අවසන් ආරක්ෂක වළල්ල

 © https://www.globalwitness.org/en/campaigns/environmental-activists/last-line-defence/

(2021 10 12 දින)

මේ සැරේ ලියුම්කරු කියන්න යන්නේ පරිසර සංහාරයට එරෙහිව අරගලය තම ජීවන අරමුණ කරගත් නිරායුධ සටන්කාමීන් පිරිසකගෙන් තැනුණු ආරක්ෂක වළල්ලක් පිළිබඳ කතාවක්. ඔවුන්ගේ ලේ, දහදිය, කඳුළු සහ ජීවන හුස්ම පොදෙන් තැනුණු ආරක්ෂක වළල්ලක් පිළිබඳ කතාවක්.

එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් Global Witness නම් සංවිධානය 2012 අවුරුද්දේ සිට ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින් ඝාතනය කිරීම් පිළිබඳ දත්ත රැස් කරමින් සිටිනවා. එම කාලය තුළ දේශගුණික අර්බුදය උත්සන්න වීම පිළිබඳවත් අවධානය යොමු වුණා. තම භූමිය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගන්නට අරගල කරන අයට එරෙහි ප්‍රචණ්ඩත්වතයත් ඒ සමගම වැඩි වන බව ඔවුන්ගේ අදහසයි. සීමාවක් නොමැති සූරාකෑම සහ කෑදරකම විසින් මෙහෙයවන දේශගුණික අර්බුදය ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයද අවුළුවන බව පැහැදිලිව පෙනීයන කරුණක්. දේශගුණික අර්බුදය මානව වර්ගයාට එරෙහි අර්බුදයක් වීමට එයත් එක් හේතුවක්.

Global Witness සංවිධානය විසින් ඉකුත් සැප්තැම්බර මාසයේ නිකුත් කෙරුණු නවතම වාර්තාවකට අනුව 2020 අවුරුද්දේ දී ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාර සංඛ්‍යාව 227 ක්. එම වාර්තාව නම්කර ඇත්තේ ‘Last Line of Defence’ යනුවෙන්. ඊට ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරීන්, ප්‍රජා නායකයින්, ආදිවාසීන් වගේම බිම් මට්ටමේ රජයේ නිලධාරීනුත් අයත්. වාර්තාවට අනුව මිහිතලයේ සොබා උරුමයන් රැකගැනීමට කැපවූ වීර දූපුතුන් හතර දෙනෙකුට වඩා සාමාන්‍යයෙන් සතියකට මරා දමා තිබෙනවා. ඒ අනුව ජෛව විවිධත්ව සංරක්ෂණයට හා දේශගුණික විපර්යාස අවමකර ගැනීමට අත්‍යවශ්‍ය වන තම වාසභූමි, ඉඩම්, ජීවනෝපායයන් සහ පරිසර පද්ධති ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැපවුණු මිනිසුන්ට ඉතිහාසයේ අනතුරුදායකම අවුරුද්දක් බවට පහුගිය අවුරුද්ද පත්වී තිබෙනවා. වෙන කවරදාටත් වඩා මෙම මාරක ප්‍රහාර එල්ල වන්නේ මෙකී ආරක්ෂකයින් බිය ගැන්වීම, නිරීක්‍ෂණය කිරීම, ලිංගික හිංසනය සහ අපරාධකරණය ඇතුළු පුළුල් පරාසයක පැතිරුණු තර්ජන ගර්ජන වලට අමතරවයි. තවද මෙම සංඛ්‍යා බොහෝ දුරට අඩු තක්සේරුවක් විය හැකි අතර බොහෝ ප්‍රහාර වාර්තා නොවීමට ඇති ඉඩ වැඩියි.

ශ්‍රී ලංකාවේ වගේම ලොව පුරා විවිධ රටවල ගහකොළ, සතා සිව්පාවුන්, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසාර ආකාරයට පරිභෝජනය කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති අනපනත් සැකසීම, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයන් සකස් කිරීම දේශපාලකයින්ගේ රාජකාරියක්. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයිනුත් තම දායකත්වය සපයනවා. තවද එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන වල නිලධාරී පන්තියක් සිටිනවා. මේ සියලුම දෙනා නඩත්තු වෙන්නේ ඒ ඒ රටවල ජනතාව කෑමට ගන්නා හාල් ඇටයේ, පරිප්පු ඇටයේ ඉඳලා හැම භාණ්ඩ හා සේවාවකටම බදු ගහලා රාජ්‍ය භාණ්ඩාගාර පුරවන සල්ලි වලින්. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් තමයි මේ සොබාදහමේ දායාදයන් ආරක්ෂා කරගන්න, සංරක්ෂණය කරගන්න ඇපකැප විය යුත්තේ. නමුත් ඔවුන් ඒ වෙනුවට සිදුකරන්නේ බලවත් දේශපාලුවන්, ධනවත් ව්‍යාපාරිකයන් සහ කොම්පැණිකරුවන් වගේම ආණ්ඩු විසින්ම මේ උරුමයන් වනසද්දී මුනිවත රැකීම. එහෙත් එම විනාශයන් දැක නිහඬව සිටීමට නොහැකි ගම්බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සිටින ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින් ඊට එරෙහිව සටන් කරනවා. ඔවුන් තමයි එම ස්වභාවික සම්පත්වල අවසන් ආරක්ෂක වළල්ල. ඒ ආරක්ෂක බැම්ම බිඳ දමාගත් විට විනාශකාරීනට සම්පත් වනසමින් තම පටු සහ අවස්ථාවාදී අරමුණු ඉටුකර ගන්න කිසිම බාධාවක් නැහැ. ඒ සඳහා ඔවුන් අදාළ ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ගේ ජීවිත පවා බිලිගැනීමට පසුබට වන්නේ නැහැ. තවද විවිධ ප්‍රදේශවල වන අපරාධ වල නිරත දැව ජාවාරම්කරුවන්, දඩයක්කරුවන්, වැලි-පස් ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධී වගාකරුවන්ද මෙම ඝාතන වලට සම්බන්දයි.

