හක්කිඳ දූපත් සහ අධිකාරී බහිරවයා

 © https://divaina.lk

(2021 11 02 දින)

ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ ඊටම අනන්‍ය පරිසර පද්ධතීන් දෙකක් අපේ මේ පුංචි රටට හිමිකරලා දීලා තියෙනවා. ඒ ජලගැලුම් නිම්න සහ හක්කිඳ දූපත්. ඒවායේ ඇති ආවේණික ජෛවවිවිධත්වයේ මහිමය වචනයෙන් කියා නිමකරන්න බැරි තරම් විශාලයි. ඇත්තම කිව්වොත් අපේ රටට පමණක් ආවේණික සමහර හඳුනා නොගත්  ජීවී විශේෂ පවා මෙම පරිසර පද්ධති වල සැඟවී තිබීමට ඇති ඉඩ වැඩියි. මහවැලි ගඟේ පහළ කොටසේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ජලගැලුම් නිම්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය වන ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ජාතික උද්‍යානයේ පැවැත්මට විවිධ වකවානු වල විවිධ බලපෑම් එල්ල වුනත් එය රැකගන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න වනජීවී නිලධාරීන් පිරිසක් සිටීම නිසා විනාශකාරීනට සිත්සේ එම වන උයන වනසන්න නම් ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් අද අපි කතා කරන්න යන හක්කිඳ දූපත් වලට නම් එවැනි වාසනාවක් නැහැ. මොකද අතිගරු ජනාධිපතිතුමා, ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගොල්ල, පරිසරයට ආදරය කරන නීතිඥයින්, පරිසර ක්‍රියාකරීන් සහ මහා ජනතාවට වඩා බල සම්පන්න අධිකාරී බහිරවයෙක් මෙම දූපත් සමූහය ගිලගන්නට මාන බලමින් සිටින නිසා.

මහවැලි ගංගාව මහනුවර, ගැටඹේ ප්‍රදේශය පසුකර පහළට ගලා බසින විට එම ගංගාව මධ්‍යයේ නිර්මාණය වී ඇති ලොකු කුඩා දූපත් විස්සකින් පමණ සමන්විත දූපත් සකීර්ණය ‘හක්කිඳ දූපත්’ ලෙස හඳුන්වනවා. එම දූපත් සහ ගංගාධාර වනපෙත මෙරට වාර්තාවෙන ඉතා දුර්ලභ, ආවේණික ජීවී විශේෂ ගණනාවකට නිවහන සපයනවා. ක්ශීරපයී විශේෂ 23ක් (ආවේණික දෙකයි), පක්ෂි විශේෂ 77ක් (ආවේණික පහයි), උරග විශේෂ 44ක් (ආවේණික 17යි), උභයජීවී විශේෂ 17ක් (ආවේණික 12යි), සහ මත්ස්‍ය විශේෂ 18ක් (ආවේණික දෙකයි) මෙම කුඩා බිම් කඩෙන් වාර්තාවී තිබීම හක්කිඳ දූපත්වල ජෛවවිද්‍යාත්මක වැදගත්කම මොනවට කියා පානවා.  මෙරටට පමණක් ආවේණික, මීට පෙර වඳවී ගොස් ඇතැයි සිතූ දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන ශ්‍රී ලංකා කොළ ගඩයා වසර විස්සකට පසු ප්‍රථම වතාවට සජීවීව හමුවුණේ මෙම ප්‍රදේශයෙන්. ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේණික හා තර්ජනයට ලක්‌වූ අතිඋඩයන් ජලජ ශාක පහක වාසස්‌ථානය වන්නේද හක්‌කිඳ දූපත්. තවත් තලසාකාර ජලජ පුෂ්ප ශාක විශේෂ හයකුත්, ආවේණික කෙටල විශේෂයකුත් මෙම ක්ෂුද්‍ර බිම්කඩ තුල තවමත් ආරක්ෂිතව පවතිනවා.

නමුත් මෑතක් වන තුරුම මෙම විරල පරිසර පද්ධතියට කිසිම රැකවරණයක් තිබුණේ නැහැ. විවිධ දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයින්, යහමින් මුදල් වියපැහැදම් කිරීමට හැකියාව ඇති ව්‍යාපාරිකයින් මෙම ගංගාධාර වනාන්තරය වනසමින් දැව ජාවාරම් කිරීමටත් ඉඩම් අත්පත්කරගෙන හෝටල් සහ නිවාස ඉදිකිරීමටත් කටයුතු කිරීම නිසා හක්‌කිඳ දූපත් දැඩි අවධානමක පැවතුනා. මෙම ප්‍රදේශයම ජලයෙන් යටවන පරිදි ඉදිකිරීමට ගිය ජල විදුලි බලාගාරයක් මගින් මෙම දූපත් සමූහයම වැනසී යා නොදී රැකගන්නට පරිසරවේදීනට මීට කලකට පෙර මහත් පරිශ්‍රමයක් දරන්න සිදුවුණා. එම සටනේ පුංචි කොටස්කරුවකු වෙන්න මෙම ලියුම්කරුටත් අවස්ථාව ලැබුණා.

