සොබාදහමේ මුර දේවතාවන්

© https://web.facebook.com/DWCSrilanka

(2019 07 29 දින)

වනජීවී සංරක්ෂණ නිලධාරීන් සැමරීමේ අන්තර්ජාතික දිනය (World Ranger Day) එළැඹෙන ජූලි තිස් එක් වැනිදාට යෙදිලා තියෙනවා. අන්තර්ජාතික වනජීවී නිලධාරීන්ගේ සම්මේලනයේ මූලිකත්වයෙන් මෙම දිනය මුලින්ම සමරන්න යොදා ගත්තේ 2007 අවුරුද්දේදී. ලෝකයේ ජාතික උද්‍යාන, සංරක්ෂිත වනාන්තර ලක්ෂයකට අධික සංඛ්‍යාවක සහ ඉන් බැහැරව අපට සොබාදහමෙන් ලැබුණු උරුමයන් දිවි හිමියෙන් රැකගන්න දිවා රෑ නොතකමින් කැපවෙන වනජීවී සංරක්ෂණ නිලධාරීන් එහෙමත් නැත්නම් සොබාදහමේ මුර දේවතාවුන් පිළිබඳව ලෝකයාගේ අවධානය යොමු කරවන්නත්, රාජකාරී අතරතුර සොබාදහම වෙනුවෙන් දිවිපිදූ විරුවන් අනුස්මරණය කරන්නත් තමයි මේ දිනය යොදාගෙන තියෙන්නේ. ඉතින් මුළු බිම් ප්‍රමාණයෙන් සියයට පහළොවක් පමණ වනජීවී රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කරලා තියෙන අපේ රටෙත් එම වනජීවී රක්ෂිත තුල සහ ඉන් බැහැරව වනසතුන්, ගහකොළ වෙගේම සෙසු ස්වභාවික සම්පත් සංරක්ෂණය වෙනුවෙන් ලේ, කඳුළු, දහදිය වගුරුවන වනජීවී සංරක්ෂණ නිලධාරීන් අටසීයකට ආසන්න සංඛ්‍යාවක් ඉන්න නිසා ඔවුන්ගේ සේවය අගය කරන්න සහ මියගිය වනජීවී විරුවන් අනුස්මරණය කරන්න අපිටත් යුතුකමක් සහ වගකීමක් තියෙනවා.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට තමන් විසින් සිදුකරන රාජකාරිය සඳහා මාසික වේතනයක් ලැබෙනවා. ඒ නිසා ඔවුන් සිදුකරන සේවය එම වේතනයට ලඝුකරලා හිතන්න තමයි බොහෝ දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ. නමුත් දිවා රෑ වෙහෙස වෙමින් ජීවිත අවධානමද නොතකා ආණ්ඩුවෙන් ගෙවන සොච්චම් වැටුපට කිසිසේත්ම ලඝුකල නොහැකි සේවයක් සිදුකරන පිරිසකුත් අපේ රටේ ඉන්නවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය එම පිරිසට ඇතුලත් කරන්න ලියුම්කරු කිසිසේත්ම පසුභට වෙන්නේ නැහැ.

තමන්ගේ දරු පවුල් වලින් මාස ගණන් ඈත්වෙලා, නගරයෙන් දුර බැහැර, ඉතාම දුෂ්කර රාජකාරී ස්ථානවල, මැසි - මදුරු - කිණිතුලු ප්‍රහාර වලට මුහුණ දෙමින්, කොයිවේලේ දඩයක්කරුවෙකුගේ වෙඩි උණ්ඩයක් - වන සතෙකුගේ ප්‍රහාරයක් තමන්ගේ ජීවිතය බිලිගනියි දැයි අවිනිශ්චිතව ඔවුන් රාජකාරී ඉටුකරන්නේ තමන් වෙනුවෙන් හඬ නගන්න, පාරට බැහැලා අරගල කරලා තම අයිතිවාසිකම් ලබාගන්න බැරි ගහකොළ සතා සිව්පාවා ඇතුළු සොබා උරුමයන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න.

තමන්ගේ වෘත්තීන්වල සුළු සුළු ගැටළු සම්බන්ධයෙන් පවා ඇතැම් පාර්ශව වෘත්තීය අරගල කලත් වනජීවී සංරක්ෂණ නිලධාරීන් මේ මොහොතේත් තම රාජකාරි වල යෙදී ඉන්නේ බරපතල වෘත්තීය ගැටළු රැසක් මධ්‍යයේ. මේ සම්බන්ධයෙන් කොතරම් ඉල්ලීම් කලත් බලධාරීන් මුනිවත රකිද්දි ඔවුන් තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අපේ සොබා උරුමයන් බිල්ලට දුන්නේ නැහැ. නමුත් ඒ වෙනුවන් ඔවුන්ට කාගෙන්වත් ප්‍රශංසා ලැබුණේත් නැහැ. ඔවුන්ට අවසානයේ ඉතිරිවුණේ දේශපාලකයින් හා බලපුළුවන්කාරයින් ගේ රැවුම් ගෙරවුම්, උසස් නිලධාරීන් නොසලකාහැරීම් වගේම පොදු ජනතාවගේ ගැරහුම් විතරයි. කෙසේ වෙතත් ඔවුන් මේ කිසිම දෙයකින් පසුභට වුනේ නැහැ. තමන්ගේ ජීවිතයත් පරදුවට තබමින් සොබා උරුමයන් රැකගන්න කැපවුණා.

