පරිසර ප්‍රතිපත්ති
(2019 11 04 දින)
වර්තමානයේ සැලකියයුතු පිරිසක් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ජනාධිපතිධූර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විමසීමට පටන්ගෙන තිබීම සතුටට කරුණක්. වර්ණවත් ඔප කඩදාසියේ ලගන්නා සුලු ආකාරයෙන් මුද්‍රණයකර ජනතාව අතට පත් කෙරෙන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශවල රට සංවර්ධනය කරන්න, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න, ඒ වාගේම හැමෝටම සතුටින් ජීවත්විය හැකි යහපත් රටක් නිර්මාණය කරන්න තමන් කටයුතු කරන්නේ කොහොමද කියලා ජනාධිපතිධූර අපේක්ෂකයින් සඳහන් කරලා තියෙනවා. තමන්ගේ පාලකයා පත්කරගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථම මේ ප්‍රතිපත්ති ගැන විමර්ශනය කර අවබෝධයක් ලබාගැනීම මගින් නිවැරදි තීරණය ගැනීමට යම්කිසි පිටිවහලක් ලැබෙනවා. නමුත් ඒ ඔවුන් බලයට පත්වීමෙන් පස්සේ තමන් ඉදිරිපත්කල ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන ‘ප්‍රතිපත්ති ගරුක පාලකයින්’ වෙයි කියන පූර්ව උපකල්පනය මත පිහිටා බවත් නොකියාම බැහැ. ඒ නිසා තමන් ජනතා වරම ලබාගැනීම සඳහා ඉදිරිපත්කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලකයින්ට නෛතික බැඳීමක් ඇතිකිරීම ඉතා වැදගත් බව මුලින්ම සඳහන් කරන්න කැමතියි.
මේ දිනවල
ජනතාව හමුවට පැමිණ සිටින ජනාධිපති අපේක්ෂකයින්ගේ පරිසර ප්‍රතිපත්ති මොනවාද කියන එක
ගැනත් අපි හැමෝම අවධානය යොමුකරන්න අවශ්‍යයි. ඒ ඔවුන්
ගහකොළ සතා සිව්පාවාගේ ආරක්ෂාව සඳහා සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා
දැනගන්න පමණක් නොවෙයි. රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික
ආදී සෑම ක්ෂේත්‍රයකම ස්ථාවරත්වය රැඳිලා තියෙන්නේ මේ කියන පරිසර ප්‍රතිපත්ති මත
නිසා. පරිසරය
කියන්නේ අප අවට තියෙන සෑම දෙයක්ම නිසා එහි ස්ථාවර පැවැත්ම සහ නිවැරදි කළමනාකරණය
තුලින්
පමණයි
රටකට අපේක්ෂිත ආර්ථික සහ සමාජයීය සංවර්ධන ඉලක්ක සපුරාගෙන සැමට උසස් ජීවන තත්ත්වයක්
අත්කර දෙන්න හැකියාව තිබෙන්නේ. ඒ නිසා මෙහිදී ‘පරිසර ප්‍රතිපත්තිය’ කියලා
ලේබල් ගහලා ඉදිරිපත්කරන කරුණු සම්බන්ධයෙන් පමණක් නොවෙයි ඔවුන්ගේ සමස්ථ ප්‍රතිපත්ති
ප්‍රකාශ තුලම සැඟවී ඇති පරිසරය සම්බන්ධ සියළුම අංග පිළිබඳව අප අවධානය යොමුකිරීම
වැදගත්.
වර්තමානයේ
පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ජනතාව තුල යම්කිසි උනන්දුවක් ඇතිවෙලා තියෙන නිසා ඇතැම්
සට කපට දේශපාලකයින් ඉතා ආකර්ශනීය ආකාරයෙන් ඔවුන්ගේ පරිසර
ප්‍රතිපත්ති නිර්මාණයකර ජනතාව අතරට ගෙන එනවා. නමුත්
විමසුම් බුද්ධියක් ඇති පුරවැසියන් එම පරිසර ප්‍රතිපත්තියට පමණක් ලඝුවී තීන්දු තීරණ
නොගත යුතු බවයි ලියුම්කරුගේ අදහස. දේශපාලකයින් අවංක නම් ඔවුන්ගේ කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා, ධීවර, සෞඛ්‍ය, ප්‍රවාහන, හා
සංචාරක ආදී ආර්ථික සහ සමාජයීය සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති තුලත් පරිසර සංරක්ෂණ ප්‍රතිපත්ති
ආරක්ෂාවී පැවතිය යුතුයි.
