අලි අඳෝනා

© https://www.hirunews.lk

(2019 10 07 දින)

පසුගිය සතිය දෙක තුල අපේ රටේ අලි සම්පත ගැන අහන්න දකින්න ලැබුණේ සතුටුදායක ප්‍රවෘත්ති නොවෙයි. රටේ සමාජයේ දැඩි කතාබහක් ඇතිකිරීමට සමත්වුණු අලි මරණ ගණනාවක් ඊට ඇතුලත් වුණා. දේශපාලන වේදිකාවලත් මෙම සිදුවීම් සමහරක් ඈඳාගනිමින් ජනාධිපතිධූර අපේක්ෂකයින්ට පවා ඇඟිල්ල දිගුකරන ආකාරය දකින්න ලැබුණා. ඊට වන අලින් වාගේම හීලෑ අලිනුත් මාතෘකා වී තිබූ නිසා අපේ රටේ මහජන මුදලින් යැපෙන මෙම අලි දෙකොටස සම්බන්ධයෙන්ම වගකීම් දරණ ආයතන දෙපාර්තමේන්තු වල පාලක කාරකාදීන්ට එමගින් ගැලවීමක් නැහැ. නමුත් ලැයිස්තු දිගුවීම හැරුණුකොට මේ අලි මරණ වලට කිසිම ආකාරයක සාධාරණයක් ඉටුකරන්න බලධාරීන් සමත්ද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම මේ හැම සිදුවීමක්ම හුදෙකලා අහඹු සිදුවීම් නොවන බවත් ඒවා කලක සිට පවතින බලධාරීන්ගේ අසමත්කමට තවත් සාක්ෂි සැපයීමක් පමණක් බවත් අභයභූමියේ සිටලියූ ලිපි කියවපු හිතවත් පාඨක ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. 

එයින් පළමු සිදුවීම පහුගිය සැප්තැම්බර් 27 වැනිදා උදෑසන හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ තිබී මියගිය අලියෙකුගේ සිරුරක් හමුවීම වුනත් එම ඛේදවාචකය කෙළවර වුනේ අදාළ ප්‍රදේශය තදාසන්නව මියගිය අලින් හත් දෙනෙකුගේ සිරුරු හමුවීමෙන්. එම සතුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳව විවිධ පරස්පර කතා පැතිර ගියත් මියගිය අලින් අතර ගැබ්බර ඇතින්නන් කිහිපදෙනෙක් සිටි බව දැනගන්නට ලැබුණා. මෙම අකල් මරණ වලට හේතුව මෙම සටහන ලියන දවස වනවිටත් අභිරහසක්. මේ අතරම මෙම සිදුවීම වාර්තාවූ ප්‍රදේශයට නුදුරින් හබරණ ආසිරිගම ගම්මානයේදීත් වෙඩි තබා ඝාතනයකර තිබූ අලියෙකුගේ සිරුරක් සැප්තැම්බර් 30 වැනිදා හමුවී තිබුණා.

මීට අමතරව මිනිස් වෙස් ගත් නරුමයින්ගේ දහසකුත් එකක් වධ බන්ධන වලට ලක්වූ තිස්සමහාරාම රාජමහා විහාරයේ භාරකාරීත්වයේ සිටි තිස්ස සමන්නමැති අලියාත් පහුගිය සැප්තැම්බර් 29 වැනිදා අවසන් හුස්ම හෙළුවා. ඒ පින්නවල අලි අනාථාගාරයේ ප්‍රතිකාර ලබමින් සිටයදී. පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබමින් සිටි එවකට අවුරුදු 12ක් පමණ වයසැතිසමන්තිස්සමහාරාම රාජමහා විහාරයේ භාරකාරීත්වයට පැවරෙන්නේ 1979 අවුරුද්දේදී.  එතැන් සිට තිස්ස සමන්ලෙස නම් කෙරෙන මෙම හස්තියා තම ජීවිතයේ ගෙවා දැමූ අවාසනාවන්තම කාල පරිච්ඡේදය මෙසේ නිමා කර දමන්නේ ඇත්ගොව්වන් කිහිපදෙනෙකුගේම මරණවලටත් වගකිවයුත්තා බවට පත්වෙමින්. 2018 අවුරුද්දේ දවසකත් තිස්ස සමන්ගේ පහරදීමකින් ඇත් ගොව්වකු මරණයට පත්වීමෙන් පසුව අමානුෂික වධ බන්ධන වලට ලක්කර රත්නපුර, ඇලපාත ප්‍රදේශයේ වත්තක හොර රහසේ සඟවා තබා සිටියදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු බලධාරීන් විසින් මෙම හස්තියා සොයා ගනු ලැබුවා. එතැන් සිට පින්නවල අලි අනාථාගාරයේ ප්‍රතිකාර ලැබූ මොහු මෙසේ අකාලයේ මරණයට පත්වුණේ පනස් දෙහැවිරිදි වියේදී.

