මිහිතලයේ රක්ෂණාවරණය
(2019 03 25 දින)
වනාන්තර වෙනුවෙන් කරන ආයෝජනය
මිහිතලයේ අනාගතය සඳහා රක්ෂණාවරණයක් කියලා එක්සත් ජාතීන්ගේ හිටපු මහා ලේකම් බැන් කි-මූන් මහත්තයා වරක් ප්‍රකාශ කළා. ඇත්තටම වනාන්තර කියන්නේ මිහිතලයේ
පැවැත්ම රඳා පවතින පදනම කියලා කිව්වත් වරදක් නැත්තේ එමගින් මිනිසා වගේම සතා සිව්පාවාත් ලබාගන්න
ප්‍රයෝජන නිමක් නැති නිසා. ඒත්
ලෝකයේ බොහෝ රටවල් වගේම
ශ්‍රී ලංකාවත් වනාන්තර වල තියෙන වටිනාකම හරි හැටි වටහාගෙන තමන්ගේ රටේ ඉතිරිවෙලා
තියෙන
වනාන්තර
ටික සංරක්ෂණ කරගන්න සැබෑ උවමනාවකින් කැපවෙන බවක් පෙනෙන්නේ නැහැ. ‘වනාන්තර වලට ආදරය කරන්න ඉගෙන
ගනිමු’
තේමාව
යටතේ පහුගිය මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර
වනාන්තර දිනය සමරන්න අපේ රටේ පාලක කාරකාදීනුත් හරි උනන්දුවෙන් කටයුතු කලත් උන් තරම් වනාන්තර වලට වෛරකරන තවත් කවුරුවත්
නැතිව ඇති.
වෙන මොනවට නැතත් ලෝකයේ වනාන්තර විනාශයට නම් දරා සිටින රටවල් අතර නම් ශ්‍රී ලංකාව ඉහළින්ම ඉන්නවා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට
අනුව 2000 – 2005 කාලසීමාව තුල වැඩිම ප්‍රාථමික
වනාන්තර සංහාරය කල රටවල් අතර හතරවැනි තැන ඉන්නේ අපේ රට. මෙරට වන සම්පතට මරු පහරක්
එල්ලවුනේ පහුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බව නොරහසක්. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව
නීති අනපනත් පවා තඹ සතයකට නොසළකා හරිමින් දිවයින පුරා හෙක්ටයාර් දසදහස් ගණනින් වනාන්තර
විවිධ ව්‍යාපෘති සඳහා ඒ කාලේ විනාශ කෙරුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට පිං සිද්ධ වෙන්න උතුරු නැගෙනහිර
දෙපලාතේ එතෙක් රැකිලා තිබුණු වියලි කලාපීය වනාන්තර ඉඩම් අති මහත් බහුතරයක් මේ
විදිහට විනාශ කෙරුණා (ලියුම්කරු
කොටි සංවිධානයට ආවඩනවා නොවේ). නිල්ගල
ඌව පතන් බිම් වනසමින් එවක ආණ්ඩුව නියෝජනය කල ඇමතිවරයෙක්ගේ ගෝල බාලයින් විසින් සිදු
කරපු වන සංහාරය
වළක්වන්න
ගස් පැවිදි කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නත් පරිසර ක්‍රියාකාරීන්ට සිදුවුනා. මේ වන සංහාරය රටට අනාවරණය කිරීම හේතුවෙන් ලියුම්කරුට උක්ත
ඇමතිවරයා විසින් ‘බුද්ධදාස
රජ්ජුරුවන්ගේ නයා’ කියලා
ප්‍රසිද්ධියේ පරිභව කලා මතකයි.
ඉන් පසුව පරිසරය රකිනවා කියලා
පොරොන්දු වෙලා 2015
අවුරුද්දේ
බලයට පත්වුණු යහපාලන ආණ්ඩුවත් කිසිම විළි ලැජ්ජාවක් නැතුව ඒ වනාන්තර විනාශය
ඉදිරියටම කරගෙන ගියා. වනාන්තර
විනාශයට නම ගිය ඇමතිවරයෙක් ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවටත් පැනලා විල්පත්තු ජාතික උද්‍යානයට උතුරින් තියන වනාන්තර හෙක්ටයාර දහස් ගණනක් උලා
කෑවා.
ඒ
වගේම වන අලි ඇතුන් මංකඩ වශයෙන් පවා භාවිතා කරන වනාන්තර කුට්ටි විනාශකරමින් කටමැත
දොඩවන ඇමැතිවරයෙකුත් මේ කැබිනට්ටුවේ හිටියත් උන් බැඳ දමන්න ආණ්ඩුව මෙතෙක් සමත්වී
නැහැ. දේශපාලකයින් අක්කර දහස් ගණන්
වනාන්තර විනාශ කරද්දී වනාන්තර අවට ඉන්න මිනිස්සුත් අක්කර කාල බාගේ බැගින් වනාන්තර
අත්පත්කර ගනිමින් ඉන්න බවත් කිවයුතුයි. ඒ නිසා අපේ රටේ වනාන්තර විනාශයේ වගකීමෙන්
ඔවුන්ටත් කර අරින්න බැහැ.
