බිහිසුණු වෙනස


(2019 06 17 දින)

දිවයිනේ උතුරු ප්‍රදේශය දැඩි නියං තත්ත්වයකින් බැටකන අතරේ දකුණේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ශාව පහුගිය දවස්වල ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාල කළා. ඒ අතර උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යොදන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නාම යෝජනා කැඳවීමට කටයුතුකළ බවත් අසන්නට ලැබුණා. මේ හැම දෙයක්ම අපි විසින්ම මේ පෘතුවි ගෝලයේ ඇතිකළ බිහිසුණු වෙනසක ප්‍රතිපල කිව්වොත් සමහරු පිළිගන්න එකකුත් නැහැ. නමුත් ඇත්තටම ඒ අපේ දේශගුණ විපර්යාසය සම්බන්ධ සාක්ෂරතාවයේ තරම. වැස්ස අපේක්ෂාවෙන් සිටින විට නියඟය ඇතිවීම වගේම වියලි කාලගුණයක් අපේක්ෂා කරන කාල වලදී සුළි කුණාටු සමග මොර සූරන වර්ෂාවන් ඇද හැලී ගම් නියං ගම් ගංවතුරට සේදී විනාශවී යාම සුලභ සංසිද්ධියක් බව පත්වීමත් දේශගුණ විපර්යාසයේ එක බලපෑමක් පමණයි. දැන් දේශගුණය හරියට වෙනස් වෙලාකියන කියමන මේ වන විට අපි හැමදෙනාම අසා තිබුණත් ඊට හේතුවී ඇති දේශගුණ විපර්යාසය මගින් තවත් කොතරම් සංකීර්ණ බලපෑම් එල්ලකරනවද කියන එක ගැන අපිට හරි අවබෝධයක් නැහැ.

දේශගුණ විපර්යාසය එහෙමත් නැත්නම් Climate change විසිඑක්වැනි සියවසේ ප්‍රධාන මානව සංවර්ධන අභියෝගය ලෙස සමස්ථ ලෝක වාසීන් විසින් හඳුනාගෙන හමාරයි. මිනිසා ඇතුළු සියළු මිහිකත වැසියන්ගේ පැවැත්ම අනතුරේ හෙලන දේශගුණ විපර්යාස පිළිබඳව ලොව පුරා ගැඹුරු සංවාද හා මතවාද ඇතිවෙමින් පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන් අතර එකී ගැඹුරු කතිකාව ඇතිවී තිබෙනවාද කියන එක මතභේදාත්මකයි. ඒ නිසා දේශගුණ විපර්යාසය, එහි විවිධ බලපෑම් හා දේශගුණ විපර්යාස අවමකිරීම හා අනුහුරුවීම පිළිබඳ තේරෙන සිංහලෙන් කතා කිරීමටත් ඉඩක් වෙන්කර ගන්න හිතුවා.

දේශගුණ විපර්යාසය සිදුවීම ඇරඹෙන්නේ අද ඊයේ සිට නොවෙයි. අතීතයේ එක් යුගයක අයිස් බෝලයක් වාගේ තිබුණු පෘථිවි ගෝලය මිනිසුන් ඇතුළු සියළු ජීවීන්ට ජීවත්විය හැකි තැනක් බවට පත්කිරීම සඳහා දේශගුණ විපර්යාසය උපකාරී වුනා. ඒත් අද වනවිට සිදුවී ඇත්තේ අතීතයේදී අපට හිතවත්වූ දේශගුණ විපරාසයම අපට හතුරුකම් කිරීම. නමුත් ඊට හේතුවත් අපිමයි. මීට අවුරුදු මිලියන ගණනකට පෙර වායුගෝලයේ පැවතී කාබන් පොළොවේ ගැඹුරු පතුලේ ඛනිජතෙල් තෙල් හා ගල්අඟුරු නිධි ලෙස සඟවා තබා මිහිමත මිනිසා ඇතුළු සුවහසක් ජීවීන්ට ජීවත්වීමට හැකි සුපසන් තැනක් බවට පත්කිරීමට සොබාදහම් අම්මා කටයුතු කලා. නමුත් ඇගේ අකීකරු පුත්‍රයා විසින් ඇතිකළ කාර්මික විප්ලවයත් සමග සිදුවුණේ පොළොවේ ගැඹුරු පතුලේ සඟවා තැබූ ඛනිජතෙල් තෙල් හා ගල්අඟුරු හරි හරියට දහනය කර යලිත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහල නැංවීමට කටයුතු කිරීම. බිහිසුණු වෙනස ඇරඹෙන්නේ එතැන් සිට.

