විල්පත්තුව සහ කැලෑ නීතිය

© https://sinhala.srilankamirror.com

(2019 06 03 දින)

විල්පත්තු ජාතික උද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර කලාපය තුළ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලලා 2015 අවුරුද්දේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අකැමැත්ත පළ කිරීම නිසා එම පෙත්සම නැවත මුල සිට විභාග කිරීමට අභියාචනාධිකරණය පහුගිය සතියේ තීරණය කළා. විභාග කර අවසන්ව තිබූ මෙම පෙත්සමට අදාළ තීන්දුව පහුගිය 2018 අවුරුද්දේ ජූනි පස්වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය අවස්ථා තුනකදී ඒක කල් දැම්මා. ඒ අනුව එළැඹෙන අගෝස්තු 06 වෙනිදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් අදාල විනිසුරුවරයා විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුව යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපතිවරයා නියම කළා. ඒ නිසා පරිසරයට ආදරය කරන හැමදෙනාගේම හිත් තුල මේ වෙනකොට ඉතිරිවෙලා තියෙන්නේ කනස්සල්ලක්.

විල්පත්තුවට උතුරින් පිහිටි කල් ආරු වනාන්තර කලාපයට අයත් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි, විලත්තිකුලම්, වේප්පාල් සහ මාවිල්ලූ කියන වන රක්ෂිත වලට අයත් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත ඉඩම් අත්පත් කර ගැනීම සහ අලූතින් ජනාවාස පිහිටුවීම සිදුකර ඇතිබව මේ වනවිට සාක්‍ෂි සහිතව ලොවටම අනාවරණයවී හමාරයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විගණකාධිපති විසින් සකස්කළ වාර්තාවෙනුත් ඒ බව සනාථවුනා.

එහිදී නිගමනය වුනේ,

§    2012 මැයි 21 දිනැති අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත්කර ඇති වනාන්තරයෙන් කොටසක් පුද්ගලයන් පදිංචි කිරීම සඳහා වන රක්‍ෂක විසින් නිදහස් කිරීම පවතින නීතියට පටහැණි බව

§  රක්‍ෂිත වනාන්තරයේ කොටස් හෙළි පෙහෙළි කිරීමෙන් සිදුවිය හැකි පරිසර හානිය සම්බන්ධයෙන් පවතින නීතියට අනුව පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයීමක් සිදු  කළ යුතු වුනත් එසේ සිදු නොකර තිබූ බැවින් වන රක්‍ෂිතයට සිදු වූ හා ඉදිරියේදී සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර නොතිබූ බව

§  රක්‍ෂිත වනාන්තරය තුළ ඉදිකළ නිවාසවල පදිංචි කිරීමේ තත්ත්වය සහ පවුල් සඳහා වෙන්කළ බිම් කට්ටිවල දීර්ඝකාලීනව නිවාස ඉදි නොකිරීම සැලකිල්ලට ගැනීමේදී ඉඩම් නොමැති, අවතැන් වූ පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබූ බව

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ආරම්භවී වත්මන් ආණ්ඩුව සමයේත් සිදුවූ  මෙම වනාන්තර විනාශය ආපසු හැරවීමට පරිසර සංරක්ෂණවේදීන් ඇතුළු විවිධ පාර්ශව නොදරපු වෙහෙසක් නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ කැලෑ සම්බන්ධයෙන් බලපාන නීති රීති සියල්ලම අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකළ මෙම නීති විරෝධී වන විනාශය ආපසු හරවන්න කාටවත් හැකිවුණේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අවසන් තැන වන අධිකරණයට යන්න පරිසර යුක්ති කේන්ද්‍රය කටයුතු කලේ දහසක් කම් කටොළු මධ්‍යයේ බව ලියුම්කරු දන්නවා. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් කාලය, ධනය සහ ශ්‍රමය කැපකරන්න සිදුවුණා. නමුත් මේ මොහොතේ ඒ සියළු උත්සාහයන් ගඟට කැපූ ඉනි බවට පත්වෙලා තියෙන්නේ මොන කැලෑ නීතියක්නිසාද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම මෙම වනාන්තර විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙලා තියෙන රිෂාඩ් බතියුදීන් අමාත්‍යවරයාගේ බල පරාක්‍රමය විධායකය, ව්‍යවස්ථාදායකය ඔස්සේ අධිකරණයටත් පැතිරීයාම මෙම තත්ත්වය ඇතිවෙන්නේ හේතුවුනාද කියන එකත් උභතෝකෝටික ප්‍රශ්නයක්.   

