දූපත් ජෛවවිවිධත්වය
(2019 11 11 දින)
දේශගුණ
විපර්යාසය මගින් ජෛවවිවිධත්වයට ඇතිවන බලපෑම පිළිබඳව කතා කිරීමේදී දූපත් ජෛවවිවිධත්වයට
හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ලොව පුරා විසිරී පැතිරී ඇති
දූපත් හා ඒ ආශ්‍රිත වෙරළාසන්න පරිසර
පද්ධති අතිවිශාල ජෛවවිවිධත්වයකට උරුමකම් කියන අතර බොහෝ ආවේනික සත්ත්ව හා ශාක විශේෂ
වලට එම පරිසර පද්ධති වාසභූමි සපයයි. එසේම දූපත් ජෛවවිවිධත්වය සෙසු ප්‍රදේශ
වල ව්‍යාප්තවී ඇති ජෛවවිවිධත්වයට සාපේක්ෂව සංවේදී බවින් වැඩි නිසා දේශගුණ
විපර්යාසයේ සැහැසිකම් වලට ගොදුරුවී සදහටම මිහිමතින් තුරන්වී යාමට ඇති නැඹුරුව ඉතා
වැඩියි. ඊට කදිම නිදසුන වන්නේ පසුගිය අවුරුදු 400ක
පමණ කාලය තුල පෘථිවි තලයෙන් වඳවී ගිය සත්ත්ව විශේෂ වලින් හරි අඩක්ම දුපත් වල
ජීවත්වූ සත්ත්ව විශේෂ වීමයි. ඉකුත් ශත වර්ෂය තුළ දූපත්
ජෛවවිවිධත්වය ආක්‍රමණික ජීවී විශේෂ, පරිසර
හායනය, අධි පරිභෝජනය, දේශගුණ විපර්යාස හා පරිසර දූෂණය
වැනි අහිතකර තත්ත්ව වලට මුහුණ දීම නිසා අනතුරේ වැටී ඇති අතර දේශගුණ විපර්යාසය සෙසු
බලපෑම්ද සමග එම අවධානම තව දුරටත් ඉහළ දමා ඇත.
මේ
පීඩනය වැඩි වශයෙන්ම දැනෙමින් ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය (Small
Island Developing States - SIDS) වලටයි.
එනම්
අවම ලෙස සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික
අවධානමක් ඇති,
ලෝක
වෙළඳාම සඳහා අවම මට්ටමෙන් (0.02.%) දායකත්වය ලබාදෙන, මිලියන 1.5කට
අඩු ජනගහනයක් ජීවත්වෙන දූපත් රාජ්‍යයි
(මාලදිවයින, බහමාස්, බාබඩෝස්, අන්දමන් දුපත් හා සීෂේල්ස් වැනි).
කාලයත්
සමඟ හුදකලාව පරිණාමය වීම නිසා මෙම දූපත්වල ජීවත්වන ජීවී විශේෂ සුවිශේෂී වූ ජාන
සංචිතයකට හිමිකම් කියනවා. එමගින් අතීතයේ සිටි ජීවී විශේෂ
දුපත් තුල පරම්පරා ගණනාවක් පරිණාම වෙමින් නව ජීවී විශේෂ නිර්මාණය කරනවා. ඔවුන්
පසුව නව විශේෂිත ලක්ෂණ දරන ආවේණික ජීවින් බවට පත් වෙනවා. මහද්වීප
වලට වඩා දුපත්වල හමුවන ජීවීන් විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා
අතර දූපත් වල පවතින අධික හුදකලා ස්වභාවය, දූපතේ ප්‍රමාණය හා භූ විශමතා මත
සතුන්ගේ ආවේණිකතාවය ඉහළ යනවා. උදාහරණයක් වශයෙන් හවායි දූපත් වල
හමුවන ජීවින්ගෙන් 90%කට වඩා එම දූපතට ආවේණිකයි. මොරිෂස්
දූපතේ සියලුම සපුෂ්ක ශාක,
ක්ෂීරපායි, පක්ෂීන්, උරඟයන් හා උභය ජීවීන් ගෙන් 50% පමණ
එම දූපතට ආවේණිකයි. ලොව වැඩිම උභයජීවීන්ගේ
ආවේණිකතාවයට හිමිකම් කියන සීෂෙල්ස් රාජ්‍යයද කුඩා දූපත් රාජ්‍යක්.
