අටුව කඩා පුටුව හදා
කබලෙන් ලිපට වැටෙමුද?
ශ්‍රී ලංකාව මේ
මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පූර්ණ දේශපාලන අර්බුදයක් සහ මානුෂීය හදිසි
අවස්ථාවක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ. ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට
මැයි මාසයේදී සිය ණය ගෙවීම පැහැර හැරියේ, වසර ගණනාවක ආර්ථික
අවභාවිතාවෙන් හා ප්‍රභූන් සුළු
පිරිසක් පොහොසත් කිරීමෙන් මහා භාණ්ඩාගාරය හිස් වීම හේතුවෙන්. රටේ එතෙක් මෙතෙක් පැවතුණු
හා පවතින ආණ්ඩු වල කෙරුවාව තමයි මේ අර්බුදය හරහා පෙන්නුම් කරන්නේ. ඊට රටේ බහුතරයක්
නිද්‍රාශීලී පොදු මහජනතාවත් වගකිවයුතු බවට විවාදයක් නැහැ. මේ සියලු සමාජාර්ථික හා දේශපාලන
කාරනා වලින් වියුක්තව අපට මේ රටේ ගහකොළ, සතා සිව්පාවා සහ ස්වභාවික සම්පත් ඇතුළු සමස්ථ
පරිසර සංරක්ෂණය ගැනත් කතා කරන්න බැහැ. සරලව කියනවා නම් මේ ආර්ථික අර්බුදය පරිසර සංරක්ෂණයට
කොහෙත්ම හිතකර නැහැ වගේම මේ අර්බුදකාරී වටපිටාව තුල අපි නිසියාකාරව රටේ පාරිසරික සම්පත්
සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවන් කැපවුණේ නැත්නම් සිදුවන්නේ අර්බුදය තවත් දුරදිග
යාම.
වංචා දුෂණ මොහොතකට
පැත්තකින් තිබ්බොත් අපි වර්තමානයේ මුහුණදෙමින් සිටින ඉරණම අත්වුණේ අපි පසුගිය දශක ගණනාවක්
තිස්සේ විදෙස් ණය ලබාගනිමින් සිදුකළ අක්‍රමවත් සංවර්ධන කටයුතු නිසා බව යළි යළිත් සඳහන්
කළයුතු නැහැ. ඒ සංවර්ධනය රටේ ආර්ථිකයට ධනාත්මක ප්‍රතිලාභ ලබා දුන්නේ නැහැ වගේම පරිසරයටත්
හිතකර වුණේ නැහැ. ස්වභාවික වනාන්තර කොන්ක්‍රීට් වනාන්තර බවට පත්කරමින් සිදු කෙරුණු
මේ ඊනියා සංවර්ධනය රටේ පොදු ජනතාවට වගේම සතා සිව්පාවාටත් සුගතියක් අත්කරලා දෙන්නේ නැහැ
කියලා මේ රටේ පරිසර සංරක්ෂණවේදීන් උගුර ලේ රහ වැටෙනකල් මුර ගෑව. ඒ යතාර්ථය පොදු ජනතාව
තේරුම් ගත්තේ නැහැ.ඒ නිසා රට පාලනය කරන ජඩ දේශපාලුවන්ට වගේම සුදු කරපටි හොරුන්නටත්
ඒ ගැන අවධානය යොමුකරන්න ඕනෑකමක් තිබුණේ නැහැ.
මහා සංවර්ධන සිහින
පෙන්වමින් ආරම්භ කෙරුණු ව්‍යාපෘති බොහොමයක් අපේක්ෂිත ප්‍රතිපල අත්කර නොදුන් අතර බොහොමයක
ශක්‍යතාව හා ප්‍රමුඛතාවයද ගැටළුකාරීයි. අප මේ දිනවල කතාබහ කරන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය
සංවර්ධන ව්‍යාපෘතියෙනුත් මෙම තත්ත්වය පැහැදිළි කරගැනීමට පුළුවන්. මෙම බහුකාර්ය සංවර්ධන
ව්‍යාපෘතිය නිසා මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන්
10 න් එකක්’ වන වාර්ෂික වන අලි ඒකරාශීවීමට (Elephant gathering) කණකොකා හඬා ඇති
බව පසුගිය දිනවල කතා බහට ලක් වුණා. එක් සංචාරක සමයකදී මින්නේරිය ජාතික උද්‍යානයේ වන
අලි ඒකරාශීවීම හරහා එහි පැමිණෙන එක් අලියෙකු රුපියල් මිලියන දහයක් පමණ අපේ රටට උපයා
දුන් බව සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පේනවා දෙනවා. නමුත් ඒ විදේශ විණිමය ප්‍රමාණයට
පයින් ගසා මොරගහකන්ද මගින් අලුතින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අස්වැද්දීමේ සිහින දැක්ක බලධාරීන්ට
දැන් අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ. එපමණක් නොවෙයි, මේ පාරම්පරික වියළි සෘතු
ගොදුරුබිම අහිමි වීමෙන් ආහාර හිඟයට මුහුණදෙන අලි ඇතුන් ප්‍රදේශයේ ජනතාවගේ නිවාස, ගෙවතු සහ කුඹුරු
බිම් ආක්‍රමණය කිරීම නිසා දැනට අලි-මිනිස් ගැටුමෙන් පීඩා විඳින අහිංසක දුප්පත් ගොවි
ජනතාව කබලෙන් ලිපට වැටිලා. තවත් අලුත් පිරිසකුත් මේ අක්‍රමවත් සංවර්ධනයේ අනාථයන් බවට
පත්වෙලා. ඒ බව මොනවට පැහැදිළි වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත වලට අනුව, 2020 වන විට ප්‍රදේශයේ
අලි-මිනිස් ගැටුම් සිදුවීම් 2017 ට සාපේක්ෂව හය ගුණයකින් වැඩි වී ඇති බැවින්. අලි ඇතුන්ගේ
ගැහැණු සතුන් සහ පැටවුන් මිනිසුන්ගේ භවබෝග ආක්‍රමණය කිරීමක් සිදු නොකරන අතර ඔවුන්ට
සිදුවන්නේ කුසගින්නේ සහ මන්දපෝෂණයෙන් මරණයට පත්වීමටයි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක්
ආවේණික ආසියානු අලි උප විශේෂයේ අනාගත ඉරණම තීරණය කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද කියලත්
අමුතුවෙන් කිවයුතු නැත. අපේ රටේ පාලකයින් දැකපු සංවර්ධන සිහින බොහොමයක් ඔහොම තමයි.
