කාන්තාව
හා දේශගුණ අභියෝගය
| © https://ensia.com |
(2022 01 18 දින)
දේශගුණ විපර්යාසය හේතුවෙන් මිනිස් වර්ගයා වෙත එල්ලවී ඇති බලපෑම් ගැන කතා අභයභූමියේ සිට ලියන්නට ලියුම්කරුගේ සිත යොමු වුණේ අපේ රටේ ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය පවතින්නේ ඉතා පහළ අඩියක නිසයි. දේශගුණ විපර්යාසයේ බලපෑම් ගැන කතා කිරීමේදී කාන්තාවන්ට එල්ලවී ඇති බලපෑම පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි. ඒ මොකද බොහෝ විට පවුල් ඒකකයන්ට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් එල්ලවන පීඩනයේ අවසන් ගොදුර බවට පත්වන්නේ කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වන නිසා. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන සමාජාර්ථික පීඩනයේ ගොදුරු බවට පත්වන කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් මුහුණ දෙමින් සිටින අඳුරු ඉරණම පිළිබඳව දැන් දැන් සිටම අවධානය යොමුකර ඊට පිළියම් සෙවීම අත්‍යාවශ්‍යයි. 2016 අප්‍රේල් මාසේ 22 වන දින රටවල් 175 ක් අත්සන් තැබූ පැරිස් දේශගුණ සම්මුතිය තුලත්, දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියාත්මක වීමේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (gender-sensitive actions) පිලිබඳ අවධානය යොමු කර ඇත්තේද මේ හේතුවෙන්.
තම පවුලේ සාමාජිකයන්ගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ඉන්දන ලෙස දර සපයාගැනීම හා පරිභෝජනයට අවශ්‍ය ජලය සපයා ගැනීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ තුන්වැනි ලෝකයේ රටවල කාන්තාවන්ගේ ප්‍රධාන වගකීමක්. බොහෝ විට පවුලේ ගැහැණු දරුවන්ටද මේ සඳහා මවට උදව් උපකාර කිරීමට සිදුවෙනවා. නමුත් වියළි කලාපයේ හා කඳුකරයේ බොහෝ ප්‍රදේශ වල ජීවත්වන කාන්තාවන්ට එම වගකීම ඉටුකිරීම පහසු කටයුත්තක් වන්නේ නැහැ. විශේෂයෙන් වර්ෂා සමයන්හිදී වැසි දියෙන් දර තෙත්වීම නිසා ඒවා ඉන්දන ලෙස භාවිතා කිරීම අපහසු වෙනවා. දේශගුණ විපර්යාසයේ එක් අනිටු ප්‍රතිපලයක් ලෙස නිතර වර්ෂාපතනයන් ඇදහැලෙන ප්‍රදේශ වල කාන්තාවන්ට තම පවුලේ අහර වේල පිසගැනීමට හෝ වියළි දර කැබලි කිහිපයක් සපයා ගැනීමට දේශගුණ විපර්යාසය හරස් වන්නේ නිතර ඇදහැලෙන වර්ෂාවේ මුහුණුවරින්.
දේශගුණ විපර්යාසයේ තවත් අනිටු ප්‍රතිපලයක් වන්නේ ඇතැම් ප්‍රදේශ වලට දීර්ඝ නියං කාල ඇතිවීමයි. එවැනි තත්වයක් තුල තම පවුලේ අවශ්‍යතා සඳහා ජලය සොයා ගැනීම එවැනි ප්‍රදේශ වල කාන්තාවන්ට මහත් වෙහෙසකර කටයුත්තක් බව නොකිවමනායි. ලොව පුරා බොහෝ ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට පිරිසිඳු ජලය සපයා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබෙනවා. එම අභියෝගය දේශගුණ විපර්යාස හේතුවෙන් දෙතුන් ගුණයක් බරපතල වෙද්දී එහි ගොදුර බවට පත්වන්නේත් කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වීම සෝචනීය තත්ත්වයක්. එකිනෙක මත කුඩා කලගෙඩි හිස මත තබාගෙන හෝ ප්ලාස්ටික් ජල බඳුන් රැගෙන ජලය සොයා යන වියළි කලාපීය ප්‍රදේශවල කාන්තාවන් ඔබත් ජීවිතයේ එක වරක් හෝ දැක ඇතිවාට සැක නැහැ. ඒ දේශගුණ විපර්යාසය කාන්තාවන්ට බලපා ඇති ආකාරයයි. බැලූ බැල්මට එය ආකර්ශනීය දසුනක් වීමට පුළුවන් වුනත් එම ජල බඳුන් ඔසවාගෙන දිනපතා සැතපුම් ගණන් ජලය සොයා ඇවිද යාම වින්දනීය අත්දැකීමක් නම් නෙවෙයි.
