සල්ලි එළදෙන්නු
(2019 04 29 දින)
වනසතුන්ව ඔවුන්ගේ ස්වභාවික පරිසරයේදීම දකින්නට කැමති වනජීවී ලෝලීන් අතර ශ්‍රී ලංකාව ඉතා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් උනේ අද ඊයේ ඉඳන් නෙවෙයි. යාල, විල්පත්තුව, උඩවලව වගේ ජාතික උද්‍යාන වලට දෙස් විදෙස් සංචාරකයෝ වාර්ෂිකව ඇදී එන්නේ ලක්ෂ ගණනින්. ඒ තුලින් ආණ්ඩුවට විශාල ආදායමක් ලැබෙන නිසා ජාතික උද්‍යාන අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් කියලා හැඳින්වුවත් වරදක් නැහැ. තිරසාර ආකාරයෙන් සංචාරක කර්මාන්තය වැඩි දියුණු කලොත් අපේ රටේ පිහිටලා තියෙන ජාතික උද්‍යාන රටේ ආර්ථිකයට ශක්තියක් වගේම ගහකොළ සහ සතා සිව්පාවා ආරක්ෂා කරගන්නත් මනා පිටිවහලක්. නමුත් මේ වෙනකොට අපේ රටේ ජාතික උද්‍යාන ඇතුලේ සිද්ධවෙන සංචාරක කර්මාන්තය හා සංරක්ෂණය එකට නොපෑහීම නිසා ඒ අංශ දෙකම පිරිහෙමින් පැවතීම කණගාටුවට කරුණක්.
වනසත්ව හා වෘක්ෂලතා
ආරක්ෂක ආඥා පනත යටතේ ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවක් පමණ වනජීවී
රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලබාදී ඇති නීතිමය රැකවරණය අනුව දැඩි ස්වභාව
රක්ෂිත, ස්වභාව රක්ෂිත, ජාතික උද්‍යාන හා
අභයභූමි ආදී වශයෙන් ඒවා විවිධාකාර වෙන අතර එකිනෙකට වෙනස් නීති රෙගුලාසි ඒවා
සම්බන්ධයෙන් බලපැවැත්වෙනවා. මේ අතරින් වනසතුන් සහ
ගහකොළ නැරඹීමටත් ඒ ගැන අධ්‍යයනය කිරීමටත් පොදු මහජනතාවට අවස්ථාව ලබාදී ඇත්තේ ජාතික
උද්‍යාන තුලයි. දැනට දිවයින පුරා මේ
ආකාරයේ ජාතික උද්‍යාන 26 ක් පිහිටා තිබෙන අතර
දෙස් විදෙස් සංචාරකයන් තමන්ගේ වනජීවීන් දැකීමේ මනදොළ සපුරා ගැනීමට ඒ වෙත රෝද බැඳ
ගනිමින් සිටිනවා. එමගින් ලැබෙන මුදල්
අපේ රටේ සංවර්ධනයට යොදාගන්නා අතරේම මේ ජාතික උද්‍යානවල වනජීවීන් සහ ඔවුන්ගේ
වාසස්ථාන සංරක්ෂණය කරගන්නත් බලධාරීන් උනන්දු උනොත් ඒක සංවර්ධනයටත් සංරක්ෂනයටත්
දෙකටම සුභදායකයි. නමුත් මේ පිළිබඳව
වගකිවයුතු රේඛීය විශයභාර අමාත්‍යාංශය (වර්තමානයේ නම් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි
ආගමික කටයුතු අමාත්‍යාංශය) සහ වනජීවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුව ඇත්තටම එහෙම කරනවද කියන එක තමයි ප්‍රශ්නය.