ත්‍රිවිධ හැමදාවද ඇතුලත්ව ඕනෑම වෘත්තියක යෙදී සිටියදී ජීවිත අහිමිවූවන් වැඩිම ප්‍රතිශතයක් සිටින වෘත්තීය වනජීවී සංරක්ෂණ වෘත්තීය කියලා කිව්වොත් සමහරු පිළිගන්න එකකුත් නැහැ. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින සීමිත නිලධාරීන් පිරිසෙන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට වනජීවී සංරක්ෂණ රාජකාරී අතරතුරු සොබාදහම වෙනුවෙන් අවසන් හුස්ම හෙලලා තියෙනවා. ත්‍රිස්තවාදීන්ගේ ප්‍රහාර, දඩයක්කරුවන්ගේ ප්‍රහාර වගේම තමන් විසින් සෙත සෑදීමට යත්න දරණ අලි ඇතුන්ගේ සිට සර්පයින් දක්වා විවිධ වර්ගවල සතුන්ගෙන් එල්ලවූ ප්‍රහාරත් මේ මරණ වලට හේතුවෙලා තියෙනවා.

නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන් දැඩිව අනසක පතුරවමින් සිටි සමයේ වරක් එවකට කොටි කටේ පැවති අම්පාර, මහඔය ප්‍රදේශයේ ඝන වනයේ තුවාල ලැබූ අලියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී නිලධාරීන් සමග සම්බන්ධවීමට මෙම ලියුම්කරුටද අවස්ථාව ලැබුණා. කොටි ත්‍රස්තවාදීන්ගේ වගේම වනය තුලදී අහම්බයෙන් රජයේ හමුදාවන්ගේද ඉලක්කයක් වීමට තිබූ අවධානම නොතකා වනජීවී නිලධාරීන් එම අලියාට ප්‍රතිකාර කිරීමට කටයුතුකළ ආකාරය තවමත් සිහිපත්වන විට ඔවුන් ගැන හිතේ ඇතිවන්නේ අපමණ ආදරයක් සහ ගෞරවයක්.

ඔවුන් සැබැවින්ම වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවී සිටියත්, මෙරට මිනිසුන්ගේ දිනපතා අවශ්‍යතා, විදුලිබල නිෂ්පාදනය වගේම කෘෂිකර්මාන්තය සඳහා ජලය සපයන ජල පෝෂක ප්‍රදේශ වගේම පුරාවිද්‍යා ස්මාරක රැසක් ආරක්ෂාකර දීමටත් කැපවන්නේ ඔවුන්. එබැවින් තම සේවය වෙනුවෙන් අවංකවම කැපවී කටයුතුකරන වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට මුළුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාකරදී හිතේ සැනසීමෙන් තම රාජකාරි කටයුතුවල නිරතවෙන්න ඉඩ ලබාදීම ආණ්ඩුව විසින් සිදුකල යුතුයි. ඒ වගේම අකාලයේ දැයෙන් සමුගත් වනජීවී විරුවන් සදා අනුස්මරණය කරන අතර ඔවුන්ගේ අකල් වියෝවෙන් අසරණවූ දෙමව්පියන් සහ අඹුදරුවන් ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කොන්දේසි විරහිතව ක්‍රියාකිරීමත් ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් බව මේ මොහොතේ සිහිපත්කල යුතුයි.           

අතර අගනුවර සීත කාමර වල වගේම, ප්‍රාදේශීයවත් ඉඳගෙන තම ආත්මයන් පාවා දෙමින් ජාවාරම්කරුවන් ආරක්ෂාකරන හෘදසාක්ෂියක් නැති වනජීවී නිලධාරීනුත් අතලොස්සක් හෝ සිටින බවත් නොකියාම බැහැ. නමුත් ඔවුන් විසින් මේ උලාකමින් සිටින්නේ තම සහෝදර නිලධාරීන් පිරිසක් ලේ, කඳුළු, දහදිය වගේම ජීවිතත් පූජාකර ආරක්ෂාකර තබනලද සොබා උරුමයන් බවත් ඔවුන් අමතක නොකළ යුතුයි. එබැවින් එවැනි උරුමයන් කෙලෙසීමට දායකවී ශාපලද්දන් නොවන්නට ඔවුණුත් අද සිට හෝ අධිෂ්ඨාන කරගත්තොත් හොඳයි.

Comments

Popular posts from this blog