එම වෙහෙසකර කාර්ය විසින් එම කාන්තාවන් දීර්ඝකාලීන කොන්දේ හා දෙපාවල වේදනාව වැනි රෝගී තත්වයන්ගෙන් බැටකන අසරණයන් බවට පත් කරනවා. ඒ මතුද නොව දේශගුණ විපර්යාසය විසින් මේ උදුරාගෙන ඇත්තේ තම දරුවන් රැකබලා ගැනීමට, පවුලේ අවශ්‍යතා ඉෂ්ඨ කිරීමට හා ජීවනෝපායක යෙදී පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන්ට ඇති වටිනා කාලයයි. පවුලේ මවට දර හා ජලය සෙවීමට සැලකිය යුතු කාලයක් ගතකිරීමට සිදුවීම හා නිවසින් සැතපුම් ගණන් දුරබැහැරට යාමට සිදුවීම නිසා එමගින් පවුලේ දරුවන් අනාරක්ෂිත වීම සිදුවන අතර ඉතා බර ජල බඳුන් රැගෙන වෙහෙසකර ගමනක නිරතවන ස්ත්‍රීන්ද වෙනත් පුද්ගලයන්ගේම හෝ වන සතුන්ගේ හිංසනයන්ට ලක්වීමට වැඩි ඉඩ කඩක් පවතිනවා. එතැනදී තම මවගේ සහයට පැමිණෙන ගැහැණු දරුවන්ට අත්වන්නේද එම ඉරණමමයි. ඊට අමතරව ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති වටිනා කාලයත් මේ හේතුවෙන් අහිමිවී යාම කොතරම් අභාග්‍යසම්පන්න තත්ත්වයක්ද කියන එක දෙවරක් කියන්න අවශ්‍ය නැහැ.
ඒ වගේම දේශගුණ විපර්යාසයේ ආදීනව වශයෙන් හටගන්නා සුළිසුලං, කුණාටු, ගංවතුර හා නායයාම් වැනි ආපදාවන්ගෙන්ද වැඩිපුරම බැට කන්නේ කාන්තාවන්. තම පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගැනීමට අපහසුවීම හා අවශ්‍ය පරිදි සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට අපහසුවීමේ සිට තම පවුලට අවශ්‍ය මුලික අවශ්‍යතා ලබා ගැනීම සඳහා නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබා දීමට සිදුවීම දක්වා වූ බරපතල අමානුෂීය ඛේදවාචකයන් රැසකට කාන්තාව මෙමගින් මුහුණ දෙනවා.
දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් පවුලේ ආර්ථික තත්ත්වය දුර්වලවීම නිසා ලැබෙන සීමිත සම්පත් තම ස්වාමියා හා දරුවන් වෙත ලබා දී නිහඬවම කුසගින්න දරාගෙන සිටින මව්වරුන් කොතරම් මේ පොළොවේ සිටිනවා ඇත්ද යන්න ඔබ කිසිවිටෙකත් සිතා ඇතිද? ඒ හේතුව නිසා අවශ්‍ය පෝෂදායී ආහාර නොලැබීම නිසා කාන්තාවන් තව තවත් දුර්වල මෙන්ම අසරණ වන අතර එමගින් ඔවුන් රෝග වලට ගොදුරුව වැඩි වශයෙන් වේදනා විඳීම හෝ මරණයට පත්වීම සිදුවෙනවා. ගර්භණී කාන්තාවන්ට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑම් ඇතිකරන අතර ඊට අමතරව දේශගුණ විපර්යාසය හේතුවෙන් පහල වායුගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය ඉහළ යාම මගින් නොමේරු දරු උපත් ඇතිවීම තවත් බරපතල තත්ත්වයක්.
දේශගුණ විපර්යාසය මගින් ඇතිකරන අහිතකර බලපෑම් කොතරම් පුළුල් සහ සංකීර්ණ ආකාරයෙන් කාන්තාවන්ට බලපානවද කියන එක මේ උදාහරණ කිහිපයෙන් මොනවට පැහැදිළි වෙනවා නේද? ඒ නිසා දේශගුණ විපර්යාසයෙන් පෘථිවි වාසීන් ආරක්ෂාකර ගැනීමේ සටන ආරම්භ කලයුත්තේ කාන්තාව සවිබල ගැන්වීම මගින් බව ඔබටත් වැටහෙනවා ඇති!
Comments
Post a Comment