ඉරණම කුමක්ද?
(2022 04 26 දින)
අපේ රට මේ වෙනකොට
මුහුණදී තිබෙන දරුණු ආර්ථික අවපාතය සෑම සියළු පුද්ගලයෙක්ම පීඩාවට පත් කරලා අවසන්. මිනිස්සු
පාරට බැහැලා වර්තමාන ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් සිදුකරන උද්ඝෝෂණත් දරුණු අතට හැරිලා
මිනිස් ජීවිතයකුත් ඊට බිලි වුණේ අවාසනාවන්ත විදිහට. මේ අවාසනාවන්ත තත්වය කවදා කොහොම
අවසන් වෙයිද කියලා කාටවත් පුරෝකථනය කරන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ වනජීවීන්, තුරුලතා,
වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත්වලටත් ඒ අවාසනාවන්ත කාලය උදාවෙලා තිබුණේ කලක සිටයි. එම
සම්පත් වැනසෙන ආකාරයේ තීන්දු තීරණ ගණු ලැබූ ආණ්ඩු අතර වර්තමාන ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුව
සිටින්නේ පෙරමුණේ බව අභයභූමියේ සිට ලියපු දේවල් කියවපු අය හොඳාකාරවම දන්නවාට සැකයක්
නැහැ.
විශේෂයෙන් ජනාධිපතිවරයා
විසින් ගනු ලැබූ අත්තනෝමතික, අවිද්‍යාත්මක
සහ අමනෝඥ තීන්දු තීරණ මෙරටට හිමි සොබාදහමේ අමිල උරුමයන් වැනසී යාමට තුඩු දුන්නේ වර්තමාන
ආණ්ඩුව බලයට පත්වූ මුල් වකවානුවේ සිටමයි. ඒ නිසා වර්තමාන විනාශකාරී රාජ්‍ය පාලනයට එරෙහිව
මුලින්ම අරගල කිරීමට පරිසර සංරක්ෂනවේදීන්ට සිදුවුණේ වර්තමාන ජන අවධි වීමට බොහෝ කලකට
පෙරයි.
ගල්, වැලි සහ පස්
ප්‍රවාහනය සඳහා එතෙක් පැවති බලපත්‍ර ක්‍රමය සහමුලින්ම අවලංගු කර තමන්ගේ හෙන්චයියන්ට
ලක් පොළොව සහ ගංගා පද්ධතිය සිතූ සිතූ ආකාරයෙන් හාරා වනසා දැමීමට ඉඩ සැලසීම එහි ආරම්භයයි.
එයින් නොනැවතුණු එම අත්තනෝමතික, අවිද්‍යාත්මක සහ අමනෝඥ පාලනය විසින් මෙරට වනජීවීන්,
තුරුලතා, වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් වැනසූ ආකාරයට උදාහරණ කිහිපයක් පමණක් ලියුම්කරු
සිහිපත් කරන්නම්.
5/2001 චක්‍රලේඛය
අහෝසි කිරීම මගින් අපේ රටේ වනාන්තර අක්කර ලක්ෂ නමයකට වඩා තමන්ගේ දේශපාලන හෙංචයියන්ට
වැනසීමට අවශ්‍ය පසුබිම සකස්කර දීමට ආණ්ඩුව කටයුතු කළේ කිසිඳු වග විභාගයක් නැතුව.
දිවයිනේ විවිධ
ප්‍රදේශවල පරිසර පද්ධති රැසක් වැනසීමට අවශ්‍ය කටයුතු සැලසුණේ වර්තමාන ජනාධිපතිවරයා
ගමින් ගමට යමින් සිදුකළ ගම සමග පිළිසඳර වැඩසටහනෙන්.
පරිසරය රැකීම සඳහා වගකිවයුතු ආයතන වල ප්‍රධානීන් එම ස්ථාන වලට කැඳවා සාමාන්‍ය ජනතාව
ඉදිරියේ අපහසුතාවයට ලක් කරමින් ඔවුන් නීති අනපනත් ක්‍රියාත්මක කිරීමට අධෛර්යමත් කිරීමට
එහිදී කටයුතු කෙරුණා. පුද්ගලික වහසිබස් සහ පම්පෝරි චක්‍රලේඛ ලෙස සලකන ලෙස නිලධාරීන්ට
දැනුම්දීම මගින් මෙරට වනජීවීන්, තුරුලතා, වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම
සඳහා ඇති නෛතික රාමුවට එල්ලවූ බලපෑම මෙතෙකැයි කියන්න බැහැ.
