කටු (ඔටුනු) පොල්


(2019 09 09 දින)

ලොවපුරා විවිධ රටවල වගේම ශ්‍රී ලංකාවෙත් සමාජාර්ථික සහ පාරිසරික ව්‍යසනයන් රැසකට හේතුවී ඇති කටුපොල් වගාව ජනාධිපතිවරයා විසින් පවා තහනම්කර ඇති පසුබිමක නීති විරෝධී ආකාරයෙන් රහසේ කටුපොල් වගාවන් ව්‍යාප්ත කිරීමට ඇතැම් පෞද්ගලික සමාගම් මේ මොහොතේත් ඉතා නින්දිත උත්සාහයක් දරණ බව නොරහසක්. ඒ වගේම එම සමාගම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන මේ රටේ නීතිය, මෙම විනාශයන් පිටුදැකීමට අරගල කරන යතිවරුන් සහ ප්‍රජා නායකයින් මර්ධනය කිරීමට කිසිඳු විළි බියකින් තොරව ඉදිරිපත්වන බවත් අමුතුවෙන් කිවයුතු නැහැ. ඊට ආසන්නතම උදාහරණය තමයි නමුනුකුල වතු සමාගමේ බද්දේගම, ඉදිගස්කැටිය වල්පිට වත්තේ කටුපොල් වැවීමට එරෙහිව නැගී සිටි ගාල්ල දිස්ත්‍රික් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන්, නිශාන්ත අල්විස් සහ පී. කේ. සමන් කුමාර යන පරිසර ක්‍රියාකාරීන් ඉකුත් මස අගදී පොලිස් අත්අඩංගුවට පත්වීම.  

කටුපොල් අලුතින් වගාකිරීමට අවසර ලබා නොදීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ලබාදුන් උපදෙස් අනුව ගත් ඇමති මණ්ඩල තීරණයක් තිබියදී, මෙම වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම ජාතික ආර්ථික සභාව මගින්ද ප්‍රතික්ෂේපකර තිබියදී, ඒ වාගේම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන හතක් කටුපොල් වගාවේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වාර්තාකර තිබියදී පවා මෙරට වතු සමාගම් හොර රහසේ කටුපොල් වගාව සිදුකරගෙන යෑමත් බලධාරින් ඒ සම්බන්ධව කිසිඳු පියවරක් නොගැනීමත් හේතුවෙන් ජනතාව විසින් බද්දේගම, ඉදිගස්කැටිය වල්පිට වත්තේ කටුපොල් පැල ගලවා ඉවත් කිරීමට පසුගියදා කටයුතු කළා. උක්ත සමාගම විසින් හොර රහසේ සිදුකළ මෙම කටුපොල් සිටුවීම ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් පරාජයට පත්කිරීමට හැකියාව ලැබුණත් එම ප්‍රදේශයේ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල රාත්‍රී කාලයේ සිදුකරන මෙවැනි කුප්‍රකට කටු පොල් ආක්‍රමණයන්ට තිත තැබීමට කිසිඳු බලධාරියෙකුට මෙතෙක් හැකියාව ලැබිලා නැහැ. ඒ වෙනුවට සිදුවුණේ චන්ද්‍රජෝති හිමියන් වැනි පරිසර ක්‍රියාකාරීන්ට සිරබත් කෑමට සිදුවීම පමණයි.

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමෙන් නොනැවතී ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන්ද අහිමිකළ කටුපොල් වගාව අද වනවිට අපේ රටෙත් තෙත් කලාපයේ  රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන් ආක්‍රමණය කරමින් සිටින්නේ එම සමාජාර්ථික සහ පාරිසරික බලපෑම අපේ රටටත් නොඅඩුව එල්ල කරමින්. ජාත්‍යන්තර ග‍්‍රීන් පීස් සංවිධානය කුරිරු බවේ සංකේතය නමින් හඳුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක් බව හඳුනාගෙන තිබුණත් ඒ ගැන කිසිඳු තැකීමක් නොකර මෙරට තෙත් කලාපයේ සරුසාර වගාබිම් දංගෙඩියට යවමින් කටුපොල් වගා කිරීමට පසුගිය කාලයේ රාජ්‍ය අනුග‍්‍රහය ලැබීම බරපතල තත්ත්වයක්. වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් හා ජෛව ප‍්‍රජාව කටුපොල් වගාවෙන් සහමුලින්ම වනසා දමන බවට ලොව පුරා ඕනෑ තරම් සාක්ෂි තිබිය දී අප රටේ තෙත් කලාපයත් එහි ගොදුරක් බවට පත් කරමින් මෙරට පාලකයින් කුරිරුබවේ සංකේතය අපගේ මාතෘ භූමියේ ස්ථාපනය කිරීමට කටයුතු කලේ කිසිඳු පැකිලීමකින් තොරවයි.

