දේශගුණ විපර්යාසය සහ ප්‍රති සරදියල් න්‍යාය
(2019 09 23 දින)
දේශගුණ විපර්යාසයට එරෙහිව වඩාත් ප්‍රභල මැදිහත්වීම් සිදුකරන ලෙස ලොව පුරා රටවල ජනතාව තම පාලකයින්ට බලකිරීමට පටන්ගෙන. ඒ දේශගුණ විපර්යාසයේ දැනෙන බලපෑම් වල අමිහිරි අත්දැකීම් මේ වනවිට ඔවුන්ට අඩුවක් නැතිව විඳින්නට ලැබී ඇති නිසා. දේශගුණ විපර්යාසයේ ඇති ඉතා අසාධාරණම ප්‍රතිවිපාකය ලෙස එමගින් ප්‍රති සරදියල් න්‍යායෙන් පීඩිතයන්ටම පහර එල්ල කිරීම හැඳින්වීමේ වරදක් නැහැ. එනම් පොහොසතුන්ගෙන් ධනය කොල්ලකා දුප්පතුන් අතර බෙදා දුන් සරදියල් න්‍යායට පටහැනිව යමින් දේශගුණ විපර්යාසය මගින් සිදුකරන්නේ දුප්පතුන් සුරාකෑමට ධනවතුන්ට අවසර ලබාදීමයි. දේශගුණ විපර්යාසය මගින් අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ වැඩිම අවධානමක් සහිත රටවල් පිළිබඳව විමසා බැලීමෙන් මේ බව මොනවට පැහැදිළි වෙනවා.
ඇමරිකාවේ නොටර් ඩෑම් විශ්වවිද්‍යාලය මගින් ලෝකයේ රටවල් 181 ක ආර්ථිකයන් විශ්ලේෂණය කර 2017 අවුරුද්දේ එළිදක්වන ලද ගෝලීය අනුහුරුතා දර්ශකය (global adaptation index) මගින් අනාවරණය කර ඇති ආකාරයට දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රට නොඑසේනම් දර්ශකයේ පහළින්ම සිටින රට වන්නේ සෝමාලියාව. චැඩ් රාජ්‍ය සහ එරිත්‍රියාව පිළිවෙලින් ඊට ඉහළ ස්ථාන හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 100 වැනි ස්ථානය. මෙහිදී අදාල එක් එක් රටට කොතරම් හොඳින් දේශගුනික විපර්යාසයට අනුහුරුවිය හැකිද, සූදානම කෙබඳුද, අනාරක්ෂිත තත්ත්ව මොනවාද, දේශගුණික විපර්යාස සඳහා ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාව කොපමණද වැනි අනු දර්ශක ගණනාවක් පිළිබඳව මෙන්ම ආහාර, ජලය, සෞඛ්‍ය, පරිසර පද්ධති, මානව වාසස්ථාන හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.
දර්ශකයේ පතුලේම සිටින අනෙක් රටවල් වන්නේ මධ්‍යම අප්‍රිකාව, කොංගෝව, සුඩානය, නයිජීරියාව, හයිටි, ඇෆ්ගනිස්ථානය, සහ ගිනි බිසව් රාජ්‍යයි. දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ගොදුරුවීමේ වැඩිම අවධානමක් පැවතීම සහ ඊට සූදානම් වීමට ඇති අඩුම හැකියාව නිසා තමයි මේ රටවල් වලට දර්ශකයේ පතුලටම වැටීමට සිදුවී ඇත්තේ. සූදානම වැඩි දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන සහ නවෝත්පාදන වගේම කඩිනම් ක්‍රියාමාර්ග සඳහා විශාල අවශ්‍යතාවයක් තිබුණත් ඒ සඳහා අවශ්‍ය පිරිවැය දැරීමට ඔවුන්ට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට තමන් මුහුණදී සිටින සදා අසරණ තත්වයෙන් ගොඩඒම සිහිනයක්.
