උන්මන්තකයෝ
(2022 02 15 දින)
අපි පසුගිය සතියේ හොයලා බැලුවේ මල්වතු මහානායක හාමුදුරුවෝ කියපු අපේ රටේ පරිසර විනාශයන්ට අනුබල දෙන, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන විශේෂිත පුද්ගලයින් කවුරුන් විය හැකියිද කියලා. මේ සතියේ අපිට හොයලා බලන්න සිද්ධවෙලා තියෙන්නේ වනාන්තර ආශ්‍රිත මාර්ග වල දිවා රෑ දෙකේ අසරණ වනසතුන්ට අඩන්තේට්ටම් කරමින් පහත් වින්දනයක් ලබන උන්මන්තකයින් ගැන, කොටින්ම කියනවා නම් පිස්සන් ගැන. ඒ වචන භාවිතයෙන් සැබෑ මානසික රෝගීන්ට අපහාසයක් නොවිය යුතුයි. නමුත් මේ ආකාරයෙන් වන සතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙතටම ගොස් හිංසාකර පාහර සතුටක් ලබන අසහනකාරයින් හඳුන්වන්න වෙන සුදුසු නමක් ඇත්තේ නැහැ. මේ සටහන තබන්නට ආසන්නතම හේතුව හබරණ ප්‍රදේශයේදී යම්කිසි පුද්ගලයෙකු රාත්‍රියේ මාර්ගයේ සිටි අලි පැටියකුට හිංසා කරමින් පහත් විනෝදයක් ලබන දර්ශන පෙළක් සහිත වීඩියෝවයි. මේ වනවිට ඔහුට විරුධව නීතිය ක්‍රියාත්මක වී තිබුණත් මේ එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවූ මුල්ම හෝ අවසන් අවස්ථාව නම් නොවෙයි.
ශ්‍රී ලංකාවේ වනජීවීන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කරන්න රජයෙන් වෙන්කරන ලද භූමි භාග වර්ගයක් තමයි ජාතික උද්‍යාන. ඒවායේ සංචාරය කරමින් වන සතුන් නරඹන්න සංචාරකයින්ට අවස්ථාව සලසාදී තිබෙනවා. එහෙම වනජීවීන් නැරඹීමේ සංචාර වලට කියන්නේ සෆාරි කියලා. ඒ සඳහා විශේෂයෙන් සකස් කරපු සෆාරි ජීප් රථ යොදා ගන්නවා. සමහරු දුෂ්කර මාර්ගවල ගමන් කිරීමට සකස්කරපු තමන්ගේම මෝටර් රථත් මේ ආකාරයේ වනගත ගමන් වලට යොදාගන්නවා. ඒ වගේම අපේ රටේ ජාතික වනෝද්‍යාන වගේම අනෙකුත් වනජීවී සහ වන රක්ෂිත භූමි කැබලි කරමින් මහා මාර්ග ඇදී යනවා. එවායෙදීත් වන සතුන් සහ මිනිසුන් මුහුණට මුහුණ හමු වෙනවා. ජාතික උද්‍යාන වලදී සතුන් නැරඹීමට හැකියාව ඇත්තේ දහවල් කාලයේ පමණක් වුනත් වනාන්තර හරහා දිවෙන මහා මාර්ග හරහා දිවා රෑ වෙනසක් නැතිව රථවාහන ගමන් කිරීම නිසා මේ හමුවීම් වලට වෙලාවක් කලාවක් නැහැ.
පසුගිය දවසක ත්‍රිකුණාමල - හබරණ මාර්ගයේ හබරණ ප්‍රදේශයේදි අලි පැටියකුට විදුලි එළි දල්වමින් ජීප් රථ රියදුරෙකු හිරිහැර කර තිබුණෙත් ඒ වගේ රාත්‍රියකදී. පසුව එම පුද්ගලයාව වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමෙන් පස්සේ මහේස්ත්‍රාත්වරයා රු 200,000. 00 ක දඩයක් නියම කරනු ලැබුවා. මින්නේරිය ජාතික උද්‍යාන භාරකරු ඇතුළු වනජීවී නිලධාරින් විසින් සිදුකරන ලද මෙහෙයුමකින් තමයි කැකිරාවේ පදිංචිකරුවකු වන සැකකරු අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. නඩුව මෙහෙයවීම වනසත්ව අඩවි ආරකෂක W.M.L.K. වාසල මහතා විසින් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මෑත කාලීනව මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම වාර්තාවී තිබුණා. එසේ වාර්තා නොවුණු සිදුවීම් තවත් කොතෙකුත් ඇති. මෙවැනි පහත් සහ නින්ධිත හැසිරීම් පෙන්වන ඇතැමුන් සමාජයේ පිළිගැනීමක් සහිත ප්‍රසිද්ධ පුද්ගලයන්. ඔවුන් ඇතැම් විට ඉහළ පාසැල් වල අධ්‍යාපනය ලැබුවන්ද විය හැකියි. නමුත් ඔවුන් හැමදෙනාටම පොදු සාධකය ආකල්ප වලින් දුප්පත් වීමයි. කොතරම් වත් පොහොසත් වුනත්, කොතරම් වටිනා වාහනයක් තිබුණත්, කොතරම් වටිනා කැමරා ආම්පන්න තිබුණත් ඔවුන් ආකල්ප අතින් ඉන්නේ බොහොම පහත් තැනක.
මේ මිහිතලයේ ජීවත්වෙන වනජීවීන් බොහොමයක් පරිණාමයවී ඇත්තේ මිනිසුන් වන අප පරිණාමය වීමට බොහෝ කලකට පෙරයි. නමුත් මිනිසුන් වන අප මේ පොළොවේ ජතිතවූ දා පටන් ඒ වනසතුන්ට සිදුවී ඇත්තේ මිනිසුන්ගේ අඩන්තේට්ටම් ඉවසාගෙන වේදනාවෙන් ජීවත් වෙන්න. බැරිනම් සදහටම මේ මිහිතලයෙන් සමුගෙන යන්න. එහෙම අසරණ වෙලා ඉන්න අසරණ අහිංසක වන සතුන්ට තමයි මේ අමනෝඥ තක්කඩි ගිහින් ‘කෝචොක්’ කරන්නේ. ඔවුන් හිතනවානම් ඒ තමන් සිදු කරන්නේ මහා වීරකමක්, චණ්ඩිකමක් කියලා ඒ තරම් මෝඩකමක් තවත් නැහැ. නමුත් ඒ බව තේරුම් ගන්න මේවා සිදුකරණ උන්ගේ ඔළුගෙඩි ඇතුලේ අබැටක් තරම්වත් මොළයක් තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ.
වනජීවී රක්ෂිත ඇතුලේ වගේම පිටතත් රාත්‍රියේ වගේම මහා දවාලෙත් මේ වගේ මෝඩ තකතීරුවන් ගැවසෙනවා. ඔවුන්ගේ අඩන්තේට්ටම් වලට වන සතුන් ලක්වෙනවා. ඔවුන් දුර දිග නොබලා සිදුකරන මෙවැනි සැහැසි ක්‍රියා නිසා වනසතුන්, විශේෂයෙන් අලි ඇතුන් කෝපාවිෂ්ඨවී දරුණු විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එහි ප්‍රතිපලය මෙවැනි වනගත ප්‍රදේශවල ජීවත්වෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත වලට තදින් බලපානවා. ඒ නිසා එම තත්ත්වය වළක්වන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම පොදු ජනතාවටත් යුතුකමක් සහ වගකීමක් තියෙනවා.
Comments
Post a Comment