අලි ගැටලු සහ කුහුඹු පිළියම්


(2019 05 19 දින)

ශ්‍රී ලංකාවේ අපට අලි ඇතුන් සමග තියෙන්නේ දැඩි බැඳීමක්. අපේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හර පද්ධතීන් සමග අලි ඇතුන් ඉතා තදින් බද්ධවී සිටිනවා. ලෝකයේ ආසියානු අලි ජීවත්වන රටවල් 13 අතරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඊට එක් හේතුවක් වන්නේ අපේ රටේ දිවිගෙවන ආසියානු අලින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වී තිබීම. ඒ වගේම ආසියානු අලින් වාර්තාවන රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුතුව එම සතුන් දිවිගෙවන්නෙත් ශ්‍රී ලංකාවේ. නමුත් මෙම වටිනා වනජීවී සම්පත ආරක්ෂාකරගනිමින් ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් කරගැනීමටත් ඔවුන්ගෙන් එල්ලවන අහිතකර බලපෑම් අවමකරගනිමින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීමටත් රටක් ලෙස අප තවමත් අපොහොසත්වීම කණගාටුවට කරුණක්. එසේම අපේ අලි සම්පත සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කරන ඉතා අධූරදර්ශී, අසාධාරණ සහ අමනෝඥ ආකාරය අනුව අනාගතයේදී හෝ එසේ සිදුකරගත හැකිවෙයි කියලත් හිතන්න අමාරුයි. ඒ නිසා මේ අභාග්‍යසම්පන්න තත්ත්වය අප විසින් හෝ සාකච්ඡාවට බඳුන් කිරීම අත්‍යාවශ්‍යමයි. නමුත් එය එක් තීරු ලිපියකින් කොහෙත්ම කරන්න බැරි නිසා මේ පූර්විකාව, අවස්ථාව ලැබෙන ආකාරයට ඉදිරියේදී අපේ අලි සම්පත ගැන කතාකරන්න ඇරඹුමක්.

ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක වන අලි ඇතුන් ජීවත්වනබව දැන් ඔප්පුවී තිබෙනවා. එම ප්‍රමාණය මීට පෙර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩියි. ඒ වගේම එම ප්‍රතිශතය ආසියානු අලින් දිවිගෙවන අනෙක් රට වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගැනීමත් අපේ රටේ අලි ඇතුන් සම්බන්ධ තීරණාත්මක කරුණක්. මෙම වන අලි ගහනයෙන් සියයට හැත්තෑවක්ම රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීමත් විශේෂ අවධානයට යොමුවිය යුතු කරුණක්. ශ්‍රී ලංකාවේ වනජීවී බලධාරීන් පසුගිය අවුරුදු හැටක පමණ කාලසීමාව තුල අපේ රටේ අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා සියළු වන අලින් වනජීවී රක්ශිත ප්‍රදේශ වලට ගාල්කිරීමට නොදැරූ උත්සාහයක් නැති තරම්. නමුත් එසේ තිබියදීත් තවදුරටත් අපේ රටේ වන අලි ඇතුන්ගේ වාසභූමි ප්‍රදේශ වලින් සියයට හැත්තෑවක්ම රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව පිහිටා තිබීම එම උත්සාහයේ අසාර්ථකබව මොනවට පැහැදිළි කරදෙනවා. සියළු අලි ඇතුන් රක්ෂිත තුලට ගාල් කිරීමට නම් ඔවුන් වර්තමානයේ ජීවත්වන වාසභූමි වලින් සියයට තිහක ප්‍රදේශයකට එම සතුන් සීමා කලයුතුයි. නමුත් එම සියයට තිහක ප්‍රදේශයේත් දැනටත් එහි ජීවත්විය හැකි අලි ඇතුන් ප්‍රමාණය ජීවත්වෙනවා. ඒ නිසා සියළු අලි ඇතුන් රක්ෂිත තුලට ගාල් කිරීම කිසිඳු ආකාරයක ප්‍රායෝගික විසඳුමක් නොවෙයි.