මේ
සා විශාල ජෛවවිවිධත්වයකට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය මත
දේශගුණ විපර්යාසය මගින් ඇතිකර ඇති බලපෑම් නිසා එම ජීවී විශේෂ වඳවී යාම ඉතා
කණගාටුදායක තත්ත්වයක්. එය ආකාර කිහිපයකින් සිදුවෙනවා. දේශගුණ
විපර්යාසයේ බලපෑම් අතරින් දූපත් ජෛවවිවිධත්වයට වැඩිම තර්ජනයක් එල්ල වන්නේ මුහුදු
මට්ටම ඉහළ යාම හා මුහුදු මතුපිට පෘෂ්ඨයේ
උෂ්ණත්වය ඉහළ යාම මගින්. මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ලවණතාව අධික වී, මිරිදිය ජලය අඩුවීම හා
කෘෂිකාර්මික බිම් ප්‍රමාණය අඩුවීම සිදුවෙනවා. මුහුද
මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් කොරල් පර මිය යනවා. මෙය
මේ පරිසර මත යැපෙන ජීවීන් හට ඍණාත්මකව බලපානවා. එබැවින්
දූපත්වල ජෛව සුරක්ෂිතතාව හා ආර්ථික සුරක්ෂිතතාව බිඳ වැටෙනවා. එසේම
දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන අහිතකර පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙමින්
වර්ධනය වන ආක්‍රමණශීලී ජීවී විශේෂ මගින්ද දූපත් ජෛවවිවිධත්වයට එල්ල වන්නේ මරු පහරක්. දූපත්
ජීවීන් කුඩා ගහන ලෙස ජීවත්වීම, විශේෂිත
අවශ්‍යතා සහිතවීම හා විලෝපීයයන් කෙරෙහි අවම ආරක්ෂණයක් සහිතවීම හේතුවෙන් ඔවුන් ඉතා
ඉක්මනින් ආක්‍රමණ ජීවීන් හමුවේ පරාජයට පත්වෙනවා. දේශගුණ
විපර්යාසය සමග ඉහළ යන ස්වභාවික ආපදාවන්
මගින්ද ජෛවවිවිධත්වයට තීරණාත්මක බලපෑමක් එල්ලවෙනවා. කුණාටු, සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ස්වභාවික ආපදාවන්
මඟින් දුපත් වලට විශාල බලපෑමක් සිදුවෙනවා. මෙමගින්
ජීවීන් විශාල වශයෙන් මියයනවා. එසේම දේශගුණ විපර්යාසයේ
සැහැසිකම් නිසා ආර්ථික දුෂ්කරතාවලට ලක්වන දූපත් ජනයා ජෛව සම්පත් අධික ලෙස පරිභෝජනය
කිරීමට පටන් ගැනීම නිසාත් දූපත් ජෛවවිවිධත්වය තර්ජනය ලක්වෙනවා.
දුපතක්
ලෙස පැවතීම නිසා ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයටත් දේශගුණ විපර්යාසයෙන් ඇතිවන ඉහත
බලපෑම් පොදුයි. මයොසීන අවධියේ ශ්‍රී ලංකාව
ඉන්දියානු මහද්වීපයෙන් වෙන් වූ නමුත් මුහුදු මට්ටම පහළ යාම හේතුවෙන් විවිධ අවස්ථා
වලදී සත්ත්ව විශේෂ ගොඩබිම හරහා දෙපසට සංක්‍රමණයවී ඇතිබවට
සාක්ෂි පවතිනවා. මේ කාලයේ දී හිමාලය කඳු වැටිය
ඉස්මතු වීම,
ආසියාතික
මහද්වීපයෙන් ශ්‍රී ලංකාව,
සුමාත්‍රා
හා බෝනියෝ වැනි විශාල දූපත් වෙන් වීම සිදුවී තිබෙනවා. නමුත්
මීට අවුරුදු දසදහසකට පමණ පෙර ශ්‍රී ලංකාව
ඉන්දියානු මහද්වීපයෙන් සම්පුර්ණයෙන්ම වෙන්වීම සිදුවූ අතර එතැන් සිට අපේ රටේ ගහකොළ
හා සතා සිව්පාවා දූපත් පරිසරයක් තුල පරිණාමය වීම සිදුවී තිබෙනවා. එකී
පරිණාමික ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වය අතින් ඉතාම පොහොසත් රටක් බවට පත්කර
තිබෙනවා. ඊට අමතරව දිවයිනේ උතුරු වයඹ දිග
ප්‍රදේශ වල කුඩා දූපත් ද පිහිටා ඇති අතර ඒවායේත් සුවිශේෂී සත්ත්ව හා ශාක විශේෂ හමුවෙනවා.
මිනිසුන්
වන අපට දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් ජයගෙන ආර්ථික වශයෙන් ස්ථාවර වීමට පවා
මහෝපකාරී වන මෙම ජෛවවිවිධත්වය දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අප
ඉතා උනන්දුවෙන් කටයුතු කල යුතුමයි.
Comments
Post a Comment