වනාන්තර වලින් තම ජීවිකාව සරිකර
ගන්නා ජනතාව බිලියන 1.6 විතර
ලෝකයේ ඉන්නවා.
එමගින්
සුරැකී ඇති ආදිවාසී ජන සංස්කෘතීන් ගණන දෙදහසකට වැඩියි. වනාන්තර ආශ්‍රිතව ජීවත්වෙන
මිනිස්සු පමණක් නොවෙයි නාගරිකව ජීවත්වන මිනිස්සුත් වනාන්තර මගින් තම මූලික අවශ්‍යතා
වන ජලය, ආහාර හා වාසස්ථාන සපයා ගන්නවා. මිනිසාට ලඟාවිය හැකි මට්ටමේ
පවතින පිරිසිඳු මිරිදිය ජලයෙන් සියයට හැත්තෑ පහක්ම (75%) සැපයෙන්නේ වනාන්තර හා තෙත්බිම් ජලපෝෂක ප්‍රදේශ
වලින්.
ලොව
ඇති මහා නගර වලින් තුනෙන් දෙකක්ම තමන්ගේ පානීය ජල අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපුරා
ගන්නේ වන රක්ෂිත පදනම් කරගෙන. පිරිසිඳු
ජලය ලබා දෙන පෙරනයක් ලෙස ක්‍රියා කිරීමට වනාන්තර වලට ඇති හැකියාව අසිරිමත්. අහිතකර පරිසර තත්වයන්ට ප්‍රත්‍යස්තව
මුහුණදීමට අවශ්‍ය හැකියාව ගොඩනැගීමට හා
වඩාත් ශක්තිමත් කිරීමට වනාන්තර මගින් සිදුකෙරෙන කාර්යභාරයත් තීරණාත්මකයි. අහිතකර කාල වලදී මිනිසාගේ
පැවැත්මට අවශ්‍ය බොහෝ දෑ වනජ ද්‍රව්‍ය මගින් ලබා ගැනීමට හැකිවීම ඊට ප්‍රධාන වශයෙන්ම බලපානවා. තවද දේශගුණ විපර්යාසයේ අඳුරු
බලපෑම් අවමකරගැනීමටත් වනාන්තර මගින් ලැබෙන දායකත්වය වෙනත් කිසිවෙකුටත් ලබා දෙන්න
බැහැ.
වායුගෝලයේ
ඇති කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු වර්ග අවශෝෂණය කරගෙන මිනිසාගේ පැවැත්මට
අවශ්‍ය ඔක්සිජන් හා ජලය ලබා දී දේශගුණ විපර්යාස අවම කරන්නේ වනාන්තර පමණයි. මිහිමත ඇති ජෛව විද්‍යාත්මකව
වැඩිම විවිධාන්ගීකරණයකට ලක්වූ පරිසර පද්ධති විශේෂය වන වනාන්තර මගින් ගොඩබිම වසන
ශාක හා සත්ව විශේෂ වලින් සියයට අසූවකට නිවහන සපයනවා. රටක් හැටියට අපිත් වනාන්තර
වලින් ඔය කියන ප්‍රයෝජන සියල්ලක්ම ලබා ගන්නවා.
කෙසේ නමුත් ඉහතකී අතිවිශාල සමාජාර්ථික හා පාරිසරික ප්‍රතිලාභ නොසළකා ගෝලීය වශයෙන් සිදුකෙරෙන වනාන්තර විනාශය ඉතා භයානක සීග්‍රතාවයකින් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. එම ප්‍රමාණය අවුරුද්දකට හෙක්ටයාර් මිලියන 13ක් පමණ වෙනවා. වර්තමාන සංඛ්‍යාලේඛන අනුව අපේ රටෙත් අවුරුද්දකට හෙක්ටයාර් 4000ක් පමණ වනාන්තර විනාශ කරනු ලබනවා. ඒ නිසා මිහිතලයේ පැවැත්ම තහවුරු කරගැනීමට ඇති එකම මග වනාන්තර රැකගැනීම බව වටහාගෙන දැන්වත් අපේ රටේ ඉතිරිවෙලා තියෙන වනාන්තර ටික ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව රැකගන්න සක්‍රීයව මැදිහත්වීම ආණ්ඩුවේ පරම යුතුකමක්. නමුත් ඒ සඳහා යාන්ත්‍රික කියත් ලියාපදිංචිකිරීම වාගේ බොළඳ වැඩසටහන් වලින් ලැබෙන්නේ නොගිනියහැකි තරම් සුළු දායකත්වයක් පමණක් බවත් ලියා තබන්න ඕනෑ.
Comments
Post a Comment