පහුගිය අවුරුදු 55ක කාලසීමාව තුල වන අලින්ට ඔවුන්ගේ වාසභූමි වලින් සියයට දහසයක් අහිමි වෙලා. ඒත් සමගම ඔවුන් මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් සියයට එකයි දෂම හයක ප්‍රමාණයක් තුල නව වාසභූමි ඇතිකරගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය දශක හයක පමණ කාලය තුල අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි ප්‍රදේශ වලින් සියයට පහළොවක් පමණ අහිමි වෙලා, එම වාසස්ථානවල දිවිගෙවූ අලි ඇතුන් සදහටම වඳවීගොස් ඇති නිසා දැනට ශ්‍රී ලංකාවේ අලි ගහනය වැඩිවෙමින් පවතින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ හුදු මිත්‍යාවන් පමණයි.  

ඒ වගේම වර්තමානයේ දිවයිනේ වන අලි ඇතුන් ජීවත්වෙන ප්‍රදේශ බොහොමයක් අතිශයෙන් කැබලිකරණයවූ හා මානව බලපෑමට නතුවූ ප්‍රදේශයි. ඒ තුල සමස්ථ ආසියානු අලි ගහනයෙන් සියයට දහයත් විස්සත් අතර ප්‍රමාණයක් ජීවත්වීම විමතිය දනවන්නක්. ශ්‍රී ලාංකිකයන් වන අපි එම සතුන්ගේ භාරකරුවන් වන අතර එම සතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ලෝකයා හමුවේ බැඳී සිටිනවා. නමුත් මෙරට දේශපාලකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, හා රාජ්‍ය නිලධාරීන් අද දවසේ පවා කටයුතුකරමින් සිටින්නේ මේ සංකීර්ණ තත්ත්වය තඹ සතයකටවත් මායිම් නොකර වීම ජාතියේ අවාසනාවක්.

රජය විසින් සිදුකරන ඊනියා සංවර්ධන ව්‍යාපෘති මගින් අලි ඇතුන් වගේම එම සතුන් ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන අසරණ ගැමි ජනතාවත් කබලෙන් ලිපට විසිකර දැමෙනවා. ඒ වගේම අලි ඇතුන්ට දැනට නිදහසේ ජීවත්වීමට ඉතිරිව ඇති වාසභූමි ස්වල්පයත් දේශපාලුවන්, ධනවතුන් සහ බලවතුන් විසින් අත්පත්කර ගනිමින් සිටිනවා පමණක් නොවෙයි ඔවුන් විසින් මෙහෙයවන දඩයම්, දැව හෙළීම්, ඛනිජ ද්‍රවය කැණීම්, ගව පාලන කටයුතු වැනි නීති විරෝධී ක්‍රියා නිසා වාසභූමිවල ගුණාත්මකබවත් පිරිහෙමින් පවතිනවා. මෙවැනි පසුබිමක් තුල අලි - මිනිස් ගැටුම දිනෙන් දින උග්‍රවෙමින් පවතින්නේ අවුරුදු පතා ගැටුමේ පාර්ශවකරුවන් දෙතුන්සියයකගේ ජීවිත අකාලයේ දැයට අහිමි කරමින්. එසේ තිබියදී මෙම තත්ත්වය වැලැක්වීම සඳහා මැදිහත්වියයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දිගින් දිගටම අසාර්ථක අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවලම නියැලෙමින් සිටීම නිසා ප්‍රශ්නය තවත් ඔඩු දුවන බව ලියුම්කරු අවධාරණය කරනවා.

ඒනිසා මේ සම්බන්ධයෙන් වගකිවයුතු සියළු බලධාරීන්ට තවදුරටත් මෙරට අලි ඇතුන් හා එම සතුන් සමග උරෙනුර ගැටෙමින් ජීවත්වන අසරණ ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අත්තනෝමතික හා අවිචාරවත් ආකාරයෙන් හැසිරීමට ඉඩ නොතැබිය යුතුයි. අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසඳුමක් ලබාදීමට හා මේ වනවිට මිහිමතින් සදහටම සමුගෙන යාමේ අවධානමට මුහුණ දී සිටින ගෝලීය වශයෙන්ද වටිනාකමක් ඇති අපේ අලි සම්පත සංරක්ෂණය කිරීමට සියළු පාලක කාරකාදීන්ට බලකල යුතුයි.

Comments

Popular posts from this blog