාරී තනතුරට උසස්වීමක් ලබන්නේ 2015 අවුරුද්දේ බව. ඒ වගේම ඒ පත්වීම ලබන ගම්පහ දිස්ත්‍රික්කයට විල්පත්තුව අයිති නැති බව. ඇත්තටම විල්පත්තුවට උතුරින් පිහිටි වනාන්තර හෙටයාර් දහස් ගණනක් වනසන කාලේ දේවානී වගේ කශේරුකාවක් ඇති නිලධාරියෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවේ හිටියා නම් එම වන විනාශයත් කෙසේ හෝ පාලනය කරගන්න ඉඩ තිබුණා. ඒ වගේම උසස් නිලධාරීන්ගේ කොඳු බිඳලා ඒ මහා වන විනාශය සිදුකිරීමට මූලිකත්වය ගත්ත වන අපරාධකරුවන්ට නැවත නැවතත් කිරුළු පළඳවන්නේ දේවානීලාට හූ කියන මිනිස්සුම බවත් අප අමතක නොකළ යුතුයි.

දේවානී කියන්නේ තමන්ට ලැබී ඇති තනතුරෙන් ලංකාවේ අඩුම වන ආවරණය සහිත දිස්ත්‍රික්කයේ ඉතුරු වෙලා තියෙන වනාන්තර ටික ආරක්ෂා කරගැනීමේ අරමුණ ඉටුකර ගන්න දිවා රෑ නැතුව වෙහෙසෙන යකඩ ගැහැණියක්. මුළු ගම්පහ දිස්ත්‍රික්කයටම තිබෙන්නේ වන ආවරණය හෙක්ටයාර් 2,000ක් පමණ. එය ප්‍රතිශතයක් විදිහට දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 1.5ක් පමණයි. දේශපාලුවන්, ධනවතුන්, බලවතුන් එකතු වෙලා මේ උලාකමින් ඉන්නේ ඒ සීමිත වනාන්තර සම්පත. කට්ටි කරළා බෙදාගන්න, විවිධ ඉදිකිරීම් කරන්න බිලිගන්න හදන්නේ ඒ සීමිත වනාන්තර සම්පත. මිනිස්සු හූ කියන්නේ ඒ සීමිත වනාන්තර සම්පත රැකගන්න සටන් කරන දේවානීට, දේශපාලුවන් ඉදිරියේ තුන හතරට නැමුණු කොඳු දිග ඇරලා, උන් ඉදිරියේ ගොළු වුන ගිරිය පුප්පලා ආයතන සංග්‍රහයේ පිටු පෙරළලා තම උසස් නිලධාරීන් විසින් මුඛවාඩම් දමා ඇති නිසා මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටියත් සටන අත් නොහැරි දේවානීට. රාජකාරී කරන අතරම තමන්ව අහේතුකව ස්ථාන මරු කිරීමට එරෙහිවත් සටන් කරන්න වෙලා තියෙන දේවානීට.

වාතය පිරිසිදු කිරීම, පරිසරය සිසිල් කිරීම, ජලය - පස සංරක්ෂණය, ආහාර සහ ඉන්ධන ලබාදීම, ගංවතුර සහ නායයාම් වැනි ()ස්වභාවික විපත් අවම කිරීම වැනි පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රැසක් මිනිසා ඇතුළු මුළුමහත් ජීවී ප්‍රජාවටම ලබාදෙන වනාන්තර ආරක්ෂා කිරීම කෙරෙහි මුළුමහත් ලෝකයේම විශාල අවධානයක් යොමුවෙලා. නමුත් අපේ රටේ ඉන්න, ජීවත්වෙන්න ඔක්සිජන් අවශ්‍යයි කියලාවත් නොදන්නා දේශපාලුවන් සහ උන්ට හුරේ දමන අමනෝඥ මිනිස්සු කරන්නේ වනාන්තර රැකගන්න වෙහෙස මහන්සි වෙන සීමිත පිරිසට නින්දා අපහාස කරන එක.

වනාන්තර කියන්නේ මිහිතලයේ රක්ෂණාවරණය කියලා එක්සත් ජාතීන්ගේ හිටපු මහා ලේකම් බැන් කි-මූන් මහත්තයාත් වරක් ප්‍රකාශ කළා. එතරම් වැදගත් වනාන්තර ටික රැකගන්න විශාල කැපකිරීමක් කරන දේවානීලාට ගම්පහ විතරක් නෙවෙයි, මුළු රටේම මිනිස්සු හූ කියන්න තමයි ඕනෑ. මේ රටේ ඉතුරු වෙලා තියෙන වනාන්තර සියල්ලම අවසන් වුණාට පස්සේ, ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන - සල්ලි දීලා හුස්ම ගන්න වෙන දවසට දේශපාලකයින් අපි දිහා අවඥාවෙන් බලලා හූ කියයි. අපේම දරු මුණුබුරෝ අපට ශාප කරයි. එතකල් මිනිසුනේ වරෙව්, අපි දේවානීලාට හූ කියමු!

Comments

Popular posts from this blog