ශ්‍රී ලංකාවේ ජාතික
උද්‍යාන හරහා වැඩිම මුදල් ප්‍රමාණයක් උපයාගන්න ලැබෙන්නේ විදේශීය සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර
විකිණීමෙන්. අපේ රටට එන විදේශීය සංචාරකයින්ගෙන් සියයට අසූවකට වඩා ආකර්ෂණයවෙලා ඉන්නේ ජාතික උද්‍යාන පහකට විතරයි. ඒවා තමයි යාල, විපත්තුව, උඩවලව, මින්නේරිය සහ හෝර්ටන් තැන්න. මේ ජාතික උද්‍යාන සංචාරකයින්ගෙන් පිරී ඉතිරී
යාම සාක්කුවට හොඳයි. ඒත් සංචාරක කර්මාන්තයේ
දිගුකාලීන ස්ථාවරත්වයටත් සංරක්ෂණයටත් මේ ප්‍රවනතාවය යහපත් නැහැ. අධික සංචාරක තදබදය නිසා සංචාරකයින්ට
තෘප්තිමත් සෆාරි අත්දැකීමක් ලැබෙන්නේ නැති නිසා ඔවුන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ප්‍රතික්ෂේප කරන්න
පුළුවන්. එමගින් අපේ රටේ
වනජීවී සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා. ඒ වගේම සතුන්ටත් එය හිරිහැරයක් නිසා ඔවුන්ගේ
සංරක්ෂණයටත් සංචාරක තදබදය අහිතකරයි. ඒ නිසා සංවර්ධනයත්
සංරක්ෂණයත් ගලපාගෙන ඉදිරියට යාම සියලු ඇල්මැති පාර්ශව වල වගකීමක්. නමුත් ආණ්ඩුව කරන්නේ තමන්ට වැඩි වාසි ලැබෙන
ජාතික උද්‍යාන කිහිපය පමණක් සල්ලි එළදෙනුන් (Cash cow) බවට පත්කරගෙන මුදල් ඉපයීම පමණයි. ඒ වගේම සෆාරි ජීප්රථ කරුවනුත් උද්‍යානවල
පාලනය තමන් අතට අරගෙන. එමගින් ගහකොළ සතා සිව්පාවාට එල්ලවෙන බලපෑම් ගැන කවුරුත් තැකීමක් කරන්නේ නැහැ.
මේ තත්ත්වය පාලනයකර
සංරක්ෂණය තහවුරු කරන්න සෆාරි ජීප් රථ ප්‍රමාණය නියාමනය කිරීම, උද්‍යාන නීති කඩකරන ජීප් රථ රියදුරන් දැඩි දඬුවමට
ලක්කිරීම, වනජීවී පරිපාලනය
ශක්තිමත් කිරීම වැනි ක්‍රියාමාර්ග වලට යාම කාලීන අවශ්‍යතාවයක්. නමුත් තක්කඩි දේශපාලකයින් හා උන්ගේ බලය
අතටගත් සෆාරි ජීප්රථ කරුවන් එක්ක හැප්පෙන්න වනජීවී නිලධාරීන් මැලිවීම නිසාත් ඇතැම්
වනජීවී නිලධාරීනුත් මේ මාෆියාවේ කොටස් කරුවන් වීම නිසාත් එය සිදුවන්නේ නැහැ. ඒ වගේම දැනට අඩු සංචාරක අවධානයක් ඇති ජාතික
උද්‍යාන වනජීවී ලෝලීන් අතර ප්‍රචලිත කිරීම සඳහා ඒවායේ යටිතල පහසුකම් වැඩි දියුණු
කිරීම හා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සිදුකල යුතුයි. නමුත් තමන්ට වාසියක් නැති උද්‍යානවලට ආණ්ඩුවෙනුත්
ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. ප්‍රසිද්ධ ජාතික උද්‍යාන
වලින් කල දුටු කල වල ඉහගන්නවා ඇරෙන්න දිගුකාලීන දැක්මක් ඇතිව කටයුතුකරන්න කාටවත්
ඕනෑකමක් නැහැ.
නමුත් අපි තරයේ සිහි තබගතයුතු දේ තමයි සංවර්ධනය හා සංරක්ෂණය මනාව
ගලපාගැනීමට කටයුතු නොකලොත් මේ ස්වභාවික උරුමයන් අපටත් නොදැනීම විනාශවෙලා යන්න වැඩි
කාලයක් ගත නොවෙන බව. පරිසර පද්ධතිවල
සමතුලිතබව වැනසිලා ඒවායේ ජීවත්වුණු සතා සිව්පාවා ඉවත්වෙලා යන්නත් වඳවීයන්නත්
පුළුවන්. එතකොට සංචාරකයින්
විශාල මුදලක් වියදම් කරලා අපේ ජාතික උද්‍යාන වලට
එන්නේ මොනවා බලන්නද ? එහෙම උනොත් ආණ්ඩුවට
වගේම සංචාරක කර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබපු හැම පාර්ශවයකටම බඩේ පහර වැදීම වළක්වන්න
බැහැ. එමගින් රටක් හැටියට
අපේ ආර්ථික හා සංවර්ධන ඉලක්ක සපුරගන්න බැරිවීමෙන් අපේ රට තවත් වල පල්ලටම යන එකනම්
නියතයි.
Comments
Post a Comment