බල්ලන්
නොමරන රටක්
(2019 12 09 දින)
නව ජනාධිපති
පදවිප්‍රාප්තියත් සමග අගනුවර සහ දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල කැළිකසල ඉවත් කිරීම සහ
නගරාලංකරණ කටයුතු දැඩි උනන්දුවකින් යුතුව සිදුකරණු දකන්ට ලැබෙනවා. ඒ අතර බිත්ති තාප්ප වසාගත් පෝස්ටර් දැන්වීම් ඉවත්කර ඒ මත වෛවර්ණ සිතුවම් නිර්මාණය කිරීමට
තරුණ පරපුර නායකත්වය ගෙන කටයුතු කරමින් සිටිනවා. නිකසළ අලංකාරවත් රටක් නිර්මාණය කිරීමේ සිහිනය
සැබෑ කරගැනීමේ අවංක අරමුණින් තරුණ ප්‍රජාව මෙසේ ඉදිරියට පැමිණීම සතුටට කරුණක්. නමුත් ඒ අතරතුර අගනුවර විවිධ ප්‍රදේශවල ජීවත්වූ බල්ලන්
අතුරුදහන්වී ඇති බවට ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සත්ව අවිහිංසා සහ ශුභසාධන ක්‍රියාකාරීන්
නගන චෝදනා කිරි කලයට වැටුණු ගොම බිංදුවක් බවයි ලියුම්කරුගේ අදහස. ඉහතකී නගර අලංකරණ ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස
කොළඹ මහ නගරසභා සීමාව තුල ජීවත්වූ ප්‍රජා සුනඛයින් මේ ආකාරයෙන් අතුරුදහන්ව ඇති
බවටයි චෝදනා නැගෙන්නේ. එබැවින්
මේ පිළිබඳව කඩිනම්
අවධානය යොමුකර එම සතුන්ට සිදුවූයේ කුමක්ද යන්න විමසා බැලීම බලධාරීන්ගේ යුතුකමක්.
මිනිස්
පරිණාමයේ ඉතා දුර අතීතයේ සිටම බල්ලා
මිනිසාගේ සමීපතමයෙකු ලෙස කටයුතුකර ඇතිබව යළි යළිත් කිවයුතු නැහැ. මීට
අවුරුදු 15,000කට පමණ පෙර ආදී මානවයාගේ දඩමං ඔස්සේ පැමිණි මිත්‍රශීලී
වෘකයන්ගෙන් පරිණාමය වූ බවට සැලකෙන ඔවුන් එතැන් සිට ඉතිහාසයේ යුග ගණනක් ඔස්සේ
විශ්වාසනීය සගයන් ලෙස මිනිසාට සිදුකර ඇති මෙහෙය අපමණයි. නමුත්
පසු
කාලීනව ජලභීතිකා
රෝගය ව්‍යාප්තවීමට බල්ලාගේ
ඇති සම්බන්ධය හේතුවෙන් මිනිස් - සුනඛ
මිතුදම තරමක් දුරට විරසකවූ බව රහසක් නොවෙයි. එහි ප්‍රතිපලයක් වශයෙන් තමන්ගේ විශ්වාසවන්ත සගයා
දඩාවතේ යන බල්ලා, වල් බල්ලා
වැනි අපහාසාත්මක නම් වලින් හැඳින්වීමටත් ඉතා කෘර සහ අමානුෂික ආකාරයෙන් මරා
දැමීමටත් මිනිසුන් කටයුතු කළා.
2006 අවුරුද්ද දක්වාම ජලභීතිකා ආඥා පනතේ ප්‍රතිපාදන
යොදා ගනිමින් මේ
ආකාරයෙන් මහමග නිදැල්ලේ ගැවසුනු බල්ලන් අල්ලා
විනාශ කිරීමට පළාත්
පාලන ආයතන කටයුතු කලත් එමගින් ජලභීතිකා රෝග ව්‍යාප්තියේ සැළකියයුතු අඩුවක් සිදුවී නොමැති බව වසංගතවේදී විශ්ලේෂණ
සාක්ෂි සපයනවා. ඒ වගේම වාර්ෂිකව
දිවයිනෙන් වාර්තාවන සපාකෑම් 300,000ක පමණ
සංඛ්‍යාව අතරින් සියයට අසූවකට පමණම වගකිව යුත්තේ ගෘහාශ්‍රිත සුනඛයන් මිස ප්‍රජා
සුනඛයන් නොවන බවත් කිවයුතුයි. තවද සපාකෑමකින් පසුවත් නියමිත එන්නත් ලබාගැනීමෙන් ජලභීතිකා රෝගය වැළඳීම වළක්වා ගැනීමට හැකියාව තිබියදී අවාසනාවන්ත ලෙස මිනිස් මරණ වාර්තා වෙන්නේ තමන්ගේම
නොසැලකිලිමත් බව හේතුවෙන් නිසා ඊට අසරණ සුනඛයන් වැරදිකරුවන් කිරීමට මනසින් උසස් යැයි
කියා ගන්නා මිනිසුන්ට කිසිම අයිතියක්
නැහැ. ඒ වගේම තම
සුරතල් සතුන් වාර්ෂිකව එන්නත් කිරීමට හිමිකරුවන් උනන්දු වීමත් සුනඛයන් පිළිබඳව
නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීමත් මගින් ජලභීතිකා රෝග ව්‍යාප්තිය තවදුරටත් පාලනය කරගන්න පුළුවන්. සුනඛයන් ඝාතනය නොකර ඔවුන් නිසි කලට එන්නත් කිරීම හා වන්ද්‍යාකරණය මගින් ජලභීතිකාව සාර්ථකව පාලනය කළහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබෙනවා.
