මහඑළියේ ශෝකාලාපය

 © https://roar.media

(2021 10 05 දින)

සංවර්ධනය සහ සංරක්ෂණය හරියට ගලපාගන්න බැරුව අපි වගේ සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින් රටවල් සිදුකරගන්නා විනාශයන් බොහොමයි. සංවර්ධනය කියන්නේ අපේ රටට හිමි සංරක්ෂණය කරගතයුතු ස්වභාවික සම්පත් විනාශ කිරීම කියලා තමයි මේ රටේ දේශපාලකයින් සහ උසස් රාජ්‍ය නිලධාරීන් බොහොමයක් තවමත් හිතාගෙන ඉන්නේ. ‘අටුව කඩා පුටුව සෑදීමමාදිලියෙන් එහා ගිය සංවර්ධන මොඩලයන් ගැන ඒ මෝඩ මොළ ගෙඩි වලට හිතෙන්නේම නැහැ. එහි ආසන්නතම බිල්ල ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටලා තියෙන රමණීය ජාතික උද්‍යානයක් වගේම ලෝක උරුමයක් වන හෝටන් තැන්න. එහෙමත් නැත්නම් මහඑළිය.

ශ්‍රී ලංකාවේ දකුණු-මැද කොටසේ පිහිටා ඇති මෙරට මධ්‍යම කඳුකරය 2010 අවුරුද්දේදී යුනෙස්කෝ සංවිධාන විසින් ලෝක උරුමයක් ලෙස නම්කරනු ලබනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 2500 කට වඩා ඉහළින් පිහිටි මෙම කඳුකර වනාන්තර කලාපය ප්‍රධාන ආරක්‍ෂිත ප්‍රදේශ තුනකට අයත් වෙනවා. එනම් ශ්‍රීපාද අඩවිය දැඩි ස්වභාව රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය සහ නකල්ස් සංරක්‍ෂණ වනාන්තරයයි. බටහිර දම් පැහැති මුහුණැති කොළ වඳුරා, හෝර්ටන් තැන්නේ උණ හපුලුවා සහ ශ්‍රී ලංකා කොටියා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ කිහිපයක් ඇතුළුව අසාමාන්‍ය ශාක හා සත්ත්ව විශේෂ ප්‍රමාණයක් වාර්තාවන මෙම කලාපය සුපිරි ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙසයි සැලකෙන්නේ. දිවයිනේ දස දෙසට ගලායන ගංගා රැසක තිඹිරිගෙය වන්නේත්, ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශය වන්නේත් මේ සුවිශේෂී කඳුකර වනාන්තර පද්ධතියයි. එමගින් තමයි මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකගේ පරිභෝජන අවශ්‍යතා, කෘෂිකර්මය සහ බලශක්ති ජනනය සඳහා අවශ්‍ය ජල සම්පත සැපයෙන්නේ. ඒ වගේම සංචාරක කර්මාන්තය හරහා මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දීමටත් මෙම ස්වභාවික ලෝක උරුමය කටයුතු කරනවා.

නමුත් ඒ කිසිම වටිනාකමක් තඹ දොයිතුවකට මායිම් නොකරන අපේ රටේ දේශපාලුවන්ට සහ තක්කඩි නිලධාරීන්ට මෙකී සම්පත් වනසා දමනතුරු නින්ද යන්නේ නැහැ. ඒ නිසා තමයි හෝටන් තැන්න ජාතික උද්‍යානය හරහා ඇති මෙතෙක් මහජනතාව සඳහා වසා දමා තිබුණු පාර පසුගිය සැප්තැම්බර් මස අගදී විවෘත කරන්න වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට නියෝග ලැබෙන්නේ. මෙතෙක් ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ජාතික උද්‍යානයට ඇතුළුවන සංචාරකයින්ට පමණයි මෙම මාර්ගයේ ගමන් කිරීමට අවසර හිමිවුණේ. නමුත් දැන් ඕනෑම කෙනෙකුට මෙම මාර්ගයේ පට්ටිපොළ සහ ඔහිය අතර ගමන් කිරීමට නිදහස තිබෙනවා. ඒ සඳහා කොන්දේසි කිහිපයක් පැනවීමට වනජීවී නිලධාරීන් කටයුතු කලත් එමගින් මෙම ජාතික උද්‍යානය හරහා ගමන් කිරීමට ඉඩ දීමෙන් සිදුවන හානිය කිසිසේත්ම පාලනය කරන්න බැහැ.

