ගල්, වැලි හා පස්

© https://biodiversitysrilanka.org

(2020 01 13 දින)

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව රැස්වූ දෙවැනි කැබිනට් රැස්වීමේදී ගත් ආන්ධෝලනාත්මක තීරණයක් වුණේ ගල්, වැලි හා පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමයි. ගල්, වැලි හා පස් ප්‍රවාහනයේ දී බලපත්‍ර අනිවාර්ය කර තිබීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඇමැතිවරු කිහිප දෙනෙක්ම එහිදී පෙන්වාදී තිබුණා. ඔවුන් කීවේ ප්‍රවාහන බලපත්‍ර නිසා ගල්, වැලි සහ පස් මිල විශාල ලෙස වැඩි වී සාමාන්‍ය ජනතාවට ගෙයක් දොරක් පවා සාදා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන අතර මෙය මාෆියාවක් බවයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබුණේ ගල්, වැලි හා පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අහෝසි කළයුතු බවයි. ඒ සම්බන්ධයෙන්​ සොයා බැලීමට කමිටුවක් පත්කර, මේ ගැන සමාලෝචනයක් කළයුතු බවත්, සාර්ථක අසාර්ථක බව බැලීමට මෙය සතියක් ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩි දුරටත් තීරණය කෙරුණා. නමුත් ගල්, වැලි හා පස් ලබාගන්නා ස්ථාන සඳහා තවදුරටත් බලපත්‍ර ක්‍රමය වලංගු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශකලා. මෙයින් තමන්ගේ නිවස සාදා ගැනීමට අඩු මුදලට ගල්, වැලි හා පස් ලබාගැනීමට හැකිවීම පිළිබඳව ඇතැමෙක් සතුට පලකලත්, පටු වාසි ප්‍රයෝජන වලට ලඝු නොවී පරිසරයට, සතා සිව්පාවාට මෙන්ම ජන ජීවිතයටද මෙයින් එල්ලවන බලපෑම පිළිබඳව ගැඹුරින් විමසා බැලීම වැදගත් බවයි ලියුම්කරුගේ අදහස.

මහා පරිමාණයෙන් සහ අවිධිමත් ආකාරයෙන් ගංගා වල වැලි ගොඩදැමීම නිසා මුහුදු ජලය රට තුලට පැමිණීම කැළණි, කළු සහ නිල්වලා වැනි ගංගා වල බරපතල ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ හේතුවෙන් ගොවිතැන් කිරීමේ අපහසුතා මෙන්ම පානීය ජල ගැටළුත් මතුවී තිබෙනවා. වියලි කාලයට කළු ගඟෙන් ජලය ලබා ගන්නා කළුතර හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට පරිභෝජනය කරන්නට වෙලා තියෙන්නේ කරදිය මිශ්‍ර ජලය. ඒ වාගේම නිල්වලා ගඟ ආශ්‍රිතව රට තුලට කිඹුල් උවදුර පැතිර යාමටත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ වැලි කැණීම නිසා කරදිය රට ඇතුලට ගලා ඒමෙන් ජලයේ ලවණතාවය ඉහළ ගිහින් ගැට කිඹුලන්ට සුදුසු පරිසර තත්ත්වයක් ඇතිවීම බව අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම ගංගා ඉවුරු ඛාදනය වීමෙන් මාර්ග, පාලම්, නිවාස, ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් පවා අවධානමට ලක්වූ වාර අනන්තයි. ඒ වගේම ජලජ පරිසර පද්ධති වල සමතුලිතතාවය බිඳ වැටිලා ජීවී විශේෂ වලට බරපතල තර්ජන එල්ලවෙන්නත් මෙය හේතු වෙනවා. අක්‍රමවත් ආකාරයෙන් කළුගල් කැඩීමේ ආදීනව ගැනත් අමුතුවෙන් කියන්න ඕනෑ නැත්තේ පසුගිය මාසේ අගදීත් වලපනේ, මලපට්ටාව ප්‍රදේශයේ නායකින් මිනිස් ජීවිත තුනක් රටට අහිමි වෙන්න මෙවැනි අවිධිමත් ගල් කොරියක් හේතුවුණ නිසා. පස් කැණීම නිසා සිදුවන පාංශුඛාදනය, රොන් මඩ තැන්පත්වී ජලාශ ගොඩවීම, වනජීවී වාසස්ථාන විනාශවීම, සහ නාය යාම වැනි විපත්තිත් එහෙමයි.

