තිරසර සංවර්ධන අරමුණු

© Wildlife Conservation Society - Galle

(2019 12 02 )

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම පදවි ප්‍රාප්ති කතාව සිදුකරමින් තිරසර සංවර්ධන අරමුණු ජය ගනිමින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්කරන බව සඳහන් කිරීම පරිසර ක්ෂේත්‍රයටද ඉතා වැදගත්. ප්ලාස්ටික් පොලිතීන් වලින් තොරව තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකිරීමට දරූ උත්සාහය මෙන්ම එහිදී විමෝචනය කෙරුණු කාබන් උදාසීනකරණය සඳහා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් ඔහු පරිසර සංරක්ෂණයට ඇති කැපවීම පිළිබිඹු කරන්නක් බව සිතන්න පුළුවන්. ඒ අනුව ඔහුගේ රාජ්‍ය පාලන කාලය තුළ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු 17 සහ එහි ඉලක්ක 165 සාක්‍ෂාත් කරමින් සංවර්ධනය කරා අපේ රට මෙහෙයවීමටත් පරිසරය සංරක්ෂණය කරගැනීමටත් ඔහු කැපවෙනු ඇතැයි ඔහුට ඡන්දය ලබාදුන් සියළුදෙනා අපේක්ෂා දල්වාගෙන බලාසිටිනවා. එසේම නව රජය පත්වීමත් සමගම මව්බිමේ සිරසට කටු ඔටුණු පළඳන කටුපොල් වගාව තහනම් කිරීමටත් කටයුතු කරනබව දැනගන්න ලැබීමත් සතුටට කරුණක් (කටුපොල් වල විනාශකාරී බලපෑම් ගැන ලියුම්කරු අභයභූමියේ සිට මින් පෙර සාකච්ඡාකර ඇත).

එවැනි පසුබිමක වර්තමාන රජයේ කඩිනම් අවධානය යොමුවියයුතු පරිසර ප්‍රශ්නයක් වශයෙන් කිතුල්ගල අශෝක පෙතියා සංරක්ෂණය හඳුන්වන්න පුළුවන්. ඉකුත් ඔක්තෝබර් මස කිතුල්ගල කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනයට සවන් දීමෙන් පසුව හිටපු පරිසර ලේකම් අනුර දිසානායක විසින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අශෝක පෙතියාගේ අවසන් වාසස්ථානය තුළ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියට අවසර දීමට තීරණය කිරීම අශෝක පෙතියා සංරක්ෂණයට මරු පහරක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔහු විසින් මෙම කුප්‍රකට තීරණය ගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් 11 දින එනම් ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර බවයි දැනගන්නට ලැබෙන්නේ.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ වෙනත් විශේෂඥ පිරිස් විසින් ලබා දෙන ලද පර්යේෂණ සාක්ෂි මත පදනම් වෙමින් ලේකම්වරයා විසින් මෙම විශේෂය තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂයක් බව හඳුනා ගත්තද කිතුල්ගල ජලශක්ති (පෞද්ගලික) සමාගම විසින් මේ සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සළකා බලා මෙම ව්‍යාපෘතියට අවසර දීමට තීරණය කර තිබෙනවා.

අතිශයින් තර්ජනයට ලක්ව සිටින මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන අශෝක පෙතියා මේ වන විට සොයා ගත හැක්කේ කැළණි ගඟේ මෙම ස්ථානය තුළ පමණක් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. NARA ආයතනය පෙන්වාදෙන ආකාරයට සීතාවක ගඟේද මෙම මත්ස්‍ය විශේෂය හමුවුවත් එහි සිටින්නේ ඉතා සීමිත මත්ස්‍ය ගහනයක් පමණක් වන අතර දැනටමත් එම ස්ථානයට ද බ්‍රෝඩ්ලෑන්ඩ් කුඩා ජල විදුලි ව්‍යාපෘතිය සහ ගිරන්කිත්ත ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අයහපත් බලපෑම් එල්ලවී හමාරයි.

