නිහඬ මාරයා සඟවා තැබීම

© https://www.ft.lk/

(2019 06 10 දින)

සෑම අවුරුද්දකම ජූනි මාසේ පස්වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ මෙවර තේමාව හැටියට යොදාගෙන තිබුනෙවායු දුෂණය’. ලෝකය පුරා නගර ගම් දනව් සිසාරා පුනර්ජනනීය බලශක්තීන් සහ හරිත තාක්ෂණයන් ගවේෂණය කිරීම හා වායුගෝලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම තුලින් වායු දුෂණයට වැට බැඳීමට ආණ්ඩු වලට, කර්මාන්ත වලට, ප්‍රජාවන්ට සහ පුද්ගලයින්ට එක්වන ලෙසට මෙවර පරිසර දිනය විසින් බලකෙරුනා. නමුත් අපේ රටේ තක්කඩි පරිසර බලධාරීන් මේ නිහඬ මාරයා තවදුරටත් ලක් වැසියන්ගෙන් වසන්කර තබාගෙන තමන්ගේ අමන අරමුණු ඉටුකරගන්න ඉතා සාර්ථක සැලැස්මක් දියත්කලා. පරිසර සංරක්ෂණය ගැන කතා කරද්දීකෝකටත් තෛලය වන වනාන්තර විනාශය වායු දුෂණයට ඈඳලාතිරසර වන කළමනාකරණය මගින් වායු දූෂණය දුරලමුකියලා ව්‍යාජ තේමාවක් හදලා ජනාධිපතිවරයාවත් රැවැට්ටුවා. ඒකෙ අන්තිම ප්‍රතිපලය වුනේ වායු දුෂණය සම්බන්ධ අත්‍යාවශ්‍ය ගැඹුරු කථිකාව ජංගම දැව ඉරුම් පට්ට්ටල් තහනමකට ලඝුවීම පමණයි. කෙසේ නමුත් මෙම නිහඬ මාරයා ගැන ජනතාවගේ අවධානය යොමුකරවීමට මේ ලැබුණු අවස්ථාව මග නොහැරියයුතු නිසා මෙවර ඒ ගැන ලියන්න හිතුවා.

 

වායු දුෂණය ගැන කියපු ගමන්ම බොහෝදෙනෙකුට මතක් වෙන්නේ විශාල දුම් රොටු අහසට නගන සුවිසල් කර්මාන්ත ශාලා. ලංකාවේ අයට නම් පරණ ලංගම බස් රථත් මතක් වෙන්න පුළුවන්. ඒත් මේ වචන දෙක ඇහෙද්දී ලියුම්කරුට මැවිලා පෙනෙන්නේ ගාල්ල, බෝගහගොඩ දොරපේ ඉස්කෝලේ පුංචි දරු පැටවූ. දිවයිනේ ප්‍රකට දේශීයපාවහන් සමාගමකට අයිති පරණ ටයර් මගින් රබර් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවකින් සිදුවූ වායු දුෂණය නිසා පාසැල තුලදීම නොයෙකුත් රෝගාබාධ වලට ලක්වෙලා රෝහල්ගත වෙන්නට සිදුවෙන මේ දරු පැටවුන්ටලඟම පාසලවධකාගාරයක් වෙලා අවුරුදු ගණනාවක් ගෙවිලත් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න අපට තවමත් බැරිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවේ තීන්දුව (ප්‍රකාශයට පත්කරන්න මහේස්ත්‍රාත්වරයා අකැමැත්ත පල නොකලොත්) එළැඹෙන ජූනි 14 වැනිදා ලබාදෙන්න නියමිත නිසා ඒ ගැන මේ මොහොතේ වැඩි යමක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

 

මෙවැනි කර්මාන්තශාලා සහ රථවාහන ආදීය මගින් දුෂණය කරන බාහිර වායුගෝලය පිරිසිඳු කිරීමට ඇති වනාන්තරත් විනාශ කිරීමෙන් තත්ත්වය තවත් දරුණු අතට හැරෙනවා. මේ ගැන අපි යම්කිසි උනන්දුවක් දැක්වුවත් අප නොදැනීම අපගේ නිවෙස් ඇතුලේදීත් අපගේ හුස්ම පොද  දුෂණය කරන අපේම කටයුතු ගැන අපට නිසි අවබෝධයක් නැති තරම්. අප නිතර දෙවේලේ භාවිතා කරන හඳුන්කූරු සහ මදුරු දඟර දුම්, සුවඳ විලවුන් වගේම අපි නිවෙස් තුල හෝ වත්තේ පිටියේ පුළුස්සා දමන ප්ලාස්ටික්, පොලිතින් අපද්‍රවය මගින් වායු දුෂණයට ලබාදෙන දායකත්වයත් සුළු පටු නැහැ. ඒ වගේම නිවාස සහ වැඩබිම්වල දුම්කොළ දුම් උරන පිරිසත් තමන් විසින් ස්වේච්ඡාවෙන්ම මරුට අත වනන අතරතුර මේ සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදෙනවා.