නටපු නැටුමකුත්
නැතිව බෙරේ පලුවකුත් නැතිකරගත් අපේ රටේ පාලකයෝ දැන් කසකවමින් ඉන්නේ බෙරේ අනෙක් පලුවටද
වැඩේ දෙන්න. කොටින්ම කියනවා නම් ඉතිරි පරිසර සම්පත් ප්‍රමාණත්ද ආර්ථික අර්බුදය විසිඳීම
වෙනුවෙන් බව කියමින් වනසා දමන්න. වයඹ පළාතේ රජමහා විහාරයක විහාරාධිපති හිමිනමකගේ මෙහෙයවීමෙන්
සිදු කෙරුණු මහා වන විනාශයට එදිරිව පහුගිය දවසක පරිසර සංරක්ෂණවේදීන් පවත්වපු මාධ්‍ය
හමුවක ඉඳගන්නත් ලියුම්කරුට සිද්ධ වුණා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය නාමයෙන් කැබිලිත්ත
වන රක්ෂිතය වැනසීමට එදිරිව ජනාධිපතිවරයාට පරිසර සංරක්ෂණවේදීන් විසින් සංදේශයකුත් යොමු
කළා. නමුත් පාලකයින් මේ පිළිබඳව නෑසුණු කන් ඇතුව ඉන්නේ රටේ ආර්ථික අර්බුදයට මෙම වනාන්තර
විනාශ කර සිදුකරන විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙයි කියලා වෙන්න ඇත. නමුත් එය එහෙම
නැහැ කියලා අතීතයෙන් ඕනෑ තරම් සාක්ෂි සාධක තව ඕනෑ නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි
මේ හැමදේම කරන්නේ මේ රටේ උපනූපන් පරම්පරා ගණනාවක ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්
නිස්සරණාධ්‍යාශයෙන්. නමුත් ඒ පිළිබඳව පොදු ජනතාව වත් අවධානය යොමු නොකිරීමයි කණගාටුවට
කරුණ. පරිසරය වනසමින් සංවර්ධනයේ නාමයෙන් අගාදයට ගමන්කළ අපි එයින් ගොඩ ඒමට මේ මොහොතේත්
යොදාගන්නට සුදානම්වන උපායමාර්ග අටුව කඩා පුටුව හදන මාදිලියේ වුනොත් කබලෙන් ලිපට විසිවෙන්නට
සිදුවන්නේ අපි අපිටම තමයි.
මේ හැමදේම අතර
වේගවත් වන දේශගුණික විපර්යායේ ගොදුරක් බවටත් මේ පුංචි රට පත්වෙමින් ඇති බව අපි අමතක
කළයුතු නැහැ. මිහිතලය උණුසුම් වීමේ අහිතකර බලපෑම් වලින් ලෝකයේ හැම රටකම ආර්ථිකයට බලපෑම්
එල්ල වෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර වගේ හැම නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයකටමත් ඒ
බලපෑම් එල්ල වෙනවා. ඉතින් අපි ඒ අහිතකර බලපෑම් වලට සුදානම් වීමට එහෙමත් නැත්නම් අනුහුරු
වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා අපට අරමුදල් තිබිය යුතුයි. කන්න
බඩට බත්ටික නැති රටක කොහෙද දේශගුණික විපර්යාසවලට අනුහුරු වෙන්න අවශ්‍ය අරමුදල් ?
ජාත්‍යන්තර සංවර්ධනය
සඳහා වන ඇමෙරිකානු නියෝජිත ආයතනයේ (USAID) ප්‍රධානී සමන්තා
පවර් පසුගිය දවසක කිව්වා වගේ ‘ඉදිරියේදී ණය තිරසර නොවන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ උද්ගත
වුනොත් එය ජීවත්වීම සහ මරණය අතරත්, සෞභාග්‍යය සහ දිළිඳුබව සම්බන්ධවත් ගැටලුවක් වේවි’.
මේ මොහොතේ වත් පොදු ජනතාව වන අපි සිහි බුද්ධියෙන් කටයුතු නොකළොත් මේ මජර දේශපාලුවෝ
සහ සුදුකරපටි හොරු අපිව ගෙනියන්නේ එවැනි අඳුරු යුගයකටම තමයි.

Comments
Post a Comment