නමුත් මේ සියළු බලපෑම් තඹ සතයකට මායිම් නොකර ගල්, වැලි හා පස් ජාවාරම මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ තුල සංසරණය වන විශාල නීත්‍යානුකූල සහ නීතිවිරෝධී මුදල් සම්භාරය නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ මාෆියාව කොතරම් බරපතලද කියනවා නම් ගල්, වැලි හා පස් මේ රටේ ක්‍රියාත්මකවන අන්ත දූෂිත ව්‍යාපාර බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විවිධ අවස්ථාවල අවධාරණය කළා. එවැනි පසුබිමක් තුල මෙම ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අහෝසි කිරීමට තීරණය කිරීම විමතිය දනවන කරුණක්.

ඇතැමුන් මෙම තීරණය සාධාරණීකරණය කරන්නේ ගල්, වැලි හා පස් ලබාගන්නා ස්ථාන සඳහා බලපත්‍ර ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකබව පවසමින්. නමුත් ඔය කියන බලපත්‍ර ක්‍රමය මේ දක්වාම ක්‍රියාත්මක වෙද්දීත් ඉහත සඳහන්කළ විපත්ති සියල්ල සිදුවී ඇත්තේ එම බලපත්‍ර කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම මෙම බලපත්‍ර නිකුත්කිරීම සහ නියාමනය සිදුවන්නේ අන්ත දුෂිත රාජ්‍ය ආයතන හරහා බවත් වර්තමාන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වැලි ජාවාරමක් පිළිබඳව විමසා බැලීමට පසුගියදා ගිය අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ගල්, වැලි හා පස් කැණීම සඳහා බලපත්‍ර නිකුත්කරන ආණ්ඩුවේ ආයතනය වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සම්පුර්ණයෙන්ම ඉන්නේපට්ට හොරු ටිකක්බවයි. ඒ වගේම මෙවැනි පරිසරයට අහිතකර ව්‍යපෘති පිළිබඳව සොයාබැලීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පිහිටුවා ඇති ආණ්ඩුවේ ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරියේත් ඉන්නේ පට්ට හොරුබවත්කොමිස් කුට්ටිය යනවා නම් උන් පර්මිට් දෙන බවත් ඔහු අවධාරණය කළා.

දැන් සිදුවී ඇත්තේ මෙවැනි අන්ත දුෂිත රාජ්‍ය ආයතන මගින් නියාමනය කෙරෙන, මේ රටේ ක්‍රියාත්මකවන අන්ත දූෂිත ව්‍යාපාරයක් සඳහා තවදුරටත් සහන සැලසීම පමණයි. ඒ අනුව කුමන හෝ කුප්‍රකට ක්‍රමයකින් ලොරියකට පටවා ගත් සැනින්, එසැණින් සියළු ගල්, වැලි හා පස් නීත්‍යානුකූල බවට පත්වන බව මේ තීරණය ගත් සහ ඊට පක්ෂ පිරිස්වලට නොවැටහීම කණගාටුවට කරුණක්. එමගින් සිදුවන්නේ ඉබ්බා දියේ දමා ඇන්නෑවේ කීවාට නොදෙවැනි දෙයක් බව වටහා ගැනීමට බලධාරීන්ට වැඩිකල් ගත නොවේවායි ලියුම්කරු පතනවා. ඒ මොකද මේ මුග්ධ තීරණය හේතුවෙන් පරිසරයට, සතා සිව්පාවාට මෙන්ම ජන ජීවිතයටද එල්ලවන බලපෑම් යළි නිවැරදි කිරීම සඳහා රටක් වශයෙන් අපට දරන්නට වන වියදම ගෙයක් හදාගන්න අඩු මිලට ගල්, වැලි හා පස් සපයාගැනීමෙන් සැලසුණු සොච්චම් ආර්ථික වාසියට වඩා ඉතා විශාල වන නිසා.

Comments

Popular posts from this blog