අභය උදෙසා!

© ලහිරු මදුශංක

(2022 05 24 දින)

බියෙන් සහ සැකයෙන් තොරව නිදහස් හා සාමකාමී ජීවිත ගතකිරීමට අපි හැමෝම කැමතියි. අභයභූමියේ සිට මේ දක්වා ලියුම්කරු විසින් ලියූ සෑම සටහනකින්ම උත්සාහ කෙරුණේ එවැනි පරිසරයක් මේ දිවයින තුල තහවුරු කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‘අභයභූමි’ කියන වදනේ අරුතත් එවැනි ‘බියෙන් තොර බිමක්’ කියන එකයි. ඒ වගේම ලොව ඕනෑම රටක ‘බියෙන් තොර බිමක්’ කියන අදහස ගෙනදෙන වදනක් මුලින්ම භාවිතයට ගැනුනානම් ඒ ‘අභයභූමි’ කියන වදනම බවයි ලියුම්කරුගේ අදහස. ගහකොළට සතා සිව්පාවාට පමණක් නොවෙයි මිනිසාටත් එසේ බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය අදටත් හෙටටත් මතුවටත් ආරක්ෂාකර තැබීම අප සියළුදෙනාගේම වගකීමක්.

මේ රට අභයභූමියක් බවට පත්කරන්න අපේ අතීත රජ දරුවන් කටයුතු කළේ මීට අවුරුදු දහස් ගණනකට පෙර අතීතයේ සිට බව අප සිහිතබාගත යුතුයි. වර්තමානයේ ‘දියුණු’ බව කියන බටහිර ජාතීන් පවා මිලේච්ඡ හැසිරීම් දක්වමින් වනචාරී ජීවිත ගත කරනකොට අපි මිනිසුන්ට පමණක් නොවෙයි ගහකොළ සතා සිව්පාවාටත් බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පසුබිම මේ රමණීය දිවයින තුල ඇතිකරන්න පුරෝගාමී වුණා.

ඒ අතර ඉතිහාසයේ විවිධ අවස්ථාවල මේ අභයභූමියේ ‘අ’ යන්න ගලවා දැමීමට ඇතැමුන් කටයුතු කළබවත් අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ රටට සොබාදහමෙන් ලැබුණු වටිනා උරුමයන්ගේ අයිතිකරුවන් තමන් බව සිතන දේශපාලුවන් අතට රටේ පාලන බලය ලැබෙන සෑම අවස්ථාවකදීම සිදු වන්නේ එයයි. 2019 අවුරුද්දේ නොවැම්බර් මාසේ 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සර්වජන ඡන්දයෙන් තේරී පත්වීමත් එවැනි යුගයක ආරම්භයක් වෙයි කියලා බොහෝ දෙනෙක් ඒ කාලේ හිතන්න නැතුව ඇති. නමුත් ඉනික්බිති පරිසර පද්ධති උඩු යටිකුරු කරමින් ජනතාව දහස් ගණනින් පීඩාවට පත්කළ ඊනියා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණේ සාක්කුවට වැටෙන කොමිස් කුට්ටියේ විශාලත්වය අනුව ප්‍රමුඛතාවය ලබාදෙමිනුයි. වනාන්තර අක්කර දහස් ගණනින් ඩෝසර්කර කොන්ක්‍රීට් සංවර්ධනය සහ බහුජාතික සමාගම්වල විවිධ ලාභාපෙක්ශා වෙනුවෙන් බිළිදෙනු ලැබුවේ කිසිඳු පරිසර බලපෑම් ඇගයීමක් සිදුකිරීමෙන් තොරවයි. අම්මාවරුන් මරා වනාන්තර වලින් පැහැරගත් අලි පැටවුන් නීතියේ ඇසට වැලි ගසමින් ජාවාරම්කරුවන්ගේ මාළිගාවල නැවතත් සිරකර තබාගැනීමට ධනවතුන්ට සහ බලවතුන්ට අවසර ලැබුණේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක නීති තඹ සතයකට මායිම් නොකරයි.

ලියුම්කරුට මේ මොහොතේ සිහියට නැගෙන්නේ 2019 අවුරුද්දේ නොවැම්බර් මාසේ 15 වන දින (ජනාධිපතිවරනයට පෙර දින) ‘බියෙන් තොර බිමක්’ මැයෙන් අභයභූමියේ සිට ලියූ තීරු ලිපිය. රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ආරක්ෂාකිරීමට එම රටේ පාලකයින්ට හැකියාවක් නැත්නම් ඒ රටේ ජීවත්වන ජනතාවට කිසිම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් යහපත් අනාගතයක් අපේක්ෂාකළ නොහැකියි. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වුනත් එම තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාවීම, අධිකරණයේ ස්වාධීනත්වය, ජනමාධ්‍ය නිදහස වැනි කාරණා වලින් වියුක්තව අපට පරිසර සංරක්ෂණය ගැනත් කතාකිරීමට නොහැකියි. යුක්තිය හා සාධාරණත්වයට වටිනාකමක් ලබා නොදෙන, සැමට සමාන ආකාරයෙන් නොසලකන, තම මූලික මිනිස් අයිතිවාසිකම් ඉල්ලා අරගල කරන මිනිසුන් වෙඩි තබා මරා දමන, නීතියේ දෙවඟන එළිපිටම කෙළෙසන, ජනමාධ්‍ය නිදහස වළලා දමන පාලකයින් සිටින රටක පරිසර සංරක්ෂණය පිළිබඳව කතාකිරීමත් මුලාවක්. ලියුම්කරු එදා ලියුවේ එහෙමයි.

මේ සියලු කාරණා පිළිබඳව ඉතා සාවධානව සිතා බලා නිවැරදි තීරණය නිවැරදි මොහොතේ ගැනීම අත්‍යාවශ්‍ය බව ලියුම්කරු අවධාරණය කළා. රටේ ජනතාව ව්‍යසනය දෝතින් තුරුලුකර නොගන්නට තරම් බුද්ධිමතුන් සහ හෘදසාක්ෂියක් ඇත්තන් වනු ඇතැයි ලියුම්කරු සිතුවත් එසේ සිදුවුණේ නැහැ. නමුත් ඉන් දෙ-අවුරුද්දක ඇවෑමෙන් අද දවසේ රටේ ජනතාවට යථාර්තය අවබෝධ වෙමින් පවතිනවා. ඔවුන් බුරුතු පිටින් මහා පාරට පැමිණ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරනවා.

ඔව්, මේ තකතීරු පාලකයන් අලි ඇතුන්ගේ සිට කුරා කුහුඹුවන් දක්වා වනසතුන් පමණක් නොවෙයි මහා ජනතාවත් උපන් බිමේ අනාථයින් බවට පත්කරලා. අප අද දවසේ ඒ තත්ත්වය වෙනස් නොකළොත් අපේ දරු පැටවුනුත් අපට ශාප කරයි. ඒ නිසා අපි හැමෝම මේ අසමත් පාලන ක්‍රමය වෙනස් කරන්නට අරගල කරමු!

Comments

Popular posts from this blog