බියෙන් තොර බිමක්
(2019 11 15 දින)
බියෙන් සහ සැකයෙන් තොරව නිදහස්
හා සාමකාමී ජීවිත ගතකිරීමට අපි හැමෝම කැමතියි. අභයභූමියේ සිට මේ දක්වා
ලියුම්කරු විසින් ලියූ සෑම සටහනකින්ම උත්සාහ කෙරුණේ එවැනි පරිසරයක් මේ දිවයින
තුල තහවුරු කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‘අභයභූමි’ කියන වදනේ අරුතත් එවැනි ‘බියෙන් තොර බිමක්’ කියන එකයි. ඒ වගේම ලොව ඕනෑම රටක ‘බියෙන් තොර බිමක්’ කියන අදහස ගෙනදෙන වදනක් මුලින්ම
භාවිතයට ගැනුනානම් ඒ ‘අභයභූමි’ කියන වදනම බවයි ලියුම්කරුගේ අදහස. ගහකොළට සතා සිව්පාවාට පමණක්
නොවෙයි මිනිසාටත් එසේ බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය අදටත්
හෙටටත් මතුවටත් ආරක්ෂාකර තැබීම අප සියළුදෙනාගේම වගකීමක්.
මේ රට අභයභූමියක් බවට පත්කරන්න අපේ
අතීත රජ දරුවන් කටයුතු කළේ මීට අවුරුදු
දහස් ගණනකට පෙර අතීතයේ සිට බව අප සිහිතබාගත යුතුයි. වර්තමානයේ ‘දියුණු’ බව කියන බටහිර ජාතීන් පවා මිලේච්ඡ
හැසිරීම් දක්වමින් වනචාරී ජීවිත ගත කරනකොට අපි මිනිසුන්ට පමණක් නොවෙයි ගහකොළ සතා
සිව්පාවාටත් බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පසුබිම මේ රමණීය දිවයින තුල ඇතිකරන්න
පුරෝගාමී
වුණා. ඒ ක්‍රිස්තු පූර්ව 236 දී මිහිඳු මහා රහතන්වහන්සේ
බුදුදහම රැගෙන මෙරටට වැඩමවීමත් සමග.
එම වකවානුවේ අපේ රටේ කිරුළ දැරූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලොව ප්‍රථම අභයභූමිය
මිහින්තලාවේ ස්ථාපනය කිරීමට කටයුතු කලේ මිහිඳු මා හිමියන් විසින් ලබාදුන්
“මහරජ,
අහසේ
සරන විහඟුන් හෝ
වනයේ
සරන වන සතුන්
ඝාතනය
කිරීමෙන් වලකින්න.
මෙබිමේ
ඉපදුනු සියළු ජීවීන්ට
තමන්ට
සිත්සේ මේ බිමේ සැරීමටත්
නිදහසේ
ජීවත්වීමටත් ඇති අයිතිය තහවුරු කරන්න.
ඔබ
ඔවුන්ගේ භාරකරුවා පමණයි”
යන උතුම් ඔවදන මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රමුඛ
ප්‍රතිපත්තියක් බවට පත්කරගනිමින්.
ඒ වාගේම ක්‍රිස්තු වර්ෂ 924 දී
මෙරට රජ කළ තුන්වැනි දප්පුල රජු විසින් දඹුල්ල
ගල්කිරියාගම ‘නාමල් උයන’ මිනිසුන්
සඳහා වූ අභයභූමියක් ලෙස නම් කර තිබූ බව මඩාටුගම, ආඬියාගල
සෙල් ලිපියේ සඳහන් වෙනවා. මෙම
ප්‍රදේශයට ඇතුළු වු රාජ ද්‍රෝහියකු වත් අල්වා ගැනීමට රජුට පවා බලයක් නොතිබූ බවයි පුරාවිද්‍යාත්මක
සාක්ෂි අනුව පෙනී යන්නේ. මහින්දාගමනයත් සමග ලක්දිව පැතිරී
ගිය අභයභූමි සංකල්පය මෙරට
රාජ්‍ය පාලනයේ මූලික න්‍යායක් බවට පත්කරගත් අනුප්‍රාප්තික රජවරුන් එම ප්‍රතිපත්තිය
අනුව යමින් මෙම සමස්ථ දිවයිනම අභයභූමියක් බවට පත්කරමින් ලොව පහළවූ සුවිශේෂී
ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාව තුල ඇතිකළා. අපි අද දවසේත් ප්‍රතිලාභ ලබන ජෛවවිවිධත්වයෙන්
පොහොසත් වනාන්තර සහ සයුරු
සම ජලාශ ඇතුළු වාරි කර්මාන්ත එම උත්කෘෂ්ඨ ශිෂ්ඨාචාරයේ දායාද බව අපි තරයේ
සිහිතබාගත යුතුයි.
