සැමරුම් දින සහ අපේ අලි ඇතුන්

© https://ceylonnews24.com/

හැම අවුරුද්දකම අගෝස්තු මාසේ දොළොස්වැනිදාට යෙදෙන අලි ඇතුන් සැමරීමේ අන්තර්ජාතික දිනය අපි බොහොම උජාරුවෙන් සමරුවේ නොබෝදා. දැනට මේ මිහිතලය මත ජීවත්වෙන අලි ඇතුන් විශේෂ තුන සංරක්ෂණය කරගැනීම ගැන ගෝලීය මට්ටමේ අවධානයක් හා උනන්දුවක් ඇතිකිරීම තමයි මෙවැනි දිනයක් වෙන් කිරීමේ අරමුණ. අලි ඇතුන් සම්බන්දයෙන් කතා කරනකොට අපේ රටටත් හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. නමුත් අපි ඒ වටිනාකම් ආරක්ෂා කරගන්න කොතෙක් දුරට කැපවෙනවද කියන එක උභතෝකෝටිකයක්.

අපි ජීවත්වෙන ආසියානු කලාපයේ ජීවත්වෙන්නේ මෙම කලාපයටම ආවේණික අලි විශේෂයක්. නමුත් ආසියාවේ ඓතිහාසික හස්ති වාසභූමි වලින් සියයට අනූපහකින් (95%) මේ වෙනකොට අලි ඇතුන් වඳවීගොස් හමාරයි. ඔවුන් දැනට ඉතිරිවී සිටින්නේ ආසියානු රටවල් දහතුනක විතරයි. ඒ අතරින් ශ්‍රී ලංකාව සුවිශේෂී වන්නේ ආසියානු අලි ඇතුන් ජීවත්වෙන රටවල් දහතුනෙන් දෙවැනි විශාලතම ආසියානු වන අලි ගහනය ජීවත්වෙන රට ශ්‍රී ලංකාව වීම නිසා පමණක් නොවෙයි. අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ශිකව ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාව මිය යන රට ශ්‍රී ලංකාව. ඒ වගේම ලොව දෙවැනි වැඩිම මිනිස් මරණ වාර්තාවන රටත් මේ කුඩා දිවයිනම තමයි. ගතවන සෑම දිනකම ශ්‍රී ලංකාවේ කොහේ හෝ තැනක අඩු තරමින් එක් අලියෙකු හෝ මිය යනවා. ඒ වගේම සෑම සතියකම ශ්‍රී ලංකාවේ මිනිසුන් 2-3ක් අලි-මිනිස් ගැටුමේ ගොදුරු බවට පත්වෙනවා. නමුත් මෙම අනවරත අරගලය කළමනාකරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතාවන සියලුම මෙවලම් දශක ගණනක් පැරණි, අසාර්ථක, අවිද්‍යාත්මක යල්පැනගිය ඒවා.  එහෙත් තවමත් අපේ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක පමණ අලි ඇතුන් ජීවත්වීම හාස්කමක් වගේ. ලියුම්කරු එහෙම කියන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි පසුගිය අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ අපි අලි ඇතුන් උන්ගේ පාරම්පරික වාසභූමි වලින් පන්නා වනජීවී රක්ෂිත වලට ගාල් කිරීමේ අසාර්ථක උත්සාහයේ නිරතව සිටින නිසා. නුදුරේදීම සකස් කෙරුණු ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකිරීමේ ජාතික ක්‍රියාකරී සැලැස්මත් දැනට අවුරුදු දෙකක් පමණ තිස්සේ ඇත්තේ හමස් පෙට්ටියේ නිසා. ලියුම්කරු මේ පිළිබඳව අභයභූමියේ සිට රටේ ජනාධිපතිවරයාටත් ලියුවාට කිසිම සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

