අලි හිර කඳවුරු

© ශෂිකළණ රත්වත්ත

(2019 09 16 දින)

මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවෙන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම සඳහා තවත් අලි හිර කඳවුරක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ දවස්වල පිඹුරුපත් සකස්කරමින් ඉන්නවා. අවස්ථා කිහිපයකදී අත්හදා බලා අසාර්ථකවී ඇති අවිද්‍යාත්මක වන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ මෙවලමක් වන මේ සඳහා තව දුරටත් මහජන මුදල් මිලියන දහස් ගණනින් වැය කිරීම මහජන මුදල් නාස්ති කිරීමක් වගේම එමගින් තවදුරටත් මෙරට අලි මිනිස් ගැටුම උත්සන්නවීම නොවැලැක්විය හැකි නිසා මෙවර අභයභූමියේ සිට ඒ ගැන ලියන්න හිතුවා.

ප්‍රචණ්ඩකාරී වන අලින් අල්ලා ගෙනගොස් රඳවා තැබීම මගින් අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට බව පවසමින් මෙරට ප්‍රථමඅලි පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ 2007 අවුරුද්දේදී ඉදිකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලයි. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වුනේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරිකරමින්. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2013 අවුරුද්දේදී පමණ අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙවැනිම එළිමහන් අලි හිර කඳවුරක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකලේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමින්. නමුත් එයද අසාර්ථකවූ තැන මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය අත්හදාබැලීම මගින් සිදුවන්නේ මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යෑමත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය විනාශ මුඛයට යෑමත් පමණක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානනමින් පවත්වාගෙන යන මෙවැනි එළිමහන් හස්ති හිර කඳවුරු මගින් අලි - මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් ඉතිහාසය ඕනෑතරම් සාක්ෂි සපයනවා. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවින්. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනායි. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුයි.

 අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ තනි දළයානම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවෙයි. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද නැතුවා නොවෙයි. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නැහැ. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටෙනවා. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම පමණයි.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව පවතිනවා. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීම සිදුවෙනවා. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටිනවා. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතුවක්.

හොරොව්පතාන අලි ගාලට ඇතුලත් කෙරුණු අලි ඇතුන් හැටකට වැඩි සංඛ්‍යාවෙන් දැනට එහි ඉතිරිව සිටින්නේ ඉතා අතලොස්සක් පමණක් වන අතර සෙසු අලින්ට කුමක් සිදුවීදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා දන්නේ නැහැ. නමුත් අලි ගාල තුල අලින් විශාල සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වූ බවත් ඊට මෙම අලි ගාල ඉදිකිරීමේදී එතුලට අහම්බෙන් කොටුවූ ඇතින්නක් සහ පැටවෙකුත් ඇතුළත්වූ බවද නොරහසක්. තවද මෙම සිර කඳවුරෙන් මිදී පලාගිය අලින් නිසා හොරොව්පතාන අවට ප්‍රදේශවල අලි - මිනිස් ගැටුම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව මෙවැනි අලි හිර කඳවුරු මගින් අලි ඇතුන් සංරක්ෂණය හා අලි - මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා කිසිඳු දායකත්වයක් නොලැබෙනබව පැහැදිළියි. එබැවින් අලි රැඳවුම් මධ්‍යස්ථානමිත්‍යාවට යටවී මහජන මුදල් නිකරුනේ කාබාසිනියා කිරීමෙන් වැළකී වඩාත් විද්‍යාත්මක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද දවසේ කාර්ය භාරය බව අවධාරණය කිරීමට කැමතියි.

Comments

Popular posts from this blog