අද වනවිට තෙත් කලාපයේ රබර් වතු හා අත්හැර දැමුණු තේ වතු එළිපෙහෙළි කරමින් කටුපොල් වගාව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් ගණනාවක් කටුපොල් වගාවට අතගසා ඇති අතර හෙක්ටයාර 10,000 ක පමණ ප්‍රදේශයක් දැනට මෙම විනාශකාරී වගාවට නතුවී හමාරයි. මාතර, ගාල්ල, කළුතර, කොළඹ, රත්නපුර, සහ කෑගල්ල දිස්ත‍්‍රික්කවල මේ වනවිට සීග්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් පවතින මෙම වගාවට එරෙහිව දැනටමත් ප්‍රාදේශීය වශයෙන් ජනතාව ඒකරාශීව තිබුණත් තවමත් බලධාරීන් මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම නිසා තම ලාභය ගැන පමණක් සිතන පුද්ගලික සමාගම් තමන්ට රිසිසේ අපගේ මව්බිම කෙළෙසමින් තම මඩිය තරකර ගැනීම දිගින් දිගටම සිදුකිරීම කණගාටුවට කරුණක්.

කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක් වුවත් එම ශාකය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීමේ දී ගැටලූ බොහෝමයක් ඇතිවන බවට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. ප‍්‍රධාන වශයෙන්ම භූගත ජලය අහිමි කිරීම, ජල උල්පත් සිඳීයාම හා පාංශු ඛාදනය උග‍්‍ර කිරීම වැනි තත්වයන් ඇති කිරීමට කටුපොල් වගාව හේතුවී තිබෙනවා. බොහෝ කටුපොල් වගා බිම්වල පස යටි වගාවකින් තොර ව නිරාවරණය කර තිබීම හා ශාක අතර පරතරය වැඩිවීම හේතුවෙන් වර්ශා සමයේදී ජලය පසට උරා නොගෙන මතුපිටින් ගලා යාම නිසා භූගත ජල සංචිත පෝෂණය නොවීමෙන් භූගත ජලය අහිමිවීමට සහ ජල උල්පත් සිඳීයාමට කටුපොල් වගාව හේතු වෙනවා. ඒ වගේම මතුපිටින් ගලායන ජලය මගින් පාංශු ඛාදන උග්‍ර වෙනවා. එමගින් පරිසරයට සහ ජන ජීවිතයට බරපතල බලපෑම් එල්ලවෙනවා. එසේම කටුපොල් මගින් ලබාගන්නා තෙල් වලට ලැබෙන ඉහළ මිල නිසා මෙම වගාවන් සඳහා මහා පරිමාණයෙන් වනාන්තර විනාශකිරීම ලොව පුරා විවිධ රටවල ජෛවවිවිධත්වයට මරු පහරක් එල්ලකර තිබෙනවා. උදාහරණයක් වශයෙන් සුමාත‍්‍රා දූපත්වල වනාන්තර මහා පරිමාණයෙන් කටුපොල් වගාව සඳහා එළිපෙහෙළි කිරීම නිසා එහි ජීවත්වූ සුමාත‍්‍රා ව්‍යාඝ‍්‍රයින්, සුමාත‍්‍රා රයිනෝ, ආසියානු අලින් මෙන්ම ඔරන් ඔටන් ඇතුළු විශාල ක්ෂීරපායී විශේෂ රැසක් මිහිතලයෙන් වඳවීයමින් සිටිනවා. පැපුවා නිව්ගිනියාව, කොලොම්බියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ආදීවාසී ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වන්දි ලබා දීමකින් පවා තොරව කටුපොල් වගා කිරීමට සමාගම් විසින් කටයුතුකර තිබෙනවා. බොහෝ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම වගාබිම් ස්ථාපිත කිරීම සිදුකර තිබෙනවා. බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනිතබා විනාශ කර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට බෝර්නියෝව ගංවතුරින් නිරන්තර පීඩාවට පත්වන රටක් බවට පරිවර්තනය වී තිබෙනවා.

එබැවින් ආගමික නායකයින්, වියතුන් සහ පොදු ජනතාව අපගේ මාතෘභූමියේ සිරස මතද කටු ඔටුණු පළඳවන කටුපොල් ආක්‍රමණයට එරෙහි අරගලය ජයගැනීමට සක්‍රීයව මැදිහත්වීම යුගයේ අවශ්‍යතාවක් බව අවසන් වශයෙන් ලියාතැබිය යුතුයි.

Comments

Popular posts from this blog