 

අපට පෙනෙන්න දකින්න ලැබෙන්නේ නැති නිසා අපි දක්වන සැලකිල්ලත් අඩු වුනාට වායු දුෂණය හැම අවුරුද්දකම ලොව පුරා මිනිසුන් මිලියන හතක් අකාලයේ මරා දමනවා. ඒ වගේම මෙම මරණ වලින් මිලියන හතරකටම ගොදුරු වෙන්නේ අපිත් අයිති ආසියා පැසිෆික් කලාපයේ රටවල්වල මිනිසුන්. ලොව පුරා ජීවත්වෙන මිනිසුන්ගෙන් සියයට 92 කටම පිරිසිදු වාතය හුස්ම ගැනීමට ඇති ඉඩ වායු දුෂණය මගින් අහුරා දමා තිබෙනවා. මෙමගින් වැළඳෙන හුස්ම ගැනීමේ අපහසුතා, ස්නායු දුර්වලතා මෙන්ම පෙනහළු පිළිකා වැනි රෝග තත්ත්වයන් රැසක් ලොව පුරා ජනතාවට දැඩි ජීවිත තර්ජන එල්ලකරමින් පවතිනවා. වායු දුෂණයට එදිරිව සමාජ සුභසාධන පිරිවැය වශයෙන් සෑම අවුරුද්දකම ඩොලර් ට්‍රිලියන 5ක් වියදම් කරන්න ලෝක ආර්ථිකයට සිදුවෙලා. ඒ වගේම සමස්ථ මිහිතලයේම ජීවීන්ගේ පැවැත්මට අභියෝගයක් වෙලා තියෙන දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමටත් වායු දුෂණය ප්‍රධාන වශයෙන් බලපානවා. එමගින් ලෝකයේ බලපෑමට ලක් නොවන ක්ෂේත්‍රයක් නැති නිසා වායු දුෂණයේ බිහිසුණුබව තවත් විස්තර කිරීම අවශ්‍ය නැහැ.

 

ශ්‍රී ලංකාවේ වායු දුෂණය ගැන කතා කරද්දී නිතැතින්ම සිහියට නැගෙන්නේ මහනුවර. ඒ වගේම අගනුවර සහ දිවයිනේ සියළුම ප්‍රධාන නගර මේ වනවිට වායු දුෂණයේ ගොදුරු බවට පත්වෙලා අවසන්. දිවයිනේ රෝහල් වලට ඇතුලත්වන දරුවන්ගෙන් හරි අඩක් පමණම වායු දුෂණය නිසා හටගන්නා රෝගාබාධ වලින් පෙළෙන බවත් අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා රටක් හැටියට අපිත් මෙම අවාසනාවන්ත තත්ත්වය වළක්වන්න කෙටි, මධ්‍ය සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග වලට යෑම තවත් ප්‍රමාධ කලයුතු නැහැ. නමුත් රටක් වශයෙන් අපි ඊට දක්වන උනන්දුව ප්‍රෝඩාකාරී සහ පසුගාමී එකක්. 2009 අවුරුද්දේ සිට මෙරට ක්‍රියාත්මකවෙනදුම් සහතිකවැඩසටහන ඊට කදිම නිදසුනක්. මෙය ඉතා දූෂිත හා ප්‍රායෝගික නොවන ප්‍රෝඩාවක් බවට අපේ රටේ සියළුම රියදුරන් සාක්ෂි දරනු ඇති. එමගින් ප්‍රතිලාභ ලැබුණේ ඉකුත් රාජපක්ෂ පාලන සමයේ අන්ත දූෂිත පරිසර ඇමතිවරුන්ට හා ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා දුන් ව්‍යාපාරිකයින්ට පමණක් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්. මෙවර පරිසර දිනයේදීත් මේ නිහඬ මාරයා තවදුරටත් අපේ රටේ ජනතාවගෙන් සඟවා තබන්න තුප්පහි නිලධාරීන් කටයුතුකලේ එම ප්‍රෝඩාකාරී සහ පසුගාමී පිළිවෙත ඉදිරියටත් ගෙනයමින්.


ඒ නිසා උන් ගැන විශ්වාසය නොතබා අපේ හුස්ම පොද රැකගන්න අපිම කැපවෙන්න ඕනෑ. ඔබ එක් මොහොතකට හුස්ම නොගෙන සිටින්නට උත්සාහ කරන්න, ඔබට එසේ කිරීමට නොහැකි නම් ඔබත් වායු දුෂණයට වැට බැඳීමට කැපවිය යුතුම කෙනෙක්.

Comments

Popular posts from this blog