ස්වභාවික පරිසර පද්ධතීන් හරහා සිදුකරන රේඛීය සංවර්ධන කටයුතු, නොඑසේනම් මහා මාර්ග - දුම්රිය මාර්ග - අධිවේගී මාර්ග ඉදිකිරීම,  නල පද්ධති එළීම සහ සම්ප්‍රේෂණ රැහැන් ඇදීම ආදීය මගින් එම සොබා උරුමයන්ට සිදුවන සංකීර්ණ බලපෑම් ගැන ලොව දියුණු රටවල්වල විශාල අධ්‍යයන ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. ඒ වගේම අපේ රටෙත් එවැනි අධ්‍යයනයන් කිහිපයක් සිදුකර තිබෙනවා. මෙසේ මාර්ග සහ අනෙකුත් සංවර්ධන ව්‍යපෘති ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදාගනු ලබන සම්පූර්ණ කාලසීමාව තුලම එමගින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවනබව විද්‍යාත්මකව තහවුරුවී තිබෙනවා. වනජීවීන් රිය අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, වනජීවීන්ගේ හැසිරීම් රටා වෙනස්වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහනයට බාධා ඇතිවීම, කැලිකසල ප්‍රශ්න ඇතිවීම, ක්ෂුද්‍ර පරිසර පද්ධතිවල ජෛවරසායනික වෙනස්කම් ඇතිවීම, පරිසර දුෂණය ඉන් කිහිපයක් පමණයි.

මෙරට ප්‍රමුඛ පෙළේ වනජීවී පර්යේෂකයෙකු වන සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පිරිස 2017 අවුරුද්දේ පලකළ පර්යේෂණ පත්‍රිකාවක් මගින් මෙසේ හෝටන් තැන්න ජාතික උද්‍යානයේ මාර්ග අනතුරු වලට ලක්ව මියගිය වනජීවීන් පිළිබඳවද කණගාටුදායක හෙළිදරව්වක් සිදු කෙරුණා. එහිදී හෝටන් තැන්න ජාතික උද්‍යාන තුලදී මාර්ග අනතුරු වලට ලක්ව මියගිය පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 22කගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. ඒ අතර උභයජීවී විශේෂ 10ක්, උරග විශේෂ 5ක්, පක්ෂීන් විශේෂ 4ක් සහ ක්ෂීරපායී විශේෂ 3ක් වෙනවා. ඉන් විශේෂ 17ක් ශ්‍රී ලංකාවට ආවේණිකයි. තවත් විශේෂ 17ක් වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂ. සංචාරකයින් සඳහා පමණක් මාර්ග විවෘත කර තිබියදී තත්වය එසේ නම් මෙම මාර්ගය පොදු ජනතාව සඳහා විවෘත කල පසු තත්වය කොතරම් දරුණු වේදැයි යළි යළිත් පැවසිය යුතුද?

නමුත් මෙම අවාසනාවන්ත යථාර්තය අවබෝධ කරගැනීමට මෙරට බලධාරීන් සහ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා වැනසී යන ස්වභාවික උරුමයන් සුළුපටු නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වනජීවී රක්ෂිත ගණනාවක් ඔස්සේ වැටී ඇති දුම්රිය සහ මහා මාර්ග නිසා අලි ඇතුන්ගේ සිට කුඩා කෘමී සතුන් දක්වා සෑම තරාතිරමකම වනජීවීන් ලක්ෂ ගණනක් හැම අවුරුද්දකම මිය යන බව නොරහසක්. එම තත්වයන් අවම කරගැනීම සඳහා කටයුතු කරනු වෙනුවට බලධාරීන් සිදු කරන්නේ තව තවත් වනාන්තර සහ වෙනත් ස්වභාවික පරිසර පද්ධතීන් කැබලිකරණය කරමින් මාර්ග ඉදිකිරීමට පිඹුරුපත් සකස් කිරීමයි. පොළොන්නරුව, ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා මෙසේ කලින් පැවති මාර්ගයක් නැවත ඉදිකිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ එය වලක්වා ගැනීම සඳහා පරිසර සංරක්ෂණවේදීන්ට විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. නමුත් එම විනාශකාරී මාර්ගය ඉදිකිරීමේ අවධානම පහවී නැහැ.

අල්ල පනල්ලේ මෙතෙක් කලක් මහජනතාවට වසා දමා තබූ හෝටන් තැන්න හරහා මාර්ගය විවෘත කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ මුළු රටටම නරක පූර්වාදර්ශ සපයමින් බව කියන්නම ඕනෑ. කෙටි මාර්ගයක් මගින් ජනතාවට ලැබෙන එකම පහසුව කාලය මදක් ඉතිරිකර ගැනීමට ඇති හැකියාවයි. නමුත් මෙම මාර්ගය වසා තිබුණා කියා ජනතාව තම ගමන් බිමන් නොගිහින් සිටියේ නැහැ. ඒ සඳහා ඔවුන් විකල්ප මාර්ග භාවිතා කළා. ඉතිරිවන කාලයේ වටිනාකමට වඩා විශාල ආර්ථික සහ පාරිසරික හානියක් මෙවැනි වටිනා පරිසර පද්ධතියක් විනාශවීමෙන් සිදුවන බව එම ජනතාවටත් වැටහෙනවා ඇති.

එසේ නම් මේ හදිසියේ ජනතාවගේ ගිණුමට බැරකර හෝටන් තැන්න වනසන මාර්ගය සැබැවින්ම අවශ්‍යවී ඇත්තේ කාටද? කුමක් සඳහාද?

Comments

Popular posts from this blog