නමුත් මේ සිදුවීම් සියල්ලම හුදෙකලා අහඹු සිදුවීම් නොවන බවත්, තමන් විසින්ම නඩත්තු කරන පාලක කාරකාදීන්ගේ අසමත්කම මීට හේතුවී ඇති බවත් මේ සිදුවීම් වලින් කම්පාවට පත්ව සිටින ලක් වැසියන් සියළු දෙනා තරයේ සිහිතබාගත යුතුයි. ආණ්ඩුවේ විගණකාධිපති විසින් 2012 – 2016 කාලසීමාව තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් පලකළ වාර්තාවක් උපුටා දක්වමින් අපේ රටේ සිදුවන හස්ති ඝාතන වලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයකට කිසිඳු සාධාරණයක් ඉටුවී නොමැති බව ඉකුත් අප්‍රේල් මාසයේදී අභයභූමියේ සිට ලියුම්කරු පෙන්වා දුන්නා. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ සම්බන්ධ විමර්ශන සිදුකර වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලධාරීන් දක්වන අසමත්කම බව ලියුම්කරු අවධාරණය කළා.

පහුගිය දවසක මුව මස් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත්කර දඬුවම් ලබාදීමට මැදිහත්වූ වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනතේ බලයලත් නිලධාරී මහතෙකු ප්‍රකාශකර තිබුණේ අදාල මස් ප්‍රමාණය විත්තිකරු විසින් මුදල් දී ලබාගෙන තිබූ බවත් ඊට කිසිවෙකුත් හවුල්වී තිබූ බව විමර්ෂණවලදී අනාවරණය නොවුණු බවත්. මුව මස් මිලදීගත් පුද්ගලයාට පමණක් දඬුවම්දී සෑහීමට පත්වන තත්ත්වයකට එවැනි බිම් මට්ටමේ නිලධාරීන් පත්වී ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ සිදුවන සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඩලීම ගැන කතාකිරීම විහිළුවක් වෙන්නත් පුළුවන්.

හබරණ හිරිවඩුන්නේ හස්ති මරණ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේදීත් බලධාරීන් එම අසමත්කමම ප්‍රකට කළහොත් එම මරණ සහ මින් පෙර සිදුවූ හස්ති ඝාතන අතර වෙනස වන්නේ ආසන්න ස්ථානවල අලි හත්දෙනෙකු එකට මියයාම පමණක් බවයි ලියුම්කරුගේ වැටහීම. නමුත් දැන්වත් සූක්ෂම හා සංවිධානාත්මක වනජීවී අපරාධ මැඩලීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් ප්‍රමාණවත් අවධානයක් යොමුකරනවා නම් ඉදිරියේදී හෝ මෙවැනි අහස පොළොව නූහුලන වනජීවී අපරාධ මේ පොළොව මත සිදුවීම පාලනය කරගැනීමට හැකියාව ඇති බවත් උදක්ම සඳහන් කලයුතුයි.

ඒ වගේමතිස්ස සමන්මරණයට පත්වෙන්නේත් ටිකිරිලාගේ ශෝකාන්තයපිළිබඳව ලියුම්කරු අභයභූමියේ සිට ලියා වැඩි කලක් යන්නට මත්තෙන් බව නොකිවමනායි (2019 අගෝස්තු 19 අභයභූමියේ සිට මේ පිළිබඳව සාකච්ඡා කළෙමි). මේ ආකාරයට ගෘහාශ්‍රිතව රඳවාගෙන සිටින අලි ඇතුන්ගේ ආහාර හා පෝෂණය වගේම සෞඛ්‍ය හා සුබසාධනය සම්බන්ධව සොයාබැලීමට කිසිඳු නියාමන ආයතනයක් මැදිහත් නොවන සහ සත්ව සුභසාධනය සම්බන්ධයෙන් යාවත්කාලීන නීතිමය ප්‍රතිපාදන නොමැති පසුබිමක මේවැනි අවාසනාවන්ත සිදුවීම් නොවැලැක්වියහැකි බවත් ලියුම්කරු අවධාරණය කළා.

එබැවින් හබරණ ඇතින්නියන්ගේ හෝ තිස්ස සමන්ලාගේ අකල් මරණ හුදෙකලා අහඹු සිදුවීම් යැයි ඔබට මට හිත හදාගන්න පුළුවන්ද? මේ සියළු අලි අදෝනා අපගේ බදු මුදලින් යැපෙන පාලක කාරකාදීන්ගේ අසමත්කමේ අවාසනාවන්ත ප්‍රතිපල බව අප දැන්වත් වටහාගත යුතු නැද්ද?

Comments

Popular posts from this blog