උදාහරණයක්
වශයෙන් දැනට දේශපාලන වේදිකාවල සාකච්ඡාවට බඳුන්වී ඇති කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රතිපත්ති
සහ පරිසර සංරක්ෂණය ගලපා බලමු. මෙරට කෘෂිකර්මය නගාසිටුවීම
සඳහා කෘෂි
රසායනික
යෙදවුම්
නොමිලේ
ලබාදෙන බවට මේ දිනවල දේශපාලකයින් මොර දෙනවා. ඒ අතර
ඔවුන් තම පරිසර ප්‍රතිපත්තිත් ඉතා අලංකාරවත් ආකාරයෙන් ලියා ජනතාව අතට
පත්කරනවා.
නමුත්
කෘෂිකර්මය
නගාසිටුවීම
සඳහා කෘෂි රසායනික යෙදවුම් නොමිලේ ලබාදෙන ජනාධිපතිවරයෙක් යටතේ ඉදිරියේදී මෙරට
පරිසරය ආරක්ෂාවේ යැයි අපට හිතන්න පුළුවන්ද? නොමිලේ
ලබාදෙන රසායනික පොහොර මහා පරිමාණයෙන් පසට යොදමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන ජනතාවක්
සිටින රටක පරිසරයේ ඉතා වැදගත් අංග වන පස හා ජලය සංරක්ෂණය පිළිබඳව කතාකිරීමේ පලක්
තිබෙනවාද?
කර්මාන්ත
සහ සේවා අංශය දියුණු කිරීමත් මේ දිනවල දේශපාලන වේදිකාවල උණුසුම් මාතෘකාවක්. ගමින්
ගමට කර්මාන්තශාලා ඉදිකර රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට දේශපාලකයින්
මේ දිනවල විශාල වශයෙන් පොරොන්දු ලබාදෙන බව නොරහසක්. නමුත්
ඔවුන් එහිදී පරිසරය ආරක්ෂාකර ගනිමින්, වාතය, පස සහ ජලය ආදී සංඝටක දුෂණයවීම හැකිතාක් අවමකර
ගනිමින් එම කටයුත්ත සිදුකිරීම තම ප්‍රතිපත්තිය කර නොගත්තොත් ඔවුන්ගේ ආර්ථික
දියුණුව සහ පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තිය අතර දරුණු ගැටුමක්
නිර්මාණය වෙනවා. ධීවර, සෞඛ්‍ය, ප්‍රවාහන සහ සංචාරක
වැනි අනෙකුත් ක්ෂේත්‍ර ගත්තත් එහෙමයි.
ඒ වගේම
මෙම ක්ෂේත්‍ර සංවර්ධනය කෙරෙහි දක්වන උනන්දුවම පරිසර සංරක්ෂණය සඳහා නොදැක්වුවොත්
එමගිනුත් අපේක්ෂිත ප්‍රතිපල ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක්
වශයෙන් අප වන සංරක්ෂණය අපේ රටේ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් කර නොගත්තොත් එමගින්
කෘෂිකර්මයට එල්ලවන බලපෑම් හේතුවෙන් අපේක්ෂිත කෘෂිකාර්මික සංවර්ධනය
ළඟාකර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වන විනාශය නිසා ජල මූලාශ්‍ර සිඳී යාම නිසා
කෘෂිකර්මයට අවශ්‍ය ජලය නොලැබී යනවා. අලි ඇතුන්ට උන්ගේ වාසභූමි අහිමිවීමෙන් ඔවුන්
ගම් වැදීම නිසා අපේක්ෂිත අස්වනු නොලැබී යනවා. එමගින්
කෘෂිකර්ම ක්ෂේත්‍රය පිරිහී ගොස් ජනතාව කබලෙන් ලිපට විසිවීම සිදුවෙනවා.
ඒ වගේම
ධීවර ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකලොත් අවිධිමත් පන්න ක්‍රම මගින් ධීවර කටයුතුවල
නිරතවීම වැලැක්වීම, සාගරය දුෂණය වීම පාලනය කිරීම බැලූ බැල්මට පරිසර
සංරක්ෂණයට පමණක් අදාළ ප්‍රතිපත්ති ලෙස පෙනුනත් එම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු
නොකළොත් සාගර පරිසර පද්ධතීන් බිඳ වැටී සමුද්‍ර දුෂණය ඉහළ ගොස් ධීවර කර්මාන්තයට මරු
පහරක් එල්ලවෙනවා.
ඒ අනුව ආර්ථික
සංවර්ධන සහ පරිසර සංරක්ෂණය යන අරමුණු
දෙකම සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ එම අංශ අතර මනා
ගැලපීමක් සහිත රාජ්‍ය ප්‍රතිපත්තියකින් පමණක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ නිසා ආකර්ශනීය
නමුත් පරස්පර ප්‍රතිපත්ති සහිත පුද්ගලයින් පරිසරය රකින බව පවසමින් තමන්ව
මුලා කරනවාද යන්න පිළිබඳව විමසිළිමත්වීම රටට සහ පරිසරයට ආදරය කරන සැමගේ යුතුකමක් සහ
වගකීමක්.
Comments
Post a Comment