අප වෙත බලපාන දෛවය නිසා හරි, සංසාරේ අපි කරලා තියෙන කරුම නිසා හරි, දෙවියන් වහන්සේගේ කැමැත්ත හෝ අකමැත්ත නිසා හරි වෙනත් මොනයම්ම හෝ හේතුවක් නිසා අපිට බොහෝ වෙලාවට අප කැමැති වෘත්තීන් වලම නියැලීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් අප නියැලෙන වෘත්තියේ වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්න අපි බැඳී ඉන්නවා. ලියුම්කරු දන්නා තරමින් එම රාජකාරිමය වගකීම් සහ යුතුකම් ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිඳු රාජ්‍ය සේවකයෙකුට හැකියාවක් නැහැ. ගුරුවරයෙකුට පුළුවන්ද තමන් අකැමැති නිසා දරුවන්ට ඉගැන්වීමෙන් වැළකී ඉන්න, වෛද්‍යවරයෙකුට පුළුවන්ද තමන් අකැමැති නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී ඉන්න, පොලිස් නිලධාරියෙකුට පුළුවන්ද තමන් අකැමැති නිසා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී ඉන්න?

යම්කිසි නඩු කටයුත්තකදී බැඳියාවන් අතර ගැටුමක් ඇතිවෙනවා නම් ඊට මැදිහත් නොවී සිටීමට යුක්තිය පසිඳලන ඇත්තන්ට සදාචාරාත්මක යුතුකමක් තිබෙනවා. නමුත් මේ විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ නඩුවක් විභාගකර අවසන් තීන්දුව දීමට තිබියදී එය මගහැර සිටීමට විනිසුරුවරයෙකුට හැකිනම් එවැනි රටක අධිකරණයකින් බලාපොරොත්තු වියහැකි සාධාරණය කුමක්ද? මෙමගින් කැකිල්ලේ පන්නයේ තීන්දුවක් ලැබීමට තිබූ ඉඩ ඇහිරෙන්න ඇති කියලා හිත හදාගන්න පුළුවන් කමකුත් නැහැ, මොකද යුක්තිය ඉටුවීම පමාවීමත් යුක්තිය ඉටු නොවීමත් අතර වැඩි වෙනසක් නැති නිසා.

යම්කිසිවෙකු විසින් හෙට දවසේ අපව සාපරාධී ලෙස ඝාතනය කලොත්, ඊට සම්බන්ධ නඩුව අධිකරණයේ විභාගකර අවසන්කලත් තීන්දුව ලබාදීමට විනිසුරු අකැමැත්ත පලකලොත්, නව වටයකින් එම නඩුව නැවත විභාග කිරීමට තීරණය කලොත්, ඒ සඳහා පෙනී සිටින නීතිඥයාගේ ගාස්තුවේ සිට විවිධ වැය ශීර්ෂ යටතේ ගෙවන්නට සිදුවන මුදල් සපයාගැනීමට අපගේ කාලාත්‍රයින්ටදෙමවුපියන්ට, සහෝදර සහෝදරියන්ට නොහැකි වුනොත් සිද්ධවෙන්නේ මොකද්දඑවැනි රටක ජීවත් වෙන්න සිදුවීම මරණීය බියක් ඇතිකරන අත්දැකීමක් නොවෙයිද?

Comments

Popular posts from this blog