සොබාදහමේ සැබෑ ආරක්ෂකයෝ
“ගල්ඔය ව්‍යාපාරය අපේ පරම්පරාව සී සීකඩ කලා
දැන් බිබිල සීනි ව්‍යාපෘතිය අපිව පාරට ඇදලා දාන්න යනවා
අපි මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ
අපේ අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ
අපිට මේ කැළේ අතහරින්න බැහැ
ඒ නිසා අපිට ආදරය කරන මිනිස්සුන්ට කියන්නේ
අපේ අරගලය එක්ක හිටගන්න!”
ඔහු මෙහෙම කිව්වේ තමන්ගේ වර්තමාන වාසභූමි ද ඇතුලත්වන පරිදි අම්පාර, මොණරාගල හා බදුල්ල දිස්ත්රික්ක තුනට අයත් අක්කර 62500ක් තරම් විශාල භූමි ප්රමාණයක උක් වගා ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට පවරන්නට ආණ්ඩුව කටයුතු කිරීමත් සමග. සුදාවන්නිලා ඇත්තන්ගේ ඒ වචන හදවතක් තියෙන ඕනෑම කෙනෙකුගේ ඒ හදවත් දැදුරු කරන බවත්, කාටවත් කරදරයක් නැතුව, බොහොම උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගහගත්ත මේ මිනිස්සුන්ට අද අත්වෙලා තියෙන ඉරණම ආපස්සට හරවන්න හිතෙන්නැති කවුරුහරි මේ සමාජයේ ඉන්නවා නම් උන් මිනිස්සු වෙන්න බැරි බවත් එදා ලියුම්කරු ලිව්වා.
නමුත් අපේ මාතෘභූමියේ මුල් පුරවැසියන්ගෙන් පැවත එන මේ ආදිවාසී ප්‍රජාවන් මුහුණ දෙන අසාධාරණකම්, අලුගුත්තේකම් වල නම් තවමත් නිමක් නැහැ. එහි ආසන්නතම සිදුවීම තමයි දරාගත නොහැකි කුසහින්න නිවාගන්න මසුන් කිහිපදෙනෙකු අල්ලා ගැනීමට ගල්ඔය - සේනානායක සමුද්‍රයට ගිය රතුගල ආදිවාසී නායක සුදාවන්නිලා ඇත්තන් ඇතුලු ආදිවාසීන් කිහිපදෙනෙකු ගල්ඔය ජාතික උද්‍යානයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීම.
"දින ගනනාවක් ආහාරයක් නැහැ, ඒ්කයි මාලුවෙක්වත් අල්ලගන්න කියලා වැවට ආවේ, එතකොටයි වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ" ආදිවාසී නායකතුමා කිව්වේ එහෙමයි.
රටම වෙලාගත් වර්තමාන ආර්ථික අර්බුධය හමුවේ පීඩාවට
පත්නොවූවන් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ අහුරක් සොයාගැනීම තරම් දුෂ්කරවූ කාලයක් මේ.
එහෙව් පසුබිමක ආදිවාසී ජනතාව තමන් ගතකළ කබලෙන් ලිපට වැටී සිටින බව අමුතුවෙන් කිව
යුතුද? ඉතින් කුසගින්න විසින් මෙහෙයවපු මේ ආදිවාසීන් ගල්ඔය ජාතික උද්‍යානයට පැමිණ
මාලුවෙක් අල්ලා ගැනීම ඔය කියන තරම් බරපතල වරදක්ද? ජෛවවිවිධත්ව සංරක්ෂණයට මරු
පහරක්ද?
"ගල්ඔය කැලේ ඇතුලේ ප්‍රසිද්ධියේ පතල් කපනවා,
වැලි ගොඩදානවා,
ගස් කපනවා, ඒ්වා ගැන හොයන්නේ
නැති,
ඒ් අපරාධකරැවන් ආරක්ෂාකරන වනජීවී
නිලධාරීන් මාලුවෙක් අල්ලගන්න, අරලු - බුලු ගෙඩියක් හොයාගන්න කැලේට යන අපේ මිනිස්සු
අල්ලලා හිරේ දානවා" රතුගල ආදිවාසී නායකයා වැඩි දුරටත් චෝදනා කරයි.
මට මතක් වෙන්නේ Global Witness ආයතනය මගින් ගිය අවුරුද්දේ එළිදක්වපු ‘Last Line of Defence’ වාර්තාව. ලොව පුරා ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින් ඝාතනය කිරීම් පිළිබඳ දත්ත රැස් කරමින් සිටින එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් මෙම සංවිධානය 2021 අවුරුද්දේ සැප්තැම්බර මාසයේ නිකුත් කළ ඔවුන්ගේ වාර්තාව මගින් 2020 අවුරුද්දේ ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාර 227 ක් වාර්තාකළ ආකාරය ලියුම්කරු අභයභූමියේ සිටත් ලිව්වා.
