අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා

කිසියම් ක්‍රියාවක් සිදු වීමේ අවිනිශ්චිත බවක් කියැවෙනවා නම් එවැනි ක්‍රියා හඳුන්වන්නේ ‘අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා’ කියලා. එහෙම ඉගැන්වුවේ ඉස්කෝලේ යන කාලේ සිංහල ගුරුතුමිය. නමුත් මේ වෑයම සිංහල පාඩමක් උගන්වන්න නෙවෙයි. නමුත් සිංහල භාෂාවේ ක්‍රියාපද වර්ග හත-අටක් තිබුණත් අපේ රටේ ‘වනජීවී සංරක්ෂණය’ කියන ක්‍රියාව හඳුන්වන්න මේ මොහොතේ ලියුම්කරුට ඊට වඩා සුදුසු ක්‍රියාපද වර්ගයක් මතක් වෙන්නේ නැහැ.

මෙම ඉඩම, ගල්ඔය ජාතික උද්‍යානයට අයත් බව සනාථ වුවහොත් මෙම අවසරය අවලංගු වේ.

සිංහල විෂය උගන්වන ගුරු මහත්මයෙකුට හෝ මහත්මියකට මේ වාක්‍ය පෙන්වුවොත් ඔහු හෝ ඇය නිසැකවම කියාවි අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා යටතට ගැනෙන අපූරු වාක්‍යක් කියලා. නමුත් වරදවා වටහා ගන්න එපා, මේ තියෙන්නේ සිංහල පන්තියක උගන්වපු වාක්‍යක් නෙවෙයි. හොඳින් සිංහල උගත් රජයේ උසස් තනතුරක් දරණ නිලධාරියෙකුගේ ජාමෙත් බේරාගෙන අපේ රටේ ඉතා වටිනා සොබා උරුමයක් වළපල්ලට යැවෙන ආකාරය.

ඔය වාක්‍ය ලියලා තියෙන්නේ වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහත්තයා. ගල්ඔය නිම්න ජාතික උද්‍යානය ඇතුලේ පිහිටලා තියෙන උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළ මාර්ගයේ දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ ප්‍රදේශයක මහ පරිමාණ මැණික් කැනීම් ජාවාරමක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා බලපත්‍ර ලබාගැනීමට වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දීපු නිර්දේශයේ පළවෙනි කොන්දේසිය තමයි ඒක.

කෙනෙකුට මෙයින් හිතෙන්න පුළුවන් අපේ රටේ ‘වනජීවී සංරක්ෂණය’ ‘අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්’ දැයි කියලා. ඔව් ඇත්තටම එහෙම හිතෙන එකේ වරදක් නැහැ. ශ්‍රී ලංකාව වනජීවීන්, තුරුලතා වගේම තවත් ස්වභාවික සම්පත් රැසකින් පිරිණු රමණීය දිවයිනක් වුණත් එහි පාලක කාරකාදීන් වගේම මහජනතාවත් තමන් හිටගෙන ඉන්න බිමේ සැබෑ වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා එම වටිනාකම් ආරක්ෂා කරගන්නත් උනන්දුවක් නැහැ. ඉතින් කලදුටුකළ වල ඉහගන්න බලා ඉන්න දේශපාලුවන් වගේම උන්ට නොදෙවෙනි සුදු කරපටි හොරුත් කරන්නේ සංරක්ෂණය හා තිරසාර භාවිතය ‘අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්’ කරලා අනෙක් හැම ආකාරයකින්ම අපේ රටේ සොබා උරුමයන් වැනසීමට ක්‍රියා කිරීම. එමගින් තමන්ගේ මඩි තරකර ගැනීම.

ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට පහළොවකට වඩා සහමුලින්ම අයිති වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේම වනජීවීන් සම්බන්ධයෙන් ගත්තොත් මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහට අමතරව මුළු මහත් සාගරයේත් වනජීවීන් එම දෙපාර්තමේන්තුවට අඩු වැඩි වශයෙන් අයිතියි. එම දෙපාර්තමේන්තුව මහජන මුදලෙන් නඩත්තු කෙරෙන්නේ ඔය කියන හතර දිග්බාගයේම ජීවත්වෙන වනජීවීන් සහ ස්වභාවික පරිසර පද්ධතීන් ආරක්ෂා කරන්න. නමුත් අගනුවර ශීත කාමර වල ඉන්න වනජීවී ලොක්කන්ට ඒ ගැන වගේ වගක් නැති බව තමයි මේ වගේ වැඩ වලින් පෙනෙන්නේ.

පසුගිය 23 වැනිදා ඉඳලා අපේ රටේ බිම් මට්ටමේ රාජකාරි කරන වනජීවී නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නේ. ඒ අවසාන වශයෙන් මාස තුනකින් විසඳන බව පොරොන්දු වුණු තමන්ගේ වෘත්තීය ගැටළු අවුරුදු තුනකට වඩා ගතවෙලත් නොවිසඳුණු තැන. එම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා සාමාන්‍ය පැය අටේ රාජකාරියෙන් පසුව වනජීවී නිලධාරීන් තම රාජකාරි ඉටුකරන්නේ නැහැ. සති අන්ත දිනවලත් එහෙමයි. මේ හේතුව නිසා දැන් සති කිහිපයක් තිස්සේ අපේ රටේ වනජීවීන්ට වගේම වනාන්තර වලටත් දෙවියන්ගේම පිහිට තමයි. මේ ගැන විමසූ ජනමාධ්‍යවේදියෙකුට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදී තිබූ පිළිතුරත් අපූරුයි.

‘මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා වනජීවී අපරාධ වැඩිවෙලා කියලා කියන්න බැහැ. නමුත් එහි බලපෑම තවමත් අධ්‍යයනය කර නැහැ.’

මෙම ප්‍රකාශයෙනුත් ලියුම්කරුට නම් හැඟෙන්නේ අනියමාර්ථයක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු මහත් ලෝකයේම වනජීවී අපරාධ බොහොමයක් රාත්‍රී කාලයේ සිදුවෙන බව අමුතුවෙන් කිවයුතුද? දඩයම්, දැව හෙළීම්, කැණීම්, අනවසර අල්ලා ගැනීම වැනි වනජීවීන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලට එරෙහිව සිදුවන වනජීවී අපරාධ සිදුවන රාත්‍රී කාලයේ ඒ පිළිබඳව සොයා බැලීමට වනජීවී නිලධාරීන් කාර්යාල වල නොමැති නම්, සිකුරාදා දිනවල පිටව යන එම නිලධාරීන් නැවත රාජකාරියට පැමිණෙන්නේ සඳුදා දිනයේ නම් එවැනි අපරාධ ඉහළ යන බව කියන්න අධ්‍යයනයන් කළයුතුද?

මේ සියලු දෙයින් කියැවෙන්නේ අන් කිසිවක් නෙවෙයි, අපේ රටේ ‘වනජීවී සංරක්ෂණය’ ‘අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්’ බව. ඉතින් එවැනි අවාසනාවන්ත දූපතක වනජීවීන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ඇතුළු සම්පත් වලට යන කල දසාව මොකද්ද?

මේ රටේ සෑම බිම් අඟලකම ඉතුරුවෙලා තියෙන ඒ උරුමය මෙහෙම හරි ආරක්ෂා වුණේ තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරමින් ඒවා ආරක්ෂා කරපු වනජීවී වීරවරයන් හින්දාම තමයි. උන්ගේ අවසන් හුස්ම පොද පවා තැවරුණු ඒ සොබා උරුමයන් ඈලියාවට යන්න ඉඩ දීලා උඩ බලියාන හිටියොත් උඹලටත් ශාපලද්දන් වෙන්න සිදු වේවි!

Comments

Popular posts from this blog