බංකොලොත් සංවර්ධන සිහින
(2019 10 28 දින)
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති නිසා මේ දවස්වල දේශපාලන වේදිකාව හරිම උණුසුම්. එකිනෙකා පරයමින් සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම දේශපාලන වේදිකා මත සිට සංවර්ධන සිහින පෙන්වන්නේ තොග පිටින්. තිස් අවුරුද්දක් පූරා මේ දිවයින වෙලාගෙන පැවති ශාපලත් යුද්ධය නිමවීමෙන් පස්සේ නැගුනු සාමයේ අරුණළුත් සමග ශ්‍රී ලංකාව සමාජාර්ථික සංවර්ධනය අතින් ලෝකයේ ඉහළට ගමන් කරයි කියලා සියළුදෙනා අපේක්ෂා දල්වාගෙන සිටියත් මේ දක්වා එම සොඳුරු සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීමේ මගට රට අවතීර්ණ කරන්න මෙරට කරවන පාලකයන් අපොහොසත්වී ඇති බව රහසක් නොවෙයි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල වගේම වර්තමාන මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව ගෙනයන සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳවත් විමසා බලන ඕනෑම කෙනෙකුට එය වටහා ගැනීම අපහසු නැහැ. ඒ නිසා සංවර්ධන සිහින වලට තවමත් අපේ රටේ දේශපාලන වේදිකාවල ඕනෑ තරම් ඉඩ කඩ වෙන්වෙලා තියෙනවා.
ඉදිරි දශකය තුලදී හෝ දරිද්‍රතාවය මැඩපැවැත්වීම
හා මධ්‍යම අදායම් රටක් ලෙස ස්ථාවරවීම මගින් ලක් වැසියන්ට යහපත් සමාජාර්ථික
පරිසරයක් තුල ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය සංවර්ධන ඉලක්ක සකස් කොට එම ඉලක්ක ලඟා
කරගැනීම සඳහා කැපවීම අනිවාර්යෙන් සිදුකල යුතුයි. නමුත් ඒ සියල්ල පැත්තකට වීසි කරලා ජනතාවගේ පටි තදකර
මහජන මුදල් සූරෑ කමින් මඩිය තර කරගැනීමේ න්‍යායෙන් අත්මිදීමට අපේ රටේ බහුතරයක්
දේශපාලකයන්ට තවමත්නොහැකිවී තිබීම කණගාටුවට කරුණක්. ඊට අමතරව අපි දකින බොහොමයක් සංවර්ධන සිහින
බංකොලොත්වීමට අපේ ජාතික සංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගත කර නොගැනීමත්
ප්‍රධාන හේතුවක් වී ඇති බව අප අවධාරණය කරගත යුතුයි.
මිනිසාගේ අයහපත් ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිපලයක්
ලෙස අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින මිහිතලය උණුසුම්වීම සහ දේශගුණ විපර්යාසය මගින් ඇතිකෙරෙන දරුණු හා ප්‍රචණ්ඩ බලපෑමවලින් අප මේ
මොහොතේත් පීඩාවට පත්ව සිටිනවා. ඉදිරි
දශකය තුලදී තවදුරටත් ප්‍රබලව මෙම බලපෑම් එල්ලවීමද අපට පාලනය කරන්න බැහැ. ඒ නිසා අප ක්‍රියාත්මකකරන සංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගතකර නොගත්තොත්
එම සංවර්ධන ව්‍යාපෘති අඩාල වීම
අනිවාර්යයි. එමගින් තවදුරටත් සිදුවන්නේ රටේ පවතින ආර්ථික හා සමාජීය විෂමතා වර්ධනය වී
ජනතාව කබලෙන් ලිපට වැටීමයි. එබැවින් අපගේ සංවර්ධන න්‍යායපත්‍රය නොසැලී අඛණ්ඩව ඉදිරිය
ක්‍රියාත්මකවීම සඳහා සියළු ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට
ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් කිරීම සඳහා බලධාරීන් ක්‍රියා කල යුතුයි. ඒ අනුව දේශගුණ විපර්යාසයට හැඩගැසීම සඳහා දැනුම, තාක්ෂනය
සහ සූක්ෂම සැලසුම්කරණය අත්‍යාවශ්‍යයි. නමුත් අපේ රටේ පාලකයන්ට මේ පිළිබඳව වගේ වගක්
නැති බව මෙරට තුල ක්‍රියාත්මකවෙමින් පවතින හා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට
දේශපාලන වේදිකාවල මොරදෙන සංවර්ධන ව්‍යාපෘති අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වෙනවා.