දිනෙන් දින ඔඩු දුවන අලි-මිනිස්
ගැටුම අවම කිරීම සඳහා කිසිඳු සාධාරණ මැදිහත්වීමක් සිදු නොකල ආණ්ඩුව අලි ඇතුන්ගේ වාසභූමි
සහ අලිමංකඩ තමන්ගේ දේශපාලන හෙංචයියන්ට වැනසීමට අවශ්‍ය පසුබිම සකස්කර දුන්නේ ඉතාම අධම
ආකාරයට. 2020 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉදිරිපත් කෙරුණු ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්රියාකාරී සැලැස්ම හැමස්පෙට්ටියේ සඟවාගෙන මෙරට අලි ඇතුන් සහ අසරණ ගැමි
ජනතාවගේ ජීවිත තව තවත් අලි-මිනිස් ගැටුමට බිලි දීමටයි කටයුතු කෙරුණේ. ඒ හැර සිදු කෙරුණු
එකම දෙය අලි-මිනිස් ගැටුමත්
දඩමීමා කරගෙන මෙරට ජාතික උද්‍යාන වල පස් සම්පත තමන්ගේ දේශපාලන
හෙංචයියන්ට උලාකෑමට හැකිවන ආකාරයෙන් ප්‍රෝඩාකාරී අලි අගල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක
කිරීම පමණයි.
ලොව සිදුවූ වඩාත්ම බිහිසුණු
නැව් අනතුරක් මෙරට සාගර කලාපයේ සිදුවීමට ඉඩහැරි ආණ්ඩුව එමගින් සිදුවූ මහා සමුද්‍ර දුෂණය
ආපසු හැරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම ගැනත් චෝදනා එල්ල වෙනවා.
ඌව, බිම්තැන්නේ
ජනතාවගේ ජීවත්වීමේ අයිතියට පවා බලපෑම් කරමින්, ශ්‍රී ලංකාවේ ඇති අනන්‍ය පාරිසරික කලාපයක්
වන ඌව පතන් බිම් ඇතුළු වනාන්තර සහ ආදිවාසී සහ ස්වදේශික ජනයාගේ ඉඩම් අක්කර හැටදෙදහස්
පන්සීයක් සිංගප්පූරු බහුජාතික සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කළා.
අම්මාවරුන් මරා දැමීම ඇතුළු කෘර සහ
අමානුෂික ක්‍රම මගින් මෙරට වනාන්තර වලින් පැහැර ගන්නා ලද කුඩා අලි පැටවුන් නීතියේ ඇසට
වැලි ගසමින් නැවතත් චූදිතයින්ටම ලබාදීම සිදු වුණා. එසේ පැහැර ගන්නා ලද කුඩා අලි පැටවුන්
තමන්ගේ සන්තකයේ තබා ගැනීම සම්බන්දයෙනුත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට චෝදනා එල්ල වුණා.
ඉහත සඳහන් කළේ
අවුරුදු දෙකකට ආසන්න පසුගිය කෙටි කාලසීමාව තුල වර්තමාන ආණ්ඩුවේ අත්තනෝමතික, අවිද්‍යාත්මක
සහ අමනෝඥ පාලනය විසින් මෙරට වනජීවීන්, තුරුලතා, වනාන්තර, සාගරය ඇතුළු ස්වභාවික සම්පත්
වනසා දැමූ ආකාර කිහිපයක් පමණයි. ඒ බොහෝ අවස්ථාවලදී ලියුම්කරුත් අභයභූමියේ සිට එම විනාශයන් පෙන්වා දුන්නත් සාධනීය වෙනසක් නම් සිදුවුණේ
නැහැ. වර්තමානයේ රට තුල උද්ගතවෙලා තියෙන ආහාර සුරක්ෂිතතාවය, කෘෂිකර්මාන්තය සහ බලශක්තිය සම්බන්ද අර්බුද
වලටත් මෙම මහා පරිමාණ පරිසර විනාශය හේතුවූ බව අප අවධාරණය කළයුතුයි.
මෙම අදූරදර්ශී දුර්දාන්ත පාලනය වෙනස් නොවුනොත් පස, ජලය, වාතය විනාශවී අපගේ මාතෘභූමිය එහි වර්තමාන සහ අනාගත පරපුරට සම්පූර්ණයෙන්ම අහිමි වන දිනය වැඩි ඈතක නැහැ. ඒ නිසා මේ සියලු කාරණා පිළිබඳව ඉතා සාවධානව සිතා බලා නිවැරදි තීරණය නිවැරදි මොහොතේ ගැනීම අත්‍යාවශ්‍ය බවයි ලියුම්කරුගේ අදහස. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය පිහිටා ඇත්තේ ජනතාව කෙරෙහි යි.

Comments
Post a Comment