වැසෙන කවුළුව

©https://www.unep.org

(2022 04 05 දින)

තැටිය හොඳටම රත්වී තිබුණත් කාටවත් වගේ වගක් නැති ගානයි. රට ඇතුලේ ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී තව තව පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී තිබෙනවා. ඒ අතර පැය හය හතක් විදුලිය නොමැති කම නිසා ජරමර. ඒ අතර රුසියා - යුක්‍රේන යුද්ධයත් ඇවිලෙනවා. ඉතින් දේශීය වශයෙනුත් අපිට අර්බුද ගොඩක්. ඒ වගේම අන්තර්ජාතික වශයෙනුත් අර්බුද ගොඩක්. ඒ නිසා අපිට මේ මුළු මිහිතලයේම පැවැත්මට අභියෝගයක් වෙලා තියෙන ගෝලීය අර්බුදය ගැන හිතන්න වෙලාවක් නෑ වගේ. නමුත් ඒ ගෝලීය අර්බුදය, එහෙමත් නැත්නම් දේශගුණික විපර්යාසය අපි හිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් ඉන්න බව පසුගියදා සාක්ෂි සාධක සහිතව විද්‍යාත්මකව අනාවරණය වුණා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (Intergovernmental Panel on Climate Change - IPCC) ක්‍රියාකාරී කණ්ඩායම් අංක දෙක මගින් පහුගිය පෙබරවාරි 28 වැනිදා නිකුත් කරපු දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ ප්‍රයෝගික විසඳුම් ඉස්මතු කරමින් නිකුත් කරපු නවතම වාර්තාව මගින්.

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් 270 කගෙන් සමන්විත මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාවේ සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවත් පියවර ගැනීමට ඇති කවුළුව වේගයෙන් වැසෙන බවත්. ඒ නිසා මෙම වාර්තාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්ට දැඩි ලෙස බලකර සිටිනවා. නමුත් ලියුම්කරු ඉහත සඳහන් කරපු හේතු නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙම වාර්තාව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වුණාද කියන එක සැකයි.

මිහිතලයේ ජීවත්වෙන මිනිසා ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මුහුණදීමට සිදුවී ඇති ගෝලීය අභියෝගය දේශගුණික විපර්යාසයයි. එය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් එහෙමයි. දේශගුණික විපර්යාසයේ බලපෑම් වලින් මේ පෘථිවි ගෝලයට දැනට සිදුවී ඇති සහ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනයන් සමග සලකා බලන විට, රුසියා - යුක්‍රේන යුද්ධයට ඊට අලගු තියන්නත් බැහැ. ඉතින් අපේ රටේ ප්‍රශ්න ගැන කවර කතාද? නමුත් අපිට තාමත් ඒ ගැන වගේ වගක් නැහැ. ඊට හේතුව අපේ දේශගුණික සාක්ෂරතාවයේ දොසක් මිස දේශගුණික විපර්යාසය බොරුවක් වීම නොවෙයි. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාලු වෙද්දී, වනජීවී - මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මිනිස්සුන්ට ඒ බව නොදැනෙනවා නෙවෙයි. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් කියන දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට ඇත්තේ නැහැ.

පසුගියදා නිකුත්වූ නවතම වාර්තාවේ තක්සේරුවට අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බොහෝ බලපෑම් දැන් ‘ආපසු හැරවිය නොහැකි’ බවයි දැක්වෙන්නේ. නමුත් එම වාර්තාවේ කතුවරුන් පවසන්නේ සිදුවිය හැකි මහා ව්‍යසනයන් වළක්වා ගැනීමට තවමත් කෙටි කාලයක් ඉතිරිව පවතින බවයි. මිනිසුන් සහ ස්වභාවධර්මය දේශගුණික විපර්යාස වල බලපෑම් වලට අනුහුරුවීමේ හැකියාවෙන් ඔබ්බට තල්ලු වෙමිනුයි සිටින්නේ. ලෝක ජනගහනයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දේශගුණික විපර්යාසයේ බලපෑම්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බවයි මෙම අඳුරු අධ්‍යයනයෙන් හෙළිවී තිබෙන්නේ. නමුත් දැනට සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩුවෙන් තබා ගතහොත් එමගින් පුරෝකථනය කර ඇති අනතුරු අඩු කරගත හැකිවෙයි කියලා තවමත් බලාපොරොත්තුවක් තිබෙනවා.

මෙම වාර්තාව ඇත්තෙන්ම ලොව ප්‍රමුඛතම දේශගුණ පර්යේෂකයන්ගේ සමාලෝචන වාර්තා තුනෙන් දෙවැන්නයි. ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී, පළමු වාර්තාවෙන් දේශගුණ පද්ධතියට මිනිසුන් විසින් ඇති කරන බලපෑමේ පරිමාණය ඉස්මතු කරනු ලැබුවා. මෙම දෙවැනි වාර්තාවේ අරමුණ දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ විසඳුම් දෙස බැලීමයි. එමගින් උණුසුම් ලෝකයක් මගින් මෙම පෘථිවියේ සියලුම ජීවීන්ට බලපෑම් එල්ලවන ආකාරය පිළිබඳ පැහැදිලිම අනාවරණය සිදු කරනවා. උණුසුම් වායු ධාරා හේතුවෙන් මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම වැනි ලෝකය දැනටමත් අත්විඳිමින් සිටින දරුණු ප්‍රතිවිපාක පිළිබඳ කරුණු දක්වනවා. ගංවතුර සහ උණුසුම් වායු ධාරා වැනි දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වූ ආන්තික කාලගුණික තත්ත්වයන් පෙර තක්සේරු කිරීම්වලට වඩා දරුණු ආකාරයෙන් මිනිසුන්ට සහ අනෙකුත් ජීවී විශේෂවලට පහර දෙන බව පෙන්වා දෙනවා. සෑම කෙනෙකුම එම පීඩාවන්ට පත් වුනත්, සමහරුන්ට වඩා දැඩි ලෙස පහර කෑමට සිදුවී තිබෙනවා. මෙම ප්‍රතිපලය බොහෝ දුරට රඳා පවතින්නේ ජීවත් වන ස්ථානය මතයි. උදාහරණයක් වශයෙන් 2010 සහ 2020 අතර, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා අප්‍රිකාව, දකුණු ආසියාව සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාව ඇතුළු ඉතා අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ගංවතුර, නියඟ සහ කුණාටු හේතුවෙන් 15 ගුණයකින් වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. වර්තමාන උණුසුම් මට්ටම ස්වභාවධර්මයටත් දැනටමත් බරපතල ආකාරයෙන් දැනෙමින් තිබෙනවා. සාගර උෂ්ණත්වය ඉහළ යාමෙන් කොරල්පර මිය යමින් පවතින අතර බොහෝ ගස් නියඟයට ගොදුරු වෙමින් තිබෙනවා.

ලෝකයට හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි නම්, එමගින් යම් ව්‍යසන ප්‍රමාණයකට අගුලු දැමීමට හැකියි. නමුත් සාමූහික ගෝලීය ක්‍රියාකාරීත්වයේ තවදුරටත් සිදුවන සෑම ප්‍රමාදයක්ම සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳව තබාගත හැකි පුංචිම පුංචි බලාපොරොත්තුවත් වේගයෙන් අපට අහිමි කරනු ඇති බව අවසන් වශයෙන් අවධාරණයෙන් ලියාතැබිය යුතුයි.

Comments

Popular posts from this blog