ගිය අවුරුද්දේ ලොව මෙවැනි ඝාතන වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ කොලොම්බියාවේ වන අතර එම ගණන 65ක්. 2019 අවුරුද්දෙත් මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියේ කොලොම්බියාවම තමයි. මේ අවුරුද්දේ දෙවැනි වැඩිම ඝාතන වාර්තාවන මෙක්සිකෝවේ (ඝාතන 30) එම සංඛ්‍යාව ඉකුත් 2019 අවුරුද්දට වඩා 67% ක වැඩි වීමක් පෙන්නුම් කරනවා. තෙවැනි ස්ථානයේ පසුවන පිලිපීනයේ (ඝාතන 29) 2016 – 2020 කාලසීමාව තුල මරා දමා ඇති පරිසර ආරක්ෂකයින් ගණන 166ක්. බ්‍රසීලය (ඝාතන 20), හොන්ඩුරාස් (ඝාතන 17), කොංගෝ (ඝාතන 15), ගෝතමාලාව (ඝාතන 13) සහ නිකරගුවාව (ඝාතන 12) යන රටවල් මීට අමතරව ලේ වැකුණු රටවල් අතර ඉහළින්ම සිටිනවා. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවී ඇති ඝාතන ගණන හතරක්. තවද ඒ අවුරුද්දේ අප්‍රේල් 23 වැනිදා ගල්ඔය ජාතික උද්‍යානයේදී දඩයක්කරුවෙකුගේ වෙඩි පහරකින්  මියගිය වනජීවී අඩවි ආරක්ෂක සේනාධීර ප්‍රදීප් බණ්ඩාර මහතාගේ ඝාතනය ශ්‍රී ලංකාව සොබාදහමේ රැකවුලුන් මරා දැමුණු රටවල් ලයිස්තුවට ඇතුලත්කර තිබෙනවා. පරිසරයට ආදරය කරන මිනිසුන් විසින් අකාලයේ තම අවසන් හුස්ම පොද වා තලයට මුසුකල සමස්ථ රටවල් ගණන 22ක්.

වැඩිම පිරිසක් ඝාතනවී ඇත්තේ වන විනාශයන්ට එරෙහි වීම හේතුවෙන් (ඝාතන 23). තවද ජල අයිතිය වෙනුවෙන් අරගල කිරීම නිසා, ඛණිජ සම්පත් රැකගැනීම වෙනුවෙන් අරගල කිරීම නිසා, නීති විරෝධී වගාවන්ට එරෙහි වීම නිසා, විනාශකාරී කෘෂි ව්‍යාපෘතිවලට විරුද්ධ වීම නිසා, අයහපත් ඉඩම් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම නිසා, දඩයමට විරුද්ධ වීම නිසා, හානිකර මාර්ග ඉදිකිරීම් වලට විරුද්ධ වීම නිසා සහ ධීවර සම්පත් රැකගැනීමට අරගල කිරීම නිසා ලොව පුරා ඉඩම් සහ පාරිසරික ආරක්ෂකයින්ගේ ජීවිත අකාලයේ අහිමිවී තිබෙනවා. ඒ අතරින් තුනෙන් එකකට වඩා ඉලක්කවී ඇත්තේ ආදිවාසීන් වෙත වීමත් විශේෂ කරුණක්. ඒ අවුරුද්දේ වාර්තාවූ ක්‍රියාකාරීන් සමූලඝාතනය හතෙන් පහකටම ගොදුරුවී ඇත්තේද ඔවුන්.

අද දවසේ අප හුස්ම ගන්නා වාතය, පාරිභෝජනය කරන ජලය සහ ජීවත්වෙන පරිසරය අපට ඉතිරිකර අප වෙනුවෙන් මරණය තෝරාගත් ඒ මහා වීරයින් සහ වීරවරියන්ගේ දෙපා මත තමන්ගේ ශීර්ෂය තබා ලියුම්කරු ඔවුන්ට ආචාර කරනවා!

Comments

Popular posts from this blog