දේශගුණ විපර්යාසයේ ආර්ථිකමය බලපෑම පිළිබඳ ශ්‍රී
ලංකාවේ අපට ඇත්තේ ඉතා අඩු උනන්දුවක්. ඒ නිසා දේශගුණ විපර්යාසය මගින් රටේ ආර්ථිකය හා
ජනතාව ආරක්ෂා කරගැනීමට වෙන්ව ඇත්තේ අඩු අවධානයක්. උදාහරණයක් වශයෙන් යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක්
ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සිදුකෙරෙන පරිසර බලපෑම් තක්සේරුවේදී හෝ ක්‍රමෝපායික
පාරිසරික බලපෑම් තක්සේරුවේදී පවා දේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් දක්වන්නේ
නැති තරම්. එමගින්
සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් හමුවේ එකී සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත
ප්‍රතිපල නොලැබී අපේ රට ලෝකයට ණයවී අන්ත අසරණ තත්ත්වයට පත්වීම පමණයි.
සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා
යම්කිසි ප්‍රදේශයක පරිසරයේ විවිධ වෙනස්කම් සිදුකරනවා. එමගින්
දේශගුණ රටාවට බලපෑම් එල්ල වෙනවා. උදාහරණයක් වශයෙන් යම්කිසි ප්‍රදේශයක වනාන්තර
හෙළි පෙහෙළි කිරීම මගින් පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැකියි. එසේම එමගින් ජල උල්පත් සිඳී යාම මගින් ප්‍රදේශයේ
ජනතාවට නියං සමයේ ජල ගැටළු වලට මුහුණදීමට සිදුවෙනවා. දේශගුණ විපර්යාසය මගින් නිතර නිතර නියං තත්ත්වයන්
ඇතිකරන අතර ඒවායේ තීව්‍රතාවයද වැඩි කරන බව රහසක් නොවෙයි. එමගින් එම ප්‍රදේශයේ ජනතාවට එල්ලවන බලපෑම දෙගුණ
තෙගුණ වෙනවා. වන විනාශය
නිසා තම වාසභූමි අහිමිවන අලි ඇතුන් ගම් වැදීම සිදුවෙනවා. ගොවි ජනතාවට වන අලි තර්ජනයට හා ජල හිඟයට
මුහුණදීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථික තත්වය පිරිහෙනවා. එමගින් සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබෙන සොච්චම්
ලාභයට වඩා වැඩි පාඩුවක් රටේ සමස්ථ ආර්ථිකයට දරන්නට සිදුවෙනවා.
යම්කිසි ප්‍රදේශයක වනාන්තර විනාශකර සංවර්ධන ව්‍යාපෘතියක්
ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බලධාරීන් එමගින් එල්ල වියහැකි මෙවැනි බලපෑම් පිළිබඳව
ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ගැටළුවක්. සැබෑ ලෙසම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති වලින්
සිදුවන්නේ අටුව කඩා පුටුව සෑදුවාට නොදෙවැනි දෙයක්. අපේ රටේ ජනතාව සදාකල් දුක් විඳිමින් ජීවත්වීම
වැලැක්වීම දේශපාලකයින්ගේ යුතුකම හා වගකීම බව නොකිවමනායි. නමුත් එම ජනතාව සංවර්ධනය නාමයෙන් කබලෙන් ලිපට ඇද
දැමීමට ඔවුන්ට කිසිඳු අයිතියක් නැහැ. දේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වා
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් සැබෑ ලෙසම සිදුවන්නේ එයයි. එබැවින් දේශපාලකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්
දැන්වත් බංකොලොත් සංවර්ධන සිහින වලින් මිදී යථාර්ථවාදීව තීන්දු තීරණ ගැනීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා දේශගුණ විපර්යාසය ක්‍රමයෙන්
ඉස්මතුවන්නාවුත්, සියළුම ක්ෂේත්‍රවලට තර්ජන එල්ලකරන්නාවුත්
සංසිද්ධියක් බව සැළකිල්ලට ගත යුතුයි. එසේම ජාතික සංවර්ධනයේ හා සැලසුම්කරණයේ මුලිකාංගයක් බවට දේශගුණ විපර්යාසයට අනුහුරුවීම පත්කිරීම ඉක්මන්
කල යුතුයි.
Comments
Post a Comment