අලි-මිනිස් ගැටුමට අමතරව අපේ රටේ වන අලි සංරක්ෂණයට විශාල බලපෑමක් එල්ල කරපු අලි පැටවුන් ජාවාරම මැඩලීම සම්බන්දයෙනුත් ලියුම්කරුට නැගුනේ නඩුත්- බඩුත් දෙකම හාමුදුරුවන්ගේද? දී කිරට බළල්ලුත් සාක්කිද? කියන ප්‍රශ්න. ඒ වගේම විෂය භාර බලධාරීන්ගේ හස්ති ඝාතන වියරුව ගැනත්, අගල් ඇමතිගේ ගොඩ වෙදකං ගැනත්, වන අලි කළමනාකරණ ප්‍රදේශයට අත්වී ඇති ඉරණම ගැනත් ලියුම්කරු අභයභූමියේ සිට ලියුවේ ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය නිවැරදි දිශානතියකට යොමුකිරීමේ අවංක චේතනාවෙන්. 

නමුත් මේ සටහන ලියන මොහොතේත් අහන්න ලැබුණේ මිහින්තලේ, පුදුක්කුලම ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක ගැටී ඇත් පැටවෙකු ඇතුළු හස්තීන් තිදෙනෙක් එකම ස්ථානයකදී අකාලයේ මරු වැළඳගත් පුවතක්. ඒ කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගණනාවක් සැරිසරමින් සිටි ‘බරණ’ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිදුවීමේ උණුසුම මැකී යන්නටත් කළින්. මේ වනජීවී අපරාධය සම්බන්දයෙන් සැකකෙරුණු පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය ජූලි 31 දා සිට අගෝස්තු 6 දා දක්වා පලා ගොස් සැඟව සිට ඉකුත් 6 දා ගල්කිරියාගම වනජීවි කාර්යාලයට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුනා.

ආණ්ඩුවේ විගණකාධිපති විසින් 2012 – 2016 කාලසීමාව තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් පලකළ වාර්තාව අනුව 2015 ජනවාරියේ සිට 2017 ඔක්තෝම්බර් දක්වා සිදුවූ හස්ති ඝාතන 384 කින් සියයට අසූ නමයක් සම්බන්දයෙන් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන නොතිබුණු බව ලියුම්කරු මින් පෙරත් අභයභූමියේ සිට ලියුවා. ඊට ප්‍රධාන හේතුව එවැනි සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ අනාවරණය කරගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් නොවීම බවයි ලියුම්කරුගේ අදහස. ඒ වගේම පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ බලප්‍රදේශය තුල සිදුකළ පර්යේෂණයකට අනුව අධිකරණයේ විභාගවූ නඩු විසි හතරකින් චූදිතයින්, වැරදිකරුවන් කිරීමට වනජීවී නිලධාරීන්ට හැකිවෙලා තියෙන්නේ නඩු අටකදී විතරයි. අද වන විටත් එම තත්වයේ කැපී පෙනෙන වෙනසක් ඇතිවී තිබෙනවාද?

ඉතින් එවැනි පසුබිමක් තුල අපේ රටේ වනජීවී සම්පත සුරක්ෂිතයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ද, එම වන සතුන් සහ වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස සහ වෙනත් ආකාරයට අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම භාරව ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එම දෙපාර්තමේන්තුව මේ මොහොතේත් ක්‍රියාත්මක වන්නේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක්, අත්‍යාවශ්‍ය යටිතල පහසුකම්, වෘත්තීමය පුහුණු ඉඩ ප්‍රස්ථා සීමිතවී ඇති පරිසරයක බව ඇත්ත. නමුත් එකී සීමාකාරී සාධක ඉවත්කර ගැනීම සඳහා පිටස්තර පුද්ගලයින් සහ සංවිධාන දක්වන උනන්දුව අදාළ දෙපාර්තමේන්තුව තබා එහි වෘත්තීය සමිතිවත් නොදැක්වීම කණගාටුවට කරුණක්.

ඉතින් ඔවුන්ගේ වෘත්තීමයභාවය මහදැනමුත්තාගේ ක්‍රියාකලාපයට සමාන යැයි සාමාන්‍ය පොදු මහජනතාවට හැඟෙන එක වරදක්ද?

Comments

Popular posts from this blog