එම ඝාතන අතරින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට ඉලක්කවී තිබුණේ ආදිවාසීන් වීම විශේෂ කරුණක්. ආදිවාසීන්ට වෙන් වන්නේ ලෝක ජනගහනයෙන් 5% ක පමණ සුළු ප්‍රතිශතයක් වුවත් ඊට කිසිසේත්ම සමානුපාතික නොවන ප්‍රහාර සංඛ්‍යාවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවී තිබුණා. ඒ අනුව සොබාදහමේ සැබෑ ආරක්ෂකයින් ඔවුන් බව මොනවට පැහැදිළි වෙනවා. ඉතිහාසට පුරාම මෙවැනි ඝාතන මෙක්සිකෝව, මධ්‍යම සහ දකුණු ඇමරිකාව සහ පිලිපීනය යන රටවලින් වාර්තා වෙනවා. 2020 අවුරුද්දේ ඊට අලුතෙන්ම එකතුවී ඇත්තේ සෞදි අරාබි සහ ඉන්දුනීසියානු ආදිවාසීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරයි. එම වසරේදී වාර්තා වූ සමූහ ඝාතන හතෙන් පහකම ඉලක්කයවී ඇත්තේද ආදිවාසීන් වීම තුල පරිසර සංහාරිකයින් ඔවුන් කෙරෙහි දක්වන ක්‍රෝධය ප්‍රකටව නිරූපනය වෙනවා. මේ අතරින් වඩාත්ම බිහිසුණු මනුෂ්‍ය ඝාතනය පිලිපීනයෙන් වාර්තාවන්නේ 2020 දෙසැම්බර් 30 දිනයි. එහිදී හමුදාව සහ පොලිසිය විසින් සිදු කළ වැටලීම් වලදී ටුමන්ඩොක් ආදිවාසීන් නමදෙනෙකු මිය ගොස් තවත් දාහත්දෙනෙක් අත්අඩංගුවට පත් වුණා. පිලිපීනයේ පනායි දූපතේ ජීවත්වන මෙම ප්‍රජාව ජලාර් ගංගාව හරහා ඉදිකිරීමට අපේක්ෂිත මහා වේලි ව්‍යාපෘතියකට විරෝධය පළකිරීම මෙසේ ද්වේශයට ලක්වීමට හේතුවයි.
එක්සත් ජාතීන් විසින් පහුගිය අවුරුද්දේ නිකුත් කෙරුණු වාර්තාවකින් කියැවුණේත් ලතින් ඇමෙරිකානු ආදිවාසී ජනතාව ජීවත්වන ප්‍රදේශවල වනාන්තරවල හොඳම ආරක්ෂකයින් එම ආදිවාසීන් වන බවත්, ඔවුන්ගේ භූමි ප්‍රදේශවල වන විනාශය වෙනත් ප්‍රදේශවලට වඩා 50% දක්වා අඩු වී ඇති බවත්.
නමුත් අපේ රටේ වනජීවී මහත්වරුන්ටත් මේ හරුපය නොතේරෙන බව තමයි රතුගල ආදිවාසීන්ට සිදුවන අඩන්තේට්ටම් වලින් ගම්‍යමාන වන්නේ. අපේ රටේත් වනාන්තර සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න ආදිවාසීන් පෙරමුණ ගත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු බිහිවෙන්නත් කළින් ඉඳලයි. ඔවුන් වනාන්තර සමග ගනුදෙනු කළ ස්වයං විනය හා හික්මීම වගේම සොබාදහමට දැක්වූ සෙනෙහස අපේ සොබා උරුමයන් ආරක්ෂා වෙන්න ඉවහල් වුණු බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. වර්තමානයේ අපි කළ යුත්තේ ඔවුන්ගේ පාරම්පරික දැනුම හා ආකල්ප වර්තමාන සංරක්ෂණ යාන්ත්‍රණය සමග ගලපා ගැනීම විනා ඊනියා සංරක්ෂණය දඩමීමා කරගෙන ඔවුන්ට හිංසා කිරීම නොවෙයි.
ඒ වගේම වනාන්තරවල සහ ස්වභාවික සම්පත්වල ප්‍රතිලාභ ඒ ආශ්‍රිත ප්‍රජාවන් සමග, විශේෂයෙන් ආදිවාසී ජනතාව සමග බෙදා ගැනීමට යාන්ත්‍රණයක් තිබිය යුතුයි. වනජීවී මහත්තුරු දැනටත් කරනවායැයි කියන ‘ජනවිහිදුම්කරණය’ මහපොළොවේ යථාර්ථයක් වන්නේ එතකොට කියාලා ලියුම්කරු අවසන් වශයෙන් අවධාරණයෙන් ලියා තබන්න කැමතියි.

Comments
Post a Comment