මෙම අභියාචනා විභාගයට සහභාගී වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ප්‍රවීණ පරිසර සංරක්ෂනවේදී හේමන්ත විතානගේ මහතා ලියුම්කරු සමග කියා සිටියේ එකම දිනයක් තුළ අභියාචනා 30කට වඩා විභාගයට ගැනීමට නියමිතව තිබුණු අතර මෙම කාරණය විභාගයට ගැනුනේ සවස 6ත් පසුව බවයි. තවද අභියාචනා විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එකම දිනයක් තුළ තීරණ ගැනීමට සිදු වීම නිසා මේ සම්බන්ධයෙන් නිසි තීරණයක් ලබා දීමට තරම් තත්ත්වයක ලේකම්වරයා නොසිටි බව පෙනීගිය බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව මෙසේ තර්ජනයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයක් සම්බන්ධ වැදගත් තීරණයක් මෙවැනි හදිසි තීරණයක් ලෙස ලබා දීමට සිදු වීම අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මිරිදිය මසුන් පිළිබඳ ප්‍රවීණයන් පවසන්නේ මෙම ජල විදුලි බලාගාරය සඳහා ඉදිකිරීමට යෝජිත වේල්ලට මීටර් 800ක් ඉහළින් අදාළ මත්ස්‍ය විශේෂයට අයත් මත්ස්‍යයින් සැළකියයුතු සංඛ්‍යාවක් ජීවත්වන බවයි. ඉදිකිරීම් නිසා ජලයේ ගුණාත්මකබව, ජල මට්ටම සහ ජලයේ වේගය වෙනස් වීමෙන් මෙම මත්ස්‍යයින්ට තමන්ගේ අවසන් වාසස්ථානයද අහිමිව මුළු ලොවින්ම තුරන්වී යාම නොවැලැක්විය හැකියි. මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගයීමක් 2010 අවුරුද්දේදී සිදු කළ අතර ඒ අනුව 2012 දී ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබුණද එල්ලවූ මහජන විරෝධය හේතුවෙන් 2014 දී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. ආචාර්ය සුරන්ජන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන ලද අධ්‍යනයකින් හෙළිවී ඇත්තේ මෙම ප්‍රදේශය අශෝක පෙතියාගේ අවසන් වාසභූමිය වීමට අමතරව මීට යාබද මාකලන්දාව වනාන්තරයේ එහි පමණක් හමුවන දේශීය හොරශාක විශේෂයක්ද පවතින බවයි. එවැනි පසුබිමක් තුල හිටපු පරිසර ලේකම්වරයා ඉතා අත්තනෝමතික හා අසාධාරණ ආකාරයට මෙම වටිනා පරිසර කලාපය කුඩා ජලවිදුලි බලාගාරයක් සඳහා බිලිදීම කොහොමවත් අනුමත කරන්න බැහැ. ඒ වගේම ජනාධිපතිවරණය කෙරෙහි සියල්ලන්ගේ අවධානය යොමුවතිබූ තත්ත්වයට ඔහු කඩිමුඩියේ මේ සඳහා අවසර ලබාදීමට කටයුතු කිරීමත් යළිත් විමසා බැලිය යුතු කරුණක් බවයි ලියුම්කරුගේ වැටහීම.

ඒ නිසා වර්තමාන රජය මෙරට පරිසර සංරක්ෂණය සම්බන්ධ ප්‍රමුඛ කටයුත්තක් ලෙස සලකා මෙම විනාශයට වැට බැඳීමට කටයුතු කරනු ඇතැයි ලියුම්කරු උදක්ම අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගංගා ඇළ දොළ ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රථම සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි උපායමාර්ගික පරිසර ඇගයීමක් (Strategic Environmental Assessment) සිදුකර ඒ අනුව අදාළ තීන්දු තීරණ ගැනීමත් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත්කර ගැනීමට පිටිවහලක් වනබව කිවමනායි.

Comments

Popular posts from this blog