2017 අවුරුද්දේ ජුනි මාසේ 19 දිනැති අංක 2024/6 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත්වීම එම අරගලයේ කඩයිමක් ලෙස හඳුවන්න පුළුවන්. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ මෙම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත්කිරීම මගින් මෙම සොබාදහමේ අමිල දායාදයට යම්කිසි රැකවරණයක් ලැබෙයි කියලා සියලු දෙනා බලාපොරොත්තු දල්වාගත්තා. අදාළ ගැසට් පත්‍රය අනුව මෙම මහවැලි ගංගාවේ ගැටඹේ පාලමේ සිට දොඩම්වල සංගිලි පාලම දක්වා හෙක්ටයාර 59.4ක භූමියක් මෙසේ ආරක්‍ෂිත කෙරුණු අතර එහි පරිපාලන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය යටතට පැවරුණා. නමුත් අවාසනාවට හක්කිඳ දූපත් ගිල ගන්නා බහිරවයාත් මෙකී අධිකාරියේම මුල් පුටුවක් දැරීම නිසා සිදුවී ඇත්තේ වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට කබලෙන් ලිපට වැටීමට බවයි පරිසරවේදීන් පවසන්නේ.

'වරාතැන්න - හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය' තුළ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරීම ඉහත කී ගැසට් නිවේදනයේ එක් නිර්දේශයක්. නමුත් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ එම කමිටුවට පරිසර සංවිධාන නියෝජිතයින් දෙදෙනෙක් නම් කිරීම සිතා මතාම මගහැර තිබෙනවා. ඒ මහවැලි ගං ඉවුරේ හෝටල් ඇතුළු අනවසර ඉදිකිරීම් සිදුකිරීමට මෙම කමිටුව බාධාවක් වන නිසා බවයි ලියුම්කරුට හැඟෙන්නේ. එම කමිටුව සඳහා මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව සහ මහනුවර පරිසර නීතිඥ සංවිධානයේ නියෝජිතයින් දෙදෙනෙකු පත්කිරීම ඔය කියන බහිරවයා විසින් මගහැර ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ පවා ඒ සඳහා නිර්දේශ ලබාදී ඇති පසුබිමකයි. වඩාත්ම විමතිය දනවන කාරණය නම් එල්ලවන මහජන සහ ජනමාධ්‍ය විරෝධතා හමුවේ ඔහු ඒ සඳහා මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුව නැමැති අහසින් වැටුණු සංවිධානයක නමින් තමන්ගේ අන්තේවාසිකයෙකු කුප්‍රකට ආකාරයෙන් අවසන් මොහොතේ කමිටුවට පත්කරගෙන තිබීමයි.

ගැසට් පත්‍රයට අනුව, මෙම ප්‍රදේශය තුළ අවසරලත් භාවිතයන් සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ සියලූම අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුයි. අවසරලත් භාවිතයන්ට අදාළ සියලූ සංවර්ධන ක්‍රියාකාරකම් අධිකාරිය විසින් ලබා දෙන මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක කළ යුතුයි. සියලූ අවසරලත් භාවිතයන් පරිසරයට හානියක් හෝ අවහිරයක් නොවන පරිදි හෝ මහජනතාවට පීඩාවක් නොවන පරිදි පවත්වාගෙන යා යුතුයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විමසා ගං ඉවුරේ සිට ගොඩබිම දෙසට මීටර් පහක රක්ෂිත ප්‍රදේශයක් සලකුණු කළ යුතුයි. එම ගඟ රක්ෂිත ප්‍රදේශය තුළ - කිසිදු තාවකාලික ඉදිකිරීමක් නොකළ යුතුයි. අනුමැතියකින් තොරව ගොඩනැගිලි නවීකරණය නොකළ යුතුයි. දේශීය සත්ත්ව හෝ වෘක්ෂලතා විශේෂයන්ට හානිවන ආකාරයේ කිසිවක් නොකළ යුතුයි. කිසිදු භූ අලංකරණ කටයුත්තක් නොකළ යුතුයි. කිසිදු ඉඩම් ගොඩකිරීමක් නොකළ යුතුයි. නමුත් මහජන බදු මුදලෙන් යැපෙන මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයට මේ ගැන වගේ වගක් නැති බව පැහැදිලියි. ලියුම්කරු හිතන්නේ හක්කිඳ දූපත් ගිලගන්නට ආ අධිකාරී බහිරවයාට ඒ සියල්ල යටයි.    

Comments

Popular posts from this blog