කාබන් පියසටහන මත බදු පැනවීම

 

©https://www.ecomatcher.com/

මේ දවස් වල අපට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මතුවන විරෝධතා ගැන. විපක්ෂයේ සිටින දේශපාලකයින් රටේ ජනතාව පිළිබඳව හද පත්ලෙන්ම උපන් සානුකම්පිත සිතුවිල්ලෙන් හඬ නගන්නේ ඔවුන් ආණ්ඩු පක්ෂයේ සිටි සමයේදී ජනතාව පීඩාවට පත්කළ කිසිඳු බද්දක් අය නොකළ පරිද්දෙන්. එසේම ආණ්ඩුවද පවසන්නේ තමන් ජනතාව මත බදු බර පටවන්නේ වෙනත් විකල්පයක් නොමැති කමින් බවයි. නමුත් පොදු ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගෙන් බදු අයකරගෙන ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවාලීම සඳහා කිසිඳු දේශපාලකයෙකු උනන්දු නොවීම විමතියට කරුණක්.

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදයම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කරන, දේශීය ආදායම් (සංශෝධන) පනත මේ වන විට බලාත්මක කර තිබෙනවා. මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයම මත 6% සිට 36% දක්වා බදු අය කිරීම මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වුණා. ඒ අනුව මාසික අදායම රුපියල් ලක්ෂය ඉක්මන විට ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කෙරෙනවා. උග්‍ර ජීවන වියදම හමුවේ මේවන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් දිවිගෙවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේයි. එවැනි පසුබිමක් තුළ නව දේශීය අදායම් පනත් කෙටුම්පත සංශෝධනයෙන් ජනතාව කබලෙන් ලිපට වැටෙන බව අමුතුවෙන් කිවයුතුද? මෙමගින් සාතිශය බහුතරයක් දුප්පත් මහා ජනතාවට සිදුවී ඇත්තේ සැමදා තද කරගෙන සිටින පටි තවත් තදකරගෙන සිටීමට වීම කණගාටුවට කරුණක්. ඒ අතර දේශගුණ විපර්යාසයද ප්‍රති සරදියල් න්‍යායෙන් අසරණ දුප්පත් ජනතාවටම පහර දෙද්දී ඔවුන්ට සිදුවී ඇත්තේ විපිළිසරව බලා සිටීමට පමණයි. එවැනි පසුබිමක ආණ්ඩුව සැබෑ ජනතා හිතවාදී එකක් නම් සහ ඔවුන්ට මහජනතාව ආරක්ෂා කර ගැනීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන් කලයුතු වන්නේ සරදියල් න්‍යායෙන් බදු පැනවීමයි. ඒ සඳහා යොදා ගත හැකි බදු ක්‍රමයක් ලෙස කාබන් පියසටහන මත බදු  අය කිරීම (Carbon foot print Tax) හැඳින්විය හැකියි.

ලෝකයේ බොහෝ රටවල මේ වනවිට කාබන් බදු (Carbon Tax) පැනවීම ක්‍රියාත්මක වන අතර අප අසල්වැසි ඉන්දියාවේ පවා එය මීට වසර ගණනාවකට පෙර සිට ක්‍රියාත්මක වෙනවා. හරිතාගාර වායු විමෝචනයට හේතුවන කාබන්ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට මුදා හරිනු ලබන ඉන්දන වර්ග සඳහා බදු අය කිරීම මේ යටතේ සිදුකෙරෙනවා. උදාහරණයක් වශයෙන් 2010 ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන හා එරටට ආනයනය කෙරෙන සෑම ගල්අඟුරු ටොන් එකක් සඳහාම රුපියල් 50ක බද්දක් පැනවීමට එරට ආණ්ඩුව කටයුතු කල අතර 2014 වසරේදී එම බද්ද රුපියල් 100 දක්වා ඉහළ දැමුවා. ඊට අමතරව හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත විවිධ ආයතන හා කර්මාන්තශාලා වලට බදු පැනවීමේ ක්‍රමවේදයන්ද විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා.

එමගින් තම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හා හරිතාගාර වායු විමෝචන අවමකිරීමට කර්මාන්ත කරුවන් කටයුතු කිරීම මගින් දේශගුණ විපර්යාස අවමකිරීමට සාධනීය  පිටුබලයක් ලැබෙනවා. නමුත් ඇතැම් විට එමගින් වැඩිවන බදු මුදල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම මගින් ජනතාවගෙන්ම අයකර ගැනීමට නිෂ්පාදකයන් කටයුතු කිරීම නිසා අසරණ දුප්පත් ජනතාවට එමගින් වැඩි ප්‍රතිලාභයක් අත් වන්නේ නැහැ.

නමුත් එක් එක් පුද්ගලයාගේ කාබන් පියසටහන මත පදනම්ව බද්දක් අය කිරීම මගින් දුප්පත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගේ මුදල් වලින් ආණ්ඩුවේ බදු අදායම ඉහළ නංවාලීමට හැකියාව පවතිනවා. වත් පොහොසත්කම් සහිත ධනවතුන් තම සුඛෝපභෝගී ජීවන රටාව පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම සිදු කරනවා. එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීමට සිදුවෙනවා. එමගින් ධනවතුන්ගේ කාබන් පියසටහන නිරායාසයෙන් විශාල වෙනවා. නමුත් ඉතා ආයාසයෙන් තම දිවි පෙවෙත සරිකර ගන්නා සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයකින් තම අවශ්‍යතා සපුරා ගන්නා පොදු මහා ජනතාවකගේ කාබන් පියසටහන ඊට වඩා බොහෝ කුඩායි.

එබැවින් තම මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට වායුගෝලයට මුදා හැරීමට සිදුවන හරිතාගාර වායු ප්‍රමාණයට අදාළ කාබන් පියසටහන ඉක්මවා විශාල කාබන් පියසටහන් ඇති පුද්ගලයන්ගෙන් ඒ මත පදනම්ව බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකියාව පවතිනවා. එමගින් දුප්පතුන් ආරක්ෂාවන පරිදි ධනවතුන්ගෙන් දැනෙන තරමේ බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකිවේවි. එමගින් රටේ අතිමහත් බහුතරයක් ජනතාවට අස්වැසිල්ලක් ලබා දී ආණ්ඩුවේ බදු අදායම ද ඉහළ නංවාලීමට කටයුතු කිරීම කිසිඳු ලෙසකින් අසාධාරණ වන්නේ නැහැ. තවද එම බදු මුදල් වලින් කොටසක් දේශගුණ විපර්යාසයට අනුහුරුවීම සඳහා වැය කිරීමටද ආණ්ඩුවට හැකියි. එබැවින් තව දුරටත් පොදු ජනතාව නොපෙළා මේ පිළිබඳව සලකා බැලීම ආණ්ඩුවේ යුතුකමයි.

Comments

Popular posts from this blog