එහි අනෙක් පසින් දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් ගැන අවධානය යොමු කළොත් දේශගුණ විපර්යාසයේ ප්‍රති සරදියල් න්‍යාය මානව පැහැදිළි වෙනවා. නොර්වේ, නවසීලන්තය, ෆින්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, ජර්මනිය, සහ අයිස්ලන්තය පිළිවෙලින් දර්ශකයේ ඉහළම ස්ථානවල පසුවෙනවා. බ්‍රිතාන්‍යට දර්ශකයේ දොළොස්වැනි ස්ථානය හිමිවී ඇති අතර ඇමරිකාව එහි පහළොස්වැනි ස්ථානයේ පසුවෙනවා. එම රටවලට දේශගුණ විපර්යාසයෙන් එල්ලවන බලපෑම් අවම මට්ටමක පවතිනවා වාගේම එම බලපෑම් වලට මුහුණදීමට හොඳ සූදානමකුත් පවතිනවා.
හරිතාගාර වායු ටොන් ගණනින් වායුගෝලයට මුදාහැර දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට දායකවන රටවලට අවම බලපෑම් ඇතිකරන දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් වැඩි වශයෙන් දුක් විඳීමට සිදුවී ඇත්තේ ඉතා සුළු හරිතාගාර වායු විමෝචනයක් සහිත රටවලට බව එමගින් පැහැදිළි වෙනවා. මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය කරමින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන ධනවත් රටවල් සිටින්නේ දර්ශකයේ ඉහළින්මයි. එම රටවල් වලටද දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට මුහුණදීමට සිදුවුනත් ඔවුන් තමන්ට හිමි ධන බලය මගින් එම බලපෑම් අවමකරගැනීමට හෝ ඒවාට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නවා. නමුත් දරිද්‍රතාවයේ පතුලේ කිමිදී සිටින බහුතර දුප්පත් රටවල් වලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට මුහුණදීමට අවශ්‍ය ආර්ථික ශක්තියක් නොමැති කමින් එම රටවලට කබලෙන් ලිපට වැටීමට සිදුවී තිබීම සැබවින්ම ඛේදවාචකයක්. මෙහි ඇති ඉතා අවාසනාවන්තම මුහුණුවර වන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් මගින් පීඩිතයන් තවත් පීඩනයට ලක් කෙරෙන අතරම ධනවතුන් එමගින්ද වාසි ලබා ගැනීමට වෙර දැරීමයි.
දේශගුණ
විපර්යාසය අවමකිරීමට හා ඊට අනුහුරුවීමට
අවශ්‍ය අරමුදල් සපයන දානපතීන්ගේ භූමිකාව මෙම ධනවත් රටවල් රඟදක්වමින් සිටියත් එම
රටවල් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් සිදුකරන්නේ පීඩිත රටවල ඇති
සම්පත් කොල්ලකෑමයි. දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් දිනෙන් දිනම
දරිද්‍රතාවයේ පත්ලෙහිම ගිලෙමින් පවතින රටවලට සිදුවී ඇත්තේ එමගින් සුළු හෝ
අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා තම රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකිණීමටයි. දුප්පත් රටවල ඇති ජලය, ඛනිජ
ද්‍රව්‍ය, වනාන්තර වැනි නොයෙකුත් ස්වභාවික සම්පත් මේ
ආකාරයෙන් සූරාකෑමට බටහිර බහුජාතික සමාගම් සැදී පැහැදී සිටිනවා.
තම රටවලට දේශගුණ
විපර්යාසයේ බලපෑම් වලින් ගොඩ ඒමට ඇති සම්පත් මේ ආකාරයෙන් විජාතිකයන්ට විකිණීමට
දුප්පත් රටවලට සිදුවී ඇත්තේ එමගින් නිමි භාණ්ඩ සකස්කිරීමට අවශ්‍ය තාක්ෂනය හා ආයෝජන
එම රටවලට නොමැති බැවින්. බලවතුන් එමගින් බොර දියේ මාළු බාන්නේ කිසිඳු හිරිකිතයක් නැතිවයි.
අවසානයේ එම දුප්පත් රටවලට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවාගෙන
සිටීමට පමණයි. දේශගුණ විපර්යාසයේ අවධානම තඹ සතයකට මායිම් නොකර
ඊනියා සංවර්ධන සිහින පසුපස උමතුවෙන් ලුහුබඳින සදාතනිකවම සංවර්ධනය වෙමින් පවතින
රටක් වන අපේ රටේ පාලකයිනුත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම වටිනවා.
Comments
Post a Comment