ඒ අතර ඉතිහාසයේ විවිධ අවස්ථාවල මේ
අභයභූමියේ ‘අ’ යන්න ගලවා දැමීමට ඇතැමුන් කටයුතු කළබවත් අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ රටට සොබාදහමෙන් ලැබුණු වටිනා
උරුමයන්ගේ අයිතිකරුවන් තමන් බව සිතන දේශපාලුවන් පිරිසක් අතට රටේ පාලන බලය ලැබීමත්
සමග සියල්ල ඉතාම කණගාටුදායක ආකාරයට කණපිට හැරුණු ආකාරය බොහෝ දෙනෙකුට අමතක නැතිව
ඇතැයි සිතනවා.
එම
යුගයේදී පරිසර පද්ධති උඩු යටිකුරු කරමින් ජනතාව දහස් ගණනින් පීඩාවට පත්කළ ඊනියා
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණේ සාක්කුවට වැටෙන කොමිස් කුට්ටියේ විශාලත්වය
අනුව ප්‍රමුඛතාවය ලබාදෙමිනුයි. වනාන්තර
අක්කර දහස් ගණනින් ඩෝසර්කර කොන්ක්‍රීට් සංවර්ධනය සහ බහුජාතික සමාගම්වල විවිධ ලාභාපෙක්ශා වෙනුවෙන් බිළිදෙනු ලැබුවේ කිසිඳු පරිසර
බලපෑම් ඇගයීමක් සිදුකිරීමෙන් තොරවයි. අම්මාවරුන් මරා වනාන්තර වලින් පැහැරගත් අලි
පැටවුන් තමන්ගේ මාළිගාවල සිරකර තබාගැනීමට ධනවතුන්ට සහ බලවතුන්ට අවසර ලැබුණේ වන
සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක නීති තඹ සතයකට මායිම් නොකරයි. ගහකොළ සතා සිව්පාවාගේ ජීවිත තබා
මිනිස් ජීවිතවත් ආරක්ෂාකිරීම තම වගකීම ලෙස නොතැකූ පාලකයින් මැස්සන් මදුරුවන් ගානට
මිනිසුන් තලා පෙලා මරා දැමීමට කටයුතු කලේ කිසිඳු වග විභාගයකින් තොරවයි. කෙසේ හෝ එම අඳුරු කාල පරිච්ඡේදය
අතීතයට තල්ලුකර මේ රට සියළු සත්වයින්ට බියෙන් සහ සැකයෙන් තොරව සාමකාමී ජීවිත
ගතකිරීමට හැකි රටක් බවට පත්කිරීමට ඇතැමුන් තම ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු
කළ ආකාරය අප අමතක නොකළ යුතුයි.
රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය
ආරක්ෂාකිරීමට එම රටේ පාලකයින්ට හැකියාවක් නැත්නම් ඒ රටේ ජීවත්වන ජනතාවට කිසිම
ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් යහපත් අනාගතයක් අපේක්ෂාකළ නොහැකියි. පරිසර
සංරක්ෂණය සම්බන්ධයෙන් වුනත් එම තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, මූලික
මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාවීම, අධිකරණයේ ස්වාධීනත්වය, ජනමාධ්‍ය
නිදහස වැනි කාරණා වලින් වියුක්තව අපට පරිසර සංරක්ෂණය ගැනත් කතාකිරීමට නොහැකියි. යුක්තිය
හා සාධාරණත්වයට වටිනාකමක් ලබා නොදෙන,
සැමට
සමාන ආකාරයෙන් නොසලකන, තම මූලික මිනිස් අයිතිවාසිකම් ඉල්ලා
අරගල කරන මිනිසුන් වෙඩි තබා මරා දමන,
නීතියේ
දෙවඟන එළිපිටම කෙළෙසන, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්
මරා දමමින්, අතුරුදහන් කරමින්, පැහැරගෙන
ගොස් අපමණ වධ බන්ධන වලට ලක් කරමින්, පිටුවහල් වීමට බල කරමින්, මාධ්‍ය
ආයතනවලට බෝම්බ ගසමින් සහ ගිනි තබමින් ජනමාධ්‍ය නිදහස වළලා දමන පාලකයින් සිටින රටක
පරිසර සංරක්ෂණය පිළිබඳව කතාකිරීමත් මුලාවක්.
ඒ නිසා මේ සියලු කාරණා පිළිබඳව
ඉතා සාවධානව සිතා බලා නිවැරදි තීරණය නිවැරදි මොහොතේ ගැනීම අත්‍යාවශ්‍ය බවයි
ලියුම්කරුගේ අදහස. නැවත නැවතත් කියන්නට අවශ්‍ය වඩා
වැදගත් වන්නේ නිවැරදි තීරණය නිවැරදි මොහොතේ ගැනීම බවයි.
රටේ ජනතාව බුද්ධිමත් නම්, හෘදසාක්ෂියක් ඇත්තන් නම් ඔවුන්
ව්‍යසනය දෝතින් තුරුලුකර නොගනු ඇති.
Comments
Post a Comment