ඒ වගේම ප්‍රජා
සුනඛයන් ගහනය විශාල වශයෙන් ඉහළ යාමෙන් අපගේ කැළිකසල කළමනාකරණයේ නිරුවත හෙළිදරව්වන
බවත් කිවයුතුයි. එබැවින් අපගේ ගමේ නගරයේ ජනනය වන කැළිකසල නිසිපරිදි
කළමනාකරණය කර නොගෙන ඒ වෙනුවට එහි දර්ශකයක් බඳු ප්‍රජා සුනඛයන් මරා දැමීම අතීසාරයට
අමුඩය ගසන්නාක් බඳු ක්‍රියාවක් බවත් අවධාරණය කලයුතුයි.
තවද
එළිපිට ප්‍රජා සුනඛයින්ට ගරහන ඇතැමුන් එම සතුන් මගින් තම ආරක්ෂාව, මානසික සහනය, කසළ ශෝධනය වැනි සේවා අඛණ්ඩව ලබාගැනීමත් ජුගුප්සාජනකයි. තමන්ගේ නිවසේ ඉතිරිවන ඉඳුල් ස්වල්පයක් කෑමට දී
මෙම සතුන් තම වට පිටාවේ රඳවාගෙන ගේ-දොර, සොර සතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීමට අප කටයුතු කර
නැද්ද, ඔවුන්ගේ
හැසිරීම් නරඹා ඔවුන් අතපත ගා අප මානසික සැනසීමක් ලබා නැද්ද, නිවසේ ඉතිරිවන අපද්‍රවය ඔවුන්ට කෑමට දී අප නිවසේ
කසළ ප්‍රශ්නයෙන් අතමිදීමට අප කටයුතුකර නැද්ද ? එබැවින් හෘදසාක්ෂියක් සහිත කිසිවෙකුටත් ප්‍රජා
සුනඛයින් ඝාතනය වෙනුවෙන් අත උස්සන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ වගේම ලක්ෂ කෝටි ගණන් වලට දෙස් විදෙස් බල්ලන්
මිලදීගෙන මහා මන්දිර වල සුරතලයට ඇතිකරන නෝනාවරු මහත්වරුන්ටත් මේ අසරණ සතුන්ගේ
ජීවිත සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමත් යුක්ති යුක්ත නැහැ.
මිනිසුන්
සතුන් කෙරෙහි දක්වන ආකල්පය ශිෂ්ටාචාරයක දියුණුව පිළිබිඹු කරන ප්‍රබල සංකේතයක් ලෙසත්
හඳුන්වන්න පුළුවන්. එවැනි
පසුබිමක අප අපගේ ප්‍රජා සුනඛයන් ඝාතනය කරයිනම් හෝ අතුරුදහන් කරයිනම් එමගින් අප
ලොවට හඬගා කියන්නේ අපගේ ශිෂ්ඨාචාරයේ මිලේච්ඡත්වය බවත් අප සියළුදෙනා සිහිතබාගත
යුතුයි. තවද වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත
ප්‍රහාරයෙන් අසරණ මිනිසුන් විශාල සංඛ්‍යාවක් බල්ලන් බළලුන් මෙන් මරණයට පත්වීමෙන්
අනාරක්ෂිතවූ මේ රට තුල නැවත ආරක්ෂාව තහවුරු කරන බවට ප්‍රතිඥා ලබාදෙමින්. එවැනි සුරක්ෂිත රටක් තුල මිනිසුන්ට පමණක් නොව සියළු
ජීවීන්ට බියකින් සහ සැකයකින් තොරව ජීවත්වීමට අයිතියක් තිබියයුතු නැද්ද? අභිනව ජනාධිපතිවරයාගේත් වගකීම විය යුත්තේ එවැනි
සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම නේද?
බල්ලා ‘ගොදුර’ වන විට ඔබ
ඊට එරෙහි නොවනවා නම් ඔබ ‘ගොදුර’ වන දවසට ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නටත් බල්ලෙක්වත් ඉතිරි නොවන බවත් තරයේ සිහි තබාගනු
මැනවි.
Comments
Post a Comment