දේශගුණ විපර්යාස පිළිබඳව ප්‍රථමයෙන්ම ලෝකයේ කතාබහ ඇතිවන්නේ 1988 අවුරුද්දේ පමණ සිටයි. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (IPCC - Intergovernmental Panel on Climate Change) ආරම්භ වන්නේ එම අවුරුද්දේදී. දේශගුණ විපර්යාසය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මානව ක්‍රියාකාරකම් හේතුකොට ගෙන හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදාහැරීමේ ඍජු ප්‍රතිපලයක් බවත්, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මෙයට වැඩි වශයෙන් දායක වන බවත් එම මණ්ඩලය මගින් විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. ඒ අනුව, නිශ්චිතවම වර්තමාන හා අනාගත පරම්පරාවට දේශගුණ විපර්යාස තර්ජන හමුවේ ජීවත් වීමට සිදු වන බව පැහැදිලියි. ලෝකය පුරා විසිරී සිටින ජනතාව තම එදිනෙදා කටයුතුවලට සම්බන්ධ සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, ප්‍රවාහන, සංචාරක හා අධ්‍යාපන වැනි සෑම ක්ෂේත්‍රයකටම දේශගුණ විපර්යාසය හේතුවෙන් එල්ලවී ඇති අහිතකර බලපෑම් නිසා පීඩාවට පත්ව සිටිනවා. දේශගුණ විපර්යාස බලපෑම් හමුවේ සියලූ ජාතීන් අවදානමට ලක්ව ඇති අතරම, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින අපි වැනි කුඩා දූපත් රටවල් වලට ඒ සඳහා අනුහුරු වීමට ඇති අඩු හැකියාව නිසා එම රටවල් වැඩි අවදානමකට ලක් ව තිබෙනවා.

මිනිසා විසින් සිදුකල මේ විපර්යාසය හේතුවෙන් වර්තමානය වන විටද පෘථිවියේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එක හමාරකින් පමණ ඉහල ගොස් හමාරයි. මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර් 23 කින් ඉහළ ගොස් හමාරයි. මේ වනවිට මිහිතලයේ වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැලකූවිට අප හෙට දවසේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවත් පෘතුවිය ස්ථාවර තත්වයට පත්වන විට වායුගෝලීය උෂ්ණත්වය තවත්  සෙන්ටිග්‍රේට් අංශක කිහිපයකින් ඉහළ යයි කියලා විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

ලෝකයේ රටවල් අතර හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් සිදුවන කඹ ඇදිල්ලේ දී සංවර්ධිත බටහිර ලෝක බලවතුන්ට ඇඟිල්ල දිගු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් කටයුතු කලත් චීනය හා ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් වායු ගෝලයට නිකුත් කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණයත් සුළුකොට තකන්න බැහැ. ඒ වගේම විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආණ්ඩු දේශගුණ විපර්යාස අවම කිරීම (Mitigation) හා ඊට අනුහුරු වීම (Adaptation) සඳහා දේශීය වශයෙන් මුලපිරීම් ද ඉතාමත් අඩු මට්ටමක පැවතීම  හෝ ඇල් මැරුණු ක්‍රියාකාරීත්වයක් දැක්වීම දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ තත්ත්යද ඊට වැඩි වෙනසක් නැත. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස පිටුදැකීම හා ඊට අනුහුරුවීම සඳහා මිනිසා විසින් අද දවසේ ගනු ලබන ක්‍රියාමාර්ග සමස්ථ පෘථිවි වාසීන්ගේම ඉදිරි පැවැත්ම තීරණය කරනු ඇති බව අප තරයේ සිහිතබා ගතයුතුයි.

Comments

Popular posts from this blog