ඉන්ද්‍රජිත්

 


(2019 07 01 දින)

කිසිවකුට චරිත සහතික ලිවීම ලියුම්කරුගේ රාජකාරියක් නොවුනත් බස්නාහිර වනජීවී කලාපය භාර රාජකාරි ඉටුකරන වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහත්තයා ගැන මෙවර අභයභූමියේ සිට ලියන්න හිතුවේ හේතු කිහිපයක් නිසා. එයින් පළමුවැන්න තමයි අපේ රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් දිවි පරදුවට තබා කැපවෙන නිලධාරීන්ගෙන් වනජීවී ලොක්කන් දේවේශ සහගත විදිහට පලි ගන්නා ආකාරය ගැන එමගින් යම්කිසි අවබෝධයක් ලබාදීමට හැකිවීම. දෙවැන්න, රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මේ මොහොතේ අවශ්‍යමවී ඇති මෙවැනි නිලධාරීන්ගේ සේවය ඉදිරියටත් ලබාගැනීම සඳහා ඔවුන් වෙත (දෙපාර්තමේන්තුව මගින් ලැබියයුතු නමුත් නොලැබෙන) දිරි ගැන්වීමක් ලබාදීමට උත්සාහ කිරීම. ඒ වගේම හෙට දවසේදීවත් අපේ රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් අවංකවම කැපවෙන වනජීවී නිලධාරීන්ට දෙපාර්තමේන්තුව වහ කදුරු නොවීම සඳහා සුළු හෝ දායකත්වයක් ලබාදීම.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිදරයෙකු වන ඩබ්ලිව්... ඩී. උපුල් ඉන්ද්‍රජිත් වනජීවී සංරක්ෂණයට අත්පොත් තබන්නේ 1998 අවුරුද්දේ නොවැම්බර් නමවැනිදා ඇලහැර අඩවිය භාර පළමුවැනි ශ්‍රේණියේ වන සත්ව අඩවි ආරක්ෂකවරයෙකු වශයෙන්. ඉන්පසු හික්කඩුව, බෙල්ලන්විල, බූන්දල සහ යාල යන වනජීවී රක්ෂිතවල වගේම වනජීවී හදිසි වැටලීම් ඒකකයේ ප්‍රධානියා වශයෙනුත් ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණයට අමිල සේවයක් ඉටුකර ඇති ඔහු මේ වනවිට සේවය කරන්නේ බස්නාහිර වනජීවී කලාපය භාර රාජකාරි ඉටුකරන වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා වශයෙන්.

අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙරට වනජීවී සංරක්ෂණය හා ආරක්ෂණය වෙනුවෙන් දිවි පරදුවට තබා කැපවෙමින් තම රාජකාරි ඉටුකළත් ඉන්ද්‍රජිත්ට ඒ වෙනුවෙන් ලැබුණේ තර්ජන - ගර්ජන, අසාධාරණ ස්ථාන මාරු, වැටුප් කප්පාදු හා වැඩ තහනම් කිරීම් පමණයි. ඔහු සිදුකළ සේවය වෙනුවෙන් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පළමු සම්මානය අවුරුදු හතරකට ආසන්න කාලයක් බොරු චෝදනා නගමින් වැඩ තහනම් කිරීම. ඊට හේතුව ඔහු ඒ කාලයේ වනජීවී හදිසි වැටලීම් ඒකකයේ ප්‍රධානියා වශයෙන් වනජීවී අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව වනජීවී සංරක්ෂණ වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් අගනුවර ශීතකාමරවල සැප විඳිමින් තක්කඩි වනජීවී ලොක්කන් විසින් සිදුකළ වංචා දුෂණ නිර්ධය ලෙස විවේචනය කිරීම බව දන්නෝ දන්නවා. ඒ වගේම ඉන්ද්‍රජිත් ගෙදර යවන කෙනෙකුට රට සවාරියක් ලබාදෙන බව ඒ කාලේ දෙපාර්තමේන්තු ප්‍රධානියා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශකළ බවත්, ඉන්ද්‍රජිත් ගෙදර යැවූ ඔහුගේ උසස් නිලධාරියාට තායිලන්ත සවාරියක් ලැබුණු බවත් වනජීවීය අභ්‍යන්තරයේ රහසක් නොවෙයි. පසුව ඔහුව නැවත සේවයේ පිහිටෙව්වත් අදටත් ඔහුට ලැබෙන්නේ අසාධාරණ ලෙස කප්පාදු කරපු වැටුපක්.

