ග්ලාස්ගොව් දේශගුණ සමුළුව

 © https://www.ipsnews.net

(2021 10 26 දින)

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 26 වැනි සැසි වාරය එළඹෙන ඔක්තෝබර් 31 ඉඳලා නොවැම්බර් 12 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. එක්සත් රාජධානිය විසින් මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සපයන්නේ ඉතාලිය සමඟ සහයෝගයෙන්. ශ්‍රී ලංකාවත් ඇතුළුව සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයන් 195ක් දේශගුණ විපර්යාසය අවමකරගැනීම හා අනුහුරුවීම සඳහා වන තමන්ගේ ඉලක්ක යාවත්කාලීන කරගන්න මෙම සමුළුවට සහභාගීවීමට අපේක්ෂාවෙන් ඉන්නවා. මෙම 26 වැනි සැසි වාරය පැවැත්වීමට නියමිතව තිබුණේ පහුගිය 2020 අවුරුද්දේ වුනත් පැවති ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය අවුරුද්දකින් කල් දැමීමට සංවිධායකයින්ට සිදු වුණා.

පුරා දශක තුනකට ආසන්න කාලසීමාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා රටවල් එක් වේදිකාවක් මතට ගෙනැල්ලා දේශගුණ විපර්යාසය නම් මෙම ගෝලීය අභියෝගයට මුහුණදීමට අවශ්‍ය පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට නොගත් උත්සාහයක් නැහැ. එහි යම් යම් කඩයිම් පසුකිරීමට අපට හැකි වුනත් අපේක්ෂිත අවසන් ජයග්‍රහණ අත්කර ගැනීමේ අභිලාශය තවමත් සිහිනයක් පමණයි. නමුත් එම වකවානුව තුල දේශගුණ විපර්යාසය මෙම මිහිතලයේ ජීවත්වෙන සෑම සියලු ප්‍රාණියෙකුගේම ජීවිත වලට ඇති ප්‍රධානතම තර්ජනය බවට පත්වී හමාරයි. එම අභියෝගයට මුහුණදීමට නොහැකිවූ ජීවී විශේෂ රැසක් මේ වන විටත් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් අවසන්. තම අත්තනෝමතික, අසාධාරණ, සහ අධම ක්‍රියාකාරීත්වය ඔස්සේ දේශගුණ විපර්යාසය වේගවත් කිරීමට දායකවූ මිනිස් ප්‍රජාව තාමත් නොනැසී ජීවත් වුනත් දේශගුණ විපර්යාසයේ අනිටු ප්‍රතිපල වලින් ඔවුන්ටත් නිමක් නොමැතිව බැට කෑමට සිදු වෙලා.

දේශගුණ විපර්යාසය මිහිතලයේ ජීවත්වෙන සෑම සියලු ජීවියෙකුටම ඇති මූලික ජීවන අභියෝගය බව තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැහැ. ඊට මුහුණදීම සඳහා අද දවසේ අප දරණු ලබන සාමුහික ප්‍රයත්නයන් ඔබගේත් මගේත් හෙට දවස තීරණය කරනු ඇති. ඒ අතින් බැලූ විට මිහිතලයේ වැසියන්ට තමන්ගේ අනාගත පැවැත්ම තීරණය කිරීමට ග්ලාස්ගොව් සැසි වාරය ඉතා වැදගත්. ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේ පැවැත්වූ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 21 වැනි සැසි වාරයෙන් පසු ඉතා වැදගත්ම සැසි වාරයක් ලෙස මෙම ග්ලාස්ගොව් සැසි වාරය හඳුන්වන්න පුළුවන්. පැරිස් එකඟතා අනුව සම්මුතියේ පාර්ශ්වකරුවන් තමන් විසින් දේශගුණ විපර්යාස අවමකිරීම සහ අනුහුරුවීම සඳහා සකස් කර ඉදිරිපත්කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදුකළ යුතුයි. 2020 අවුරුද්දේ සැසි වාරය නොපැවැත්වුණු නිසා ඒ යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් ප්‍රථම වරට සම්මුතිගත කිරීම සිදු වන්නේ මෙම අවුරුද්දේදී.

මිනිසුන් ඇතුළු මුළු මහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ යහතින් ජීවත්වීමට අවශ්‍ය නම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේ වත් පවත්වාගෙන යාමේ ඉලක්ක 2025 හෝ 2030 වන විට සපුරාලීම අනිවාර්යයි. ඒ සඳහා දේශගුණ විපර්යාසයට එරෙහිව පියවර ගැනීමට ගිවිසුමට අත්සන් තැබූ සියලුම රටවල් කැපවිය යුතුයි. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයත් 2021 ජූලි මාසයේ යාවත්කාලීන කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුති ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා.

දේශගුණික විපර්යාසයේ අහිතකර බලපෑම් හේතුවෙන් දැඩි අවධානමකට ලක්වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ කෘෂිකර්ම, ධීවර, පශු සම්පත්, සෞඛ්‍ය, ජලය, ජෛව විවිධත්වය, වෙරළ සහ සාගර, සංචාරක, නාගරික සැලසුම් සහ මානව ජනාවාස යන අංශයන්හි ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. 2030 වන විට මෙරට වනාන්තර ප්‍රතිශතය 32% දක්වා ඉහළ නැංවීමට සහ 2021-2030 කාලසීමාව තුල බලශක්ති (විදුලි උත්පාදනය), ප්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර සහ කෘෂිකර්ම යන අංශ වලින් හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව තම යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් මගින් ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව සිය කාබන් විමෝචනය ශුන්‍ය කරගැනීමේ ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 අවුරුද්දේදී.

කතාවට එහෙම කිව්වත් ඒ හරිතාගාර වායු විමෝචන අවමකිරීමේ සහ හඳුනාගත් ක්ෂේත්‍රවල අනුහුරුවීම් ප්‍රවර්ධනය කිරීමේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සැබෑ කැපවීමකින් කටයුතු කරනවාද කියන එක ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් වන ආවරණය ඉහළ නැංවීම ගැන කතා කලත් අද දවසේ අපේ රටේ සිදුකරන වන විනාශය 2030 අවුරුද්ද වෙනකොට මෙරට වනගහනය 32% දක්වා ඉහළ දැමීමට පරස්පරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සම්බන්දයෙන් මෙවැනි නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙරට ජනතාවද ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ අගයක බව නොඅනුමානයි. තමන් විඳින පීඩාවන් බොහොමයක් දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකාවේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ අඩියක නිසා. නමුත් ඒ ජනතාව තුල දේශගුණ විපර්යාසය කෙරෙහි ඇති දැනුම සහ ආකල්ප ඉහළ නැංවීමට අප කටයුතු කලොත් ඔවුන් නොපමාව දේශගුණ විපර්යාසය ආපසු හැරවීමේ අරගලයට එකතු වේවි. ඒ දවස ඉක්මණින් ළඟාකර ගැනීම මේ සමස්ත මිහිතලයේම පැවැත්මට ගුණදායක වේවි.

Comments

Popular posts from this blog