චුන්නාකම් සතුටු කඳුළු

© පියාඹන්නෝ (
flyers)

(2019 04 08 දින) 

අපේ රටේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් අවංකවම කැපවී කටයුතු කරන අයට සතුටට හේතු වන අවස්ථා උදා වෙන්නේ කලාතුරකින්. නමුත් එදා මෙදාතුර පරිසර සංරක්ෂණය සඳහා ගෙනගිය අරගල අතරින් දෙනෙතට සතුටු කඳුළු කැඳවමින්, ඓතිහාසික ජයග්‍රහණයකින් අවසන්වූ අරගලයක් පිළිබඳව අපට පසුගිය අප්‍රේල්  හතර වැනිදා අහන්න ලැබුණා. ඒ යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි උතුරු ජනනීතාප විදුලි බලාගාරය හේතුවෙන් සිදුවූ පරිසර හානිය වළක්වාගැනීම සඳහා සිදුකෙරුණු අරගලය. මෙම විදුලි බලාගාරය නිසා සිදුවූ පාරිසරික හානිය තුළින් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බව පවසමින් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් නඩු තීන්දුව එම ඓතිහාසික ජයග්‍රහණයේ ජය සංඛේතය වශයෙන් හඳුන්වන්න පුළුවන්.

යාපනය නගරයට කිලෝමීටර් දහයක් පමණ උතුරු දෙසින් පිහිටි චුන්නාකම් ප්‍රදේශයේ 2010 අවුරුද්දේදී ආරම්භ කෙරුණු උතුරු ජනනීතාප විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු හේතුවෙන් 2012 අවුරුද්ද වන විට එම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර තෙල් සහ ග්‍රීස් වලින් දුෂණය වීමෙන් ජනතාව බලවත් අසීරුතාවයකට පත්වුණා. පරිසරය දූෂණය වීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හා කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතුවලට බලපෑම එල්ලවීම නිසා ජන ජීවිත අඩාල වුණා. දුෂිත ජලය බෙදාහැරීමට නොහැකි නිසා ජල සම්පාදන මණ්ඩලය මගින් එම ප්‍රදේශයට ලබාදී තිබූ ජල සැපයුමත් සම්පූර්ණයෙන්ම අත්හිටවූ අතර ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ ජල සම්පාදන මණ්ඩලය අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව වගඋත්තරකරුවන් ලිඛිතව දැනුම්වත් කලත් ඔවුන් ඊට කන් දීමට උනන්දු වුණේ නැහැ. එසේම ඒ හේතුවෙන් සමස්ථ යාපනය අර්ධද්වීපයේම භූගත ජල සම්පත අවධානමකට ලක්වුනා.

ඒ නිසා මෙම විදුලි බලාගාරයට එරෙහිව ජනතාවට වීථි බැස අරගල කිරීමට සිදුවුණා. ඒ අතර අදාළ බලාගාරය මඟින් බැහැර කරන අපද්‍රව්‍ය සහ තෙල් හා ග්‍රීස් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ළිං ජලය අපවිත්‍ර වී ඇති බැවින් මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු වහාම අත්හිටුවන ලෙසත්, එසේම මෙම භූගත ජල දූෂණය නිසා පීඩාවට පත්වූවන්ට වගඋත්තරකාර පාර්ශවයන් ගෙන්  වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා 2016 අවුරුද්දේ නොවැම්බර් විසිතුන් වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කලා. නොවැම්බර් තිස් වැනිදා පෙත්සම විභාගකිරීමට තීරණයකල ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තුරු විදුලි බලාගාරයේ වැඩ කටයුතු අත්හිටුවමින් තාවකාලික අතුරු තහනම් නියෝගයකුත් නිකුත් කළා.

මහජන අර්ථසාධක නඩුකරයක් විදිහට විභාගවූ මෙම නඩුවේ අවසන් තීන්දුව ලබාදෙමින් චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරය හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය තුළින් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය හතරවැනිදා ප්‍රකාශ කළා. ඒ වගේම මෙම බලාගාරය හේතුවෙන් පීඩාවට පත්වූ, බලාගාරයේ සිට කිලෝමීටර් 1.5 ක් දක්වා දුර සීමාව තුල ජීවත්වූ පවුලකට රුපියල් 40,000 ක උපරිමයකට යටත්ව පවුල් පන්සියයකට රුපියල් මිලියන 20ක වන්දියක් ගෙවන ලෙස අදාළ බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් නමැති පුද්ගලික සමාගමට නියෝග කල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම වන්දි ගෙවීමේ කටයුතු ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදුවිය යුතු බවටත් නියෝග කළා. යළිත් මෙම බලාගාරය ක්‍රියාත්මක තත්වයට පත් කරන්නේ නම් පිළිගත් පාරිසරික කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පමණක් එය කළයුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්.

මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් විනිසුරුවරුන් ප්‍රකාශ කර සිටියේ මෙය ඓතිහාසික නඩු තීන්දුවක් බවයි. එයට හේතුව 1987 අවුරුද්දේ ඉන්දියාවේ නීති පද්ධතියට එක් කල, පරිසරය සම්බන්ධ කාරණය දී පැමිණිල්ල ගොනු කරන්නා විසින් පරිසර දූෂණයක් සිදුවන බව ඔප්පු කල යුතු නොවන අතර චෝදනාවට ලක්වන පුද්ගලයා හෝ ආයතනය විසින් පරිසර දූෂණයක් සිදු නොවන බව ඔප්පු කල යුතුය යන සංකල්පය පළමු වතාවට ලංකාවේ නඩු තීන්දුවක් ලබාදීම සඳහා සැළකිල්ලට ගනු ලැබුවේ චුන්නාකම් නඩු තීන්දුවේදී වීමයි. ඒ නිසා මෙම තීන්දුව 2000 අවුරුද්දේ එප්පාවල පොස්පේට් නිධිය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව දුන්නු නඩු තීන්දුව වගේම අපේ රටේ පරිසර සංරක්ෂණ සටනේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක්.  

මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු මේ රටේ පරිසරය වෙනුවෙන් වගකිවයුතු ආයතන ගණනාවක් තම වගකීම් පැහැර හරිමින් සිටියදී සහ දමිළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හලන උතුරේ දේශපාලකයින් පවා කොම්පැණිකරුගේ සාක්කුවට වැටෙද්දී, විවිධ බාධක සහ කම්කටොලු මධ්‍යයයේ වුවත් මේ සටන අත්නොහැර අපේ රටේ පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයට ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකරදුන් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සොහොයුරාටත්, නඩුව වෙනුවෙන් නොමිලේ පෙනී සිටිමින් ජයග්‍රහණය කරා මෙහයැවූ නීතීඥ නුවන් බෝපගේ හා නීතීඥ චතුර වෙත්තසිංහ යන සොහොයුරන්ටත් පරිසරයට ආදරය කරන සැමගේ උත්තමාචාරය හිමිවිය යුතුයි.

Comments

Popular posts from this blog