දරු පැටවුන් කොල්ලකෑමට ඉඩ දෙමුද?
(2019 10 21 දින)
කිසිම බයක් සැකක් නැතුව තමන්ට
හිතු මතේ අනුන්ගේ දරු පැටවුන් කොල්ලකන මංකොල්ලකරුවන් නිදහසේ ඉන්න රටක, උන්ගේ සැහැසිකම් තඹ සතයකට මායිම්
නොකර උන්ට සෙත් පිරිත් සජ්ඣායනා කරන, පිරිත් නූල් බඳින චීවරධාරීන් ඉන්න රටක, උන්ට නිය පිටකින්වත් හානියක්
වීමට ඉඩ නොතබන පාලකයන් ඉන්න
රටක අපට අපගේ දරු පැටවුන්ගේ අනාගතය පිළිබඳව සුභ සිහින මවන්නට පුළුවන්ද? ඔබගේ හෝ මගේ පිය බිරිඳ මරා දරු
පැටවා පැහැරගෙන ගොස් වහල්කමට විකිණීමට බලාසිටින මංකොල්ලකරුවන් රටේ පාලකයන්, චීවරධාරීන් සහ නිලධාරීන් සමග අවර
කෙළියේ යෙදෙන රටක ඔවුන්ට හිමි සුරක්ෂිත අනාගතය කෙබඳුද? ඔබ ඒ ගැන සුළු හෝ සැළකිල්ලක්
දක්වනවානම් මෙවර (අ)භයභූමියේ සිට ලියන්නේ ඔබගේ
අවධානය පිණිසයි.
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ
සිදුවූ ඉතා අමානුෂිකම සංවිධානාත්මක වනජීවී අපරාධය ලෙස සැලකිය හැකි අම්මාවරුන් මරා වනාන්තර
වල ජීවත්වූ අලි පැටවුන් නීතිවිරෝධී ආකාරයෙන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරම (අ)භයභූමි පාඨක ඔබට අළුත් දෙයක්
නොවෙයි.
එසේ
නීතිවිරෝධී ලෙස මෙරට වනගත අලි ගහනයෙන් පැහැරගෙන ජාවාරම්කරන ලද බවට සැක කෙරෙන ‘කන්කොටා’ නම් අලි පැටවා හබරණ ප්‍රදේශයේ
වහල් සේවයේ යොදවා සිටියදී මැරී වැටුණේ පසුගිය දාහත් වැනිදා. ඒ විදේශීය සංචාරකයින් කර මත
තබාගෙන සෆාරියක් යමින් සිටින අතරතුර. ඒ වනවිටත් එදින සෆාරි ගමන් දෙකක් ගොස් සිටි මේ
අසරණ අලි පැටවා තුන් වැනි වාරයේ දී අසනීප නිසා සෆාරිය අතරමගදී ආපසු හරවාගෙන පැමිණ
සුළු වේලාවකට පසුයි මෙසේ මියගියේ. ශ්‍රී
ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික
කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, සහ බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් PMO/CM/44/2019 අංක දරණ කැබිනට් පත්‍රිකාව මගින් පසුගිය කාලයේ අත්අඩංගුවට
ගෙන උඩවලව ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි ‘කන්කොටා’ සේම වනයෙන් පැහැරගත් අනෙකුත් අලි
පැටවුන් ද නැවතත් අලි හොරුන් වෙතම නිදහස් කරන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගන්නේ
මෙවැනි පසුබිමකයි.
මෙම අලි ජාවාරම සම්බන්ධයෙන්
විමර්ශනය කල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක ඒකපුද්ගල
විමර්ශන කමිටුව ඇතුළු කමිටු ගණනාවක වාර්තා මෙන්ම දැනට විභාග වෙමින් පවතින නඩු
වාර්තා පරිශීලනය කිරීමෙනුත් පෙනී යන්නේ මෙම අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී
අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න
අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට
කටයුතු කර ඇති බවයි. ඊට
අමතරව උඩවලව ඇත් අතුරු සෙවනින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි
පැටවුනුත් වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී තිබෙනවා. ඒ වගේම වනජීවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත්
අතුරු සෙවන වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන්
විසින් පැහැරගෙන ඇති බව හෙළිදරව්වී තිබෙනවා.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත
උල්ලංඝනය කරමින් ජාවාරම්කරන ලද මෙම අලි පැටවුන් නැවතත් අදාළ වනජීවී අපරාධකරුවන්
වෙතම නිදහස් කිරීම නීතියේ ආදිපත්‍ය බල්ලාට දැමීමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය
නැහැ.
අපේ
රටේ වනගත අලි ගහනයේ පැවැත්මටත් මෙවැනි අලි ජාවාරම් මගින් විවිධ බරපතල බලපෑම්
එල්ලවෙනවා.
ඉවක්
බවක් නැතුව මේ වාගේ වනාන්තර වලින් අලි පැටවුන් ඇල්ලීමෙන් අලි ඇතුන් ප්‍රාදේශීය
වශයෙන් වඳවී යාමට හැකියාව පවතිනවා. ඒ
වාගේම නීතිය කිසිම ආකාරයකින් ක්‍රියාත්මක නොවීමෙන් මෙවැනි වනජීවී ජාවාරම්
ඉදිරියටත් සිදුකිරීමට ජාවාරම්කරුවන් පෙළඹ්මත් නොවැලැක්විය හැකියි. තවද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට
පත්ව ඇති පසුබිමක මෙවැනි ප්‍රධානයන් සිදුකිරීම මගින් ජනාධිපතිවරණයට බලපෑම්
එල්ලවීමටත් විශාල ඉඩකඩක් පවතිනවා.
පරිසරය රකින බව පවසමින් බලයට
පැමිණි වර්තමාන ආණ්ඩුව සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පනවන බවටත් සත්ව හා
වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කරන
බවටත් පොරොන්දු දී තිබුණා.
නමුත් 2009
අංක
22
දරන
පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, 1982 අංක 12 දරන පොදු දේපල වලට එරෙහිව කරන
වැරදි පිළිබඳ පනත,
ශ්‍රී
ලංකා දණ්ඩ නීති සංග්‍රහය,
ආයතන
සංග්‍රහය,
මුදල්
රෙගුලාසි ආදී අනපනත් සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් අපරාධ සිදුකළ පුද්ගලයින්ට, ඒ සඳහා උඩගෙඩි දුන් බලධාරීන්ට සහ
නිලධාරීන්ට මේ රටේ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් නොනැවතී උන් විසින් ජාවරම්කල හොර
බඩුත් උන්ටම ලබාදීමට පාලකයින් කිසිඳු විළි ලැජ්ජාවක් නැතුව කටයුතු කරනවානම් එවැනි බියකරු රටක සතා සිව්පාවාට වාගේම මිනිසුන්
වන අපටත් කිසිම ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා උපනූපන් දරු පැටවුන්
වෙනුවෙන් සිතා මේ තක්කඩි උත්සාහය පරාජය කරන්න පෙරට එන්න කියලා ලියුම්කරු දයාබර ඔබ
සැමදෙනාට බැගෑපත්ව ආයාචනා කරනවා.
Comments
Post a Comment