2004 අවුරුද්දේ, තම රාජකාරි අකුරටම ඉටුකිරීමේ වරදට අවුරුදු හතරකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක්වීමට සිදුවූ වනජීවී හදිසි වැටලීම් අංශ ප්‍රධානියා වශයෙන් 2012 අවුරුද්දේ නැවතත් ඉන්ද්‍රජිතට පත්වීමක් ලැබෙනවා. නමුත් ලැබූ පසුගිය අමිහිරි අත්දැකීම් හේතුවෙන් ඉන්ද්‍රජිත් අළුත් තනතුරේ රාජකාරි කිරීමට කිසිම විදිහකට පැකිලුනේ නැහැ. රේඛීය විෂයභාර අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවකුත් වනජීවී අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගෙනයාමට ඉන්ද්‍රජිත් කටයුතු කිරීම ඊට කදිම නිදසුනක්. නමුත් ඒ හා බැඳුනු අවාසනාව නොපමාව ඔහුව වෙලාගත්තේ ඔහුට නැවතත් අසාධාරණ ස්ථාන මාරුවක් ලබාදෙමින්. ඒ බස්නාහිර වනජීවී කලාපය භාර රාජකාරි ඉටුකරන වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා වශයෙන්.

ලංකාවේ එතෙක් මෙතක් සිදුවූ අහස පොළොව නුහුලන මහා පරිමාණම සංවිධානාත්මක වනජීවී අපරාධයවූ අලි පැටවුන් ජාවාරම මැඩලීමට ඉන්ද්‍රජිත් විසින් අතගැසීම එහි ප්‍රතිපලයක්. අම්මාවරුන් මරා හෝ එවැනි අති කෲර හා අමානුෂික ආකාරයෙන් වනාන්තර වලින් පැහැර ගන්නා අලි පැටවුන් රුපියල් කෝටි ගණනට විකිණීමේ ජාවාරම මෙරට තුල ක්‍රියාත්මකවුනේ දේශපාලකයින්, චීවරධාරීන්, ව්‍යාපාරිකයින් ගේ වගේම වනජීවී මුල් පුටුවෙත් ආශිර්වාදයෙන් බව කාටත් නොරහසක්. එවැනි පසුබිමක ඉන්ද්‍රජිත් දිවි පරදුවට තබා අලි පැටවුන් රැකීමට උර දුන්නේ තම දරු පැටවුන්ට ආදරණීය පියෙකු අහිමිවීමේ අවධානම පවා නොතකමින්. ඔහුගේ එම අප්‍රමාණ කැපවීම නොවන්නට තවමත් ඒ මහා අපරාධය මේ පොළොව මත එළිපිටම සිදුවෙනවා.        

මෙම සියළු කරුණු සලකා බැලීමේදී ඉන්ද්‍රජිත් වැනි රාජ්‍ය නිලධාරීන් සැබැවින්ම තවමත් මෙරට රාජ්‍ය සේවයේ සිටිනවාදැයි කෙනෙකු විමතියට පත්වීමටත් බැරි නැහැ. නමුත් එය එසේයි, ඔහු එතරම්ම අවංකව සේවයට කැපවී මහජන මුදලෙන් තමන් ලබන වේතනයට ලබාදිය හැකි උපරිම සාධාරණය ලබාදීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරියෙක්. නමුත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් අත්තනෝමතික හා අසාධාරණ ලෙස බොරු චෝදනා එල්ල කරමින් ඔහුට හිමි සහකාර අධ්‍යක්ෂ තනතුරේ ස්ථීර පත්වීම ප්‍රමාධ කිරීම හේතුවෙන් ඔහු මේ වනවිට පීඩා විඳිනවා.

ඒ නිසා වනජීවී ලොක්කන් මේ විදිහට හැසිරෙන්නේ ඉන්ද්‍රජිත් වාගේ අවංක සහ කාර්යශූර නිලධාරීන්ගේ සේවය තවදුරටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නැති නිසාද කියලා විමසන එක සංරක්ෂණයට හිතැති සැමදෙනාගේම යුතුකමක්. රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මේ මොහොතේ අවශ්‍යමවී ඇති මෙවැනි නිලධාරීන්ගේ සේවය ඉදිරියටත් ලබාගැනීම සඳහා ඔවුන් දිරි ගැන්වීමත්, හෙට දවසේදීවත් අපේ රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් අවංකවම කැපවෙන වනජීවී නිලධාරීන්ට දෙපාර්තමේන්තුව වහ කදුරු නොවීම සඳහා වගබලා ගැනීමත් කාලීන අවශ්‍